මුව රැඳුණු බර අවිය ගෙනෙන විනාශය මහමෙරකටත් වැඩිය

මුව රැඳුණු බර අවිය ගෙනෙන විනාශය මහමෙරකටත් වැඩිය

මානෙල් සුවඳ ම ය
කුඩමසු පිළී ගඳ ම ය
දෙකට එක දිය ම ය
හොඳට නරකට දෙකට කට ම ය

මේ සුභාෂිතය අප කවුරුත් ආසා ඇති කාරණයකි. මහනෙල් සුවඳ, මාළුන්ගේ පිළීගඳ එකම දිය තුළ දක්නට ලැබෙන්නා සේ හොඳ වචනය හා නරක වචනය යන දෙකට ම පවතින්නේ එකම කට ය. කට තුළ භාවිත වචන අතර සත්‍යය, සමඟිය වර්ධනය කරන වචන, පි‍්‍රය මනාප හා අර්ථවත් වචන පවතී.

එසේ ම බොරුව, කේළම, හිස් වචන, පරුෂ වචන, නරක වචන වේ. මේ යහපත් හා අයහපත් වචන සියල්ල උපදින්නේ එකම කට තුළිනි.

මුව තුළ ඇති බර අවිය සේ සලකනුයේ පිසුනාවාචා නැතහොත් කේළාම් කීම යි. කේළම සමඟිව සිටින දෙදෙනකු, කණ්ඩායමක්, ආයතනයක්, කුලයක්, ගෝත්‍රයක්, ගමක්, ප්‍රදේශයක්, රටක් විනාශ කළ හැකි අවියකි. ගම් තුළ, ආයතන තුළ කේළාම් කියන්නෝ වෙසෙති. සමාජය ඔවුන් “ගම අවුලඤ්ඤං’’ ලෙස හඳුන්වයි. බොහෝ දෙනාගේ පිළිගැනීම කේළාම් කියන්නේ ගැහැනුන් බවයි. එහෙත් ඊට ගැහැනු පිරිමි භේදයක් නැත. පිරිමි ද කේළාම් කියයි. එසේ කියන අයට සමාජය “චීත්ත” යැයි කියයි.

කෙසේ නමුත් කේළාම් කීමත්, ඒ කේළාම් පිළිගැනීමත් අප කරන වරදකි. ආයතන තුළ තමන්ට වැඩ බැරි, තමන්ට අයත් කාර්යය නිසි පරිදි නොකරන, වැඩ කරන අය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින් පෙළෙන උදවිය කේළාම් කියයි. ඒ ප්‍රධානියාගේ සිත දිනාගෙන තමන්ගේ පෞද්ගලික කටයුතු ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙනි. ආයතනයක් මෙහෙයවිය හැකි දැක්මක්, නිසි කළමනාකරණයක් නොමැති ආයතන ප්‍රධානීහු ද එම කේළාම් පිළිගෙන ඊට අනුව කටයුතු, කාර්ය මණ්ඩලය හැසිර වීම, දඬුවම් කිරීම නිසා ආයතන විනාශ වෙයි.

කේළම රටවල් ද විනාශ කරයි. වජ්ජි රජදරුවන් පාලනය කළ වජ්ජි රට ආක්‍රමණය කරන්නට අජාසත් රජුට අවශ්‍ය විය. ඔහු රට ආක්‍රමණය කරන බව බුදුරජුන්ට දැන්වීය. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ සමඟිව, රැස්වීම සමඟිව කතා කිරීම, සමඟිව විසිර යෑම යන කරුණු අඩංගු සප්ත අපරිහානි ධර්මයක් වජ්ජීන් අනුගමනය කරන බැවින් ඔවුන් ආක්‍රමණය කළ නොහැකි බවයි.

රජු ඒ වර වජ්ජි දේශය ආක්‍රමණය නොකර කේළම් බල මුළුවක් සකස් කොට වජ්ජි දේශයට යැවීය. වජ්ජි රජවරුන් එකිනෙකාට කේළම් බස් කියවා ඔවුන් අසමඟි කළේ ය. රජවරුන් අසමඟි කොට වජ්ජි දේශය ආක්‍රමණය කළේ ය.

ලංකා ඉතිහාසයේත් අප රට තුළ අවාසනාවන්ත සිදුවීම් සිදුවී රට අරාජික ව විදෙස් ආක්‍රමණයකට රට නතුවීමට බලපෑ එක් හේතුවක් ලෙස රජු කේළාම් පිළිගැනීම බව සඳහන්ව ඇත.

