[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

අධි ඇසළ අමාවක පෝ දා 2023-07-17

සිල් සුවඳ උතුම් ම ය

දුසිල්වත්, සුසිල්වත් යැයි පුද්ගලයන් දෙවගයකි. සමාජ සම්මතයෙන් මිදී අසම්මතයෙහි, අධර්මයෙහි පිහිටන්නෝ දුසිල්වත්හු ම ය. අසම්මත ය සිදුවන තැන දුක, පීඩාව, සංතාපය, හිංසාව පැතිර යන්නේ ය. එය පුද්ගල හා සමාජ ප්‍රගමනයට, පැවැත්මට හානිකර වන්නේ ය.

තාක්ෂණික දියුණුූවෙන් ලෝකය මොනතරම් ඉදිරියට ගියත් මිනිසා සිය චර්යාවන්, සිතුම් පැතුම් අසම්මතයෙහි පිහිටුවූ දා සිටම සතුට, සැනසීම දුරුව යයි.

මිනිසා සෑම දෙයක් ම කරන්නේ සිය අඹුදරුවන් සමඟ සතුටින් ජීවත් වීමට ය. ඒ සැබෑ සතුට උරුම කර දෙන මාවත ඇස්පනාපිට පෙනෙන්නට තිබියදී ම බොහෝ දෙනෙක් අන්ධ වූවන් සේ අඳුරට ම ඇදී යති. අඳුරේ ගිලෙමින්, මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත් දුක්ඛිත තත්ත්වයට ම පත් කර ගනිති.

අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තුළ සෑම ධර්ම කරුණකින් ම අවධාරණය කරන්නේ සැනසීමේ මඟ ම ය. බෞද්ධයෙක් ලෙස යම් කෙනෙක් අසහනයෙන්, පීඩනයෙන්, දුකින්, කරදරයෙන්, අසතුටින්, ජීවත් වෙනවා නම් ඔහු බෞද්ධ නාමයට හෝ නොගැළපෙන්නෙකි. මන්ද බෞද්ධයා යනු ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයා ම වන බැවිනි. ධර්ම මාර්ගය තුළ සහනය මිස අසහනය නැති බැවිනි.

බෞද්ධයා සිල්වතෙකි. හේ කවර හේතුවක් නිසා හෝ දුසිල්වත්කම් නොකරන්නේ ය. සිය ජීවිතය අහිමි වුව ද පව්කම් නොකරන්නට තරම් බලසම්පන්න සිත් වූ බෞද්ධයින් ගැන ලක් ඉතිහාසයෙහි ද ලියැවී ඇත.

"ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි" යැයි ධර්මයෙහි අවධාරණය කරයි. එනම්, ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ධර්මය විසින් ම ආරක්ෂා කරන බව ය. අද විවිධ මාර්ගවලින් ජීවිතයට ආරක්ෂාව සොයන්නේ ඒ ධර්මතාව ගැන ඇති අනවබෝධය හා නොසැලකීම නිසා ය.

සිල්වත්කමෙහි අගය දන්නෝ පාපයෙහි නොගිලෙති. නොඇලෙති. ධම්මපදයේ පාප වග්ගයේ සඳහන් ගාථා ධර්මයකින් කියැවෙන සදූපදේශය පිළිබඳ විමසමු.

චන්දනං තගරං වා පි - උප්පලං අථ වස්සිකී

එතෙසං ගන්ධ ජාතානං - සීල ගන්ධො අනුත්තරො

සඳුන් සුවඳ – මල් සුවඳ ආදියෙන් උපන් අනේක විධ සුවඳට වඩා සිල් සුවඳ ම ඉතා අගනා බව එහි වාචාර්ථයයි.

මල් සුවඳ සුපහන් ය. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ම එය පි‍්‍රය කරයි. ආමිෂ පූජාවේ දී අපගේ ශාස්තෘන් වහන්සේ, ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් පුදන්නේ ද සුවඳ මලිනි. කවර තරමේ සුවඳ පුෂ්පයන් වුව ද ඊටත් වඩා සුවඳවත් දෙයක් ඇත. ඒ සිල්වත් මිනිසුන්ගේ ගුණ සුවඳ ය. එවැනි පුද්ගලයන්ගේ කීර්තිනාමය දස දිගම පැතිර යන්නේ ය.

තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ සියලු පූජාවන්ට වඩා තමන් වහන්සේ ප්‍රතිපත්තියෙන් පිදීම උතුම් බව ය.

සම්බුද්ධ දේශනාවට අනුව සිල් සුවඳ නම්, තමන් සමාදන් වූ වත රැකීම, පිළිපැදීම යන කලණ ගුණ සමූහයෙන් උපන් සුවඳ ය. යම් කෙනෙක් බුද්ධ, ධම්ම, සංඝ යන තිසරණයෙහි පිහිටා, පස්පවින් වැළකී, දස පින් කිරියවත් පුරන්නේ නම්, මසුරු සිත් හැර දමන්නේ නම්, මහණදම් පිළිවෙත් පුරන්නේ නම් ඒ පුද්ගලයාගේ ගුණ දෙවියන් ද පවසන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. ඒ නිසාම ඒ ගුණ දස දිශාවට හමන බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙලොව දිනන්නේත්, පරලොව දිනන්නේත් සිල්වත් පුද්ගලයා ම ය. සිල්වත්කම පුද්ගලයා බබළවන ආභරණයකි. බෞද්ධයන් ලෙස අප සියලු දෙනා ඒ ආභරණය පළඳින්නේ නම්, ජීවිතය දවන තවන ප්‍රශ්න ගැටලු නිතැතින් ම මඟහැරී යනු ඇත.

අධි ඇසළ අමාවක

ජූලි 16 ඉරිදා අ.භා. 10.11 න් අමාවක ලබා 18 අඟහරුවාදා පූ.භා. 00.04 න් ගෙවේ.
17 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]