කේළාම් කියා අපගේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ හා ඇහැලේපොළ නිලමේ බිඳවා ලූ බවත් කේළාම් බස් නිසා ඇහැලේපොළ කුමාරිහාමි හා දරුවන් විනාශ කළ බවත්, ඒ නිසාම රජුට වූ ජනප්‍රසාදය නැති වී ගිය බවත් අපේ ඉතිහාස කතාව තුළ අසන්නට ලැබෙයි. මේ අයුරින් ගත් කල රටක් විනාශ කළ හැකි බර අවියක් ලෙස කේළම දැක්විය හැකි ය.

යම් වචනයක් කී කල්හි අසන්නා වූ තැනැත්තාට තමා පි‍්‍රය වී අනෙකා අපි‍්‍රය වේ ද ඒ වචනය පිශුන වචනය නම් වේ. තවත් ක්‍රමයකින් කියතහොත් සමඟියෙන් සිටින දෙදෙනකු භේද කරවීම පිණිස කියන්නා වූ වචන පිශුන වචන නම් වේ. කේළාම් කීම යැයි කියනුයේ ද පිශුන වචන කීමට ය.

කේළාම් කීම වූ පාප කර්මයට පිශුන වචන යැයි ද, පිසුනාවාචා යැයි ද කියනු ලැබේ. එයට අංග සතරක් ඇත්තේ ය. භේද කළ යුතු අනෙකකු ඇතිවීම, කෙනකු හා කෙනකු බිඳවන අදහස ඇති බව, බිඳවනු පිණිස යම්කිසිවක් කීම, ඇසූ තැනැත්තා විසින් එය තේරුම් ගැනීම, යන කරුණු සතර සම්පූර්ණ වීමෙන් පිශු වචනය කර්මය සිදු වේ.

අනුන් බිඳවනු සඳහා කියන වචන සත්‍යය ද විය හැකි ය. අසත්‍යය ද විය හැකි ය. යම්කිසි සත්‍ය කාරණයක් අනුන් බිඳවීමේ අදහසක් නැති ව, කෙනකුට විය හැකි අන්තරායකින් මුදා ගැනීම ආදී කරුණක් සඳහා කී කල්හි, එයින් කෙනකු හා කෙනකුගේ බිඳීමක් වුව ද, කී තැනැත්තා හට කේළාම් කීමේ පාපය නොවේ. සත්‍ය කරුණක් වුව ද, බිඳවන අදහසින් කියන්නහුට කේළාම් කීමේ පාපය වේ.

කේළමක් කී කල්හි එයින් අනුන් අතර භේදයක් නො වී නම් එය සාමාන්‍ය කර්මයක් වේ. භේදය වී නම් කර්මපථයක් වේ. කේළාම් කීමේ අල්පසාවද්‍ය, මහාසාවාද්‍ය යැයි කොටස් දෙකක් වෙයි. කේළාම් කියා බිඳවනු ලබන්නෝ ගුණහීනයෝ වෙත් නම් කර්මය අල්ප සාවද්‍ය වේ. ගුණවතුන් බිඳවීම මහා සාවද්‍ය වේ. කේළාම් කීමට හේතු වූ ක්ලේශයාගේ මන්ද භාවයෙන් අල්ප සාවද්‍ය වේ. ක්ලේෂයන් තියුණු වූ කල්හි, රෞද්‍ර වූ කල්හි, මහා සාවද්‍ය වේ. කේළාම් කීමේ විපාකයෝ මුසාවාදයේ විපාකයන්ට සමාන වෙති.

කේළාම් කීමේ විපාකය ලෝවැඩ සඟරාවෙහි මෙසේ දක්වයි.

පිසුණු කියා සඟ දෙනමක් වෙනස් කොට
පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට
මුහුණු කුණුව තව පේතව විඳි ගැහැට
පිසුණු බසක් නොකියව් අද පටන් සිට

ලෝවැඩ සඟරා කතුවරයාට මේ අදහස එන්නට ඇත්තේ පේතවස්තුවෙහි වූ කතාවක් තුළිනි.

එදා කාශ්‍යප බුදුරදුන්ගේ ශාසනයෙහි කුල දරුවන් දෙදෙනෙක් පැවිදි ව ශීලාචාර සම්පන්නව සැහැල්ලු පැවතුම් ඇතිව එක්තරා ගමක සමඟි ව වැඩ සිටි සේක. ඒ දෙනම මෙසේ යහපත්ව වාසය කරන අතර කේළාම් කීමෙහි ඇලුනා වූ එක්තරා භික්ෂුවක් එම භික්ෂූන් දෙනම වසන තැනට වැඩියේ ය. අර තෙරුන් වහන්සේ දෙනම ද ඒ ආගන්තුක භික්ෂුව සමඟ පිළිසඳරක යෙදී, වැඩ විසීමට සෙනසුනක් ද දී පසුදින එම භික්ෂුව ද කැඳවාගෙන පිඬුසිඟා වැඩියහ.

ඒ අසල ගමේ මිනිස්සු උන්වහන්සේ දැක වත් පිළිවෙත් කර දන් පැන් පූජා කර පින් රැස් කර ගත්හ. අර ආගන්තුක භික්ෂුව විහාරයට පැමිණ මේ ගම වාසයට ඉතා ම යහපත් තැනක්. මිනිස්සුත් ශ්‍රද්ධා සම්පන්නයි. රසවත් ආහාර නිතර පූජා කරයි. සිසිල් සෙවණින් යුත් මේ ආවාසයට ජලයෙනුත් අඩුවක් නම් නැත. මෙහි ඉතා සුව සේ වාසය කරන්නට හැකි ය. මේ භික්ෂූන් වහන්සේ දෙන ම මෙහි වසනතාක් කල් මා හට මෙහි සැපෙන් වාසය කරන්නට නොහැකි ය. උන්වහන්සේ එකිනෙකා බිඳවා පලවා හරින්න ඕනෑ යැයි සිතුවේ ය. එසේ සිතා ඒ දෙනමට ඔවුන්ගේ ගුණ කීම හා අනෙකා උන්වහන්සේට එරෙහිව කටයුතු කරන බව කියමින් දෙදෙනාට ම වෙනම වෙනම කේළාම් කියා ඒ දෙනම භේද කොට එම ආරාමයෙන් යන්නට අවස්ථාවක් සලසා ඒ ආරාමය තමා අයත් කර ගත්තේ ය.

කේළාම් කීමේ යෙදුන ඒ භික්ෂුව ආවාස ලෝභය නිසා එහි වාසය කළ ද, යහපත් භික්ෂූන් වහන්සේ දෙනම බිඳවීම බලවත් අකුසල කර්මයක් යැයි නිතර පසුතැවීමෙන් ගතකොට, රෝගීව නොබෝ කලකින් අපවත්ව අවීචි මහා නිරයේ ඉපදුණි.

අනෙක් මිතුරු භික්ෂූන් වහන්සේ දෙනම ගම් දනව් සැරිසරා වැඩම කරන අතර එක ආවාසයක දී දෙනම මුණගැසුනහ. කතා බස් කරන අතරතුර කේළාම් කී මහණ විසින් කියන ලද මුසා බස් හෙළිදරව් විය. ඒ සමඟ පෙර ආවාසයට ම නැවතත් වැඩම කළහ. භික්ෂූන් දෙනම දැක සොම්නසට පත් ගම්වැසි මිනිස්සු සිව්පසයෙන් උපස්ථාන කර පින් රැස්කර ගත්හ. තෙරුන් වහන්සේ දෙනම විදසුන් වඩා නොබෝ කලකින් ම අරහත් ඵලය සාක්ෂාත් කළහ.

කේළාම් පැවසූ භික්ෂුව එක් බුද්ධාන්තරයක් මුළුල්ලේ නිරයේ පැසී මේ බුද්ධෝත්පාද කාලයේ රජගහ නුවරට නුදුරු තැනක ප්‍රතිමුඛ ප්‍රේත ආත්මයක උපත ලැබුවේ ය. ඔහුගේ ශරීරය රන්වන් පැහැ විය. ඒත් කටින් පණුවෝ නික්මී මුඛය හාත්පස කති. ඔහුගේ මුඛයෙන් ඉතා දුර අවකාශයට වුව ද දුගඳ වහනය වන්ට විය.

කේළාම් කීමේ ප්‍රති විපාකය මෙයින් දක්නට ලැබෙයි. එහෙයින් කේළාම් කීමෙන් මෙන්ම, කේළාම් පිළිගැනීමෙන් ද වැළකේ නම්, එය මෙලොව, පරලොව දියුණුවට මෙන් ම නිවනින් සැනසීමට ද හේතු වෙයි.

අධි ඇසළ අමාවක

ජූලි 16 ඉරිදා අ.භා. 10.11 න් අමාවක ලබා 18 අඟහරුවාදා පූ.භා. 00.04 න් ගෙවේ.
17 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]