ජීවිතය ඒකාලෝක කරන පහන් ආලෝකය

ජීවිතය ඒකාලෝක කරන පහන් ආලෝකය

භාග්‍යවතුන් වහන්සේ බුදු නුවණින් දැක දේශනාකොට වදාළා, රාග, ද්වේෂ, මෝහ කියන අකුසල් ඉපදුණ සත්ත්වයාගේ සිත අපිරිසුදු කරන බව.

එලෙස අකුසල්වලින් සිත අපිරිසුදු වූ විට වචන අපිරිසුදු වෙනවා. කායික ක්‍රියාත් අපිරිසුදු වෙනවා. අපිරිසුදු සිතින්, කයින්, වචනයෙන් ක්‍රියා කරන පුද්ගලයා දුගති උපතක් කරා යනවා. මෙය අනතුරක්. ජීවිතයට තිබෙන මේ අනතුර නියමාකාරයෙන් අවබෝධ කොට, අපට පෙන්වා වදාළේ අපගේ ශාස්තෘන් වහන්සේයි.

එලෙසම ඊර්ෂ්‍යාව, තරහව,වෛරය, ක්‍රෝධය ආදී ලාමක අකුසල දුරු කර මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආදී උතුම් ගුණධර්ම දියුණු කර ගන්නා ආකාරයත් අපට පෙන්වා දෙනු ලැබුවේ අපගේ ශාස්තෘන් වහන්සේ විසින්ම යි.

මෙත් සිතක අසිරිය...

සංයුත්ත නිකාය ධ් පොත් වහන්සේ තුළ අඩංගු අක්කෝධ සූත්‍රයේ මෙසේ සඳහන් වෙනවා. ක්‍රෝධය විසින් ඔබව යටකර දමන්නට දෙන්න එපා. කේන්ති ගිය කෙනෙක් එක්ක කේන්ති ගන්නත් එපා. ආර්යයන් වහන්සේ තුළ නිතරම ක්‍රෝධ නො කිරීමත්, අහිංසාවත් තිබෙනවා.

පාපී මිනිසුන් ක්‍රෝධය විසින් යටපත් කර දමන්නේ පර්වතයකින් යට කරනවා වගේ කියලා. ඒ වගේම ඒ පොත් වහන්සේගේ ම ඣත්වා සූත්‍රයේ මෙසේ සඳහන් කොට තිබෙනවා.

ක්‍රෝධය පුළුස්සා දැමුවොත් සුව සේ නිදන්නට පුළුවනි. ක්‍රෝධය පුළුස්සා දමලයි ශෝක නොකරන්නේ. විෂ මුල් තිබෙන (පළි ගැනීම) ක්‍රෝධය නැසීම ගැන ආර්යයන් වහන්සේ ප්‍රශංසා කරනවා. ඇත්තෙන්ම ක්‍රෝධය පිළිස්සීමෙන් ම යි ශෝක නොකර සිටින්නේ.

මෙත් වඩන්නේ මෙලෙසයි...

මෙලෙස අපගේ හිත පෙළෙන තරහව, වෛරය, ක්‍රෝධය ආදී කෙලෙස් නිවා දමා මෙත් සිසිල ඇතිකර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට මෛත්‍රී භාවනාව උගන්වා වදාළා. මෛත්‍රී භාවනාව වැඩිය යුතු ආකාර දෙකක් මජ්ක්‍ධිම නිකායේ අනුරුද්ධ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ අප්පමාණ චේතෝ විමුක්තිය සහ මහාග්ගත චේතෝ විමුක්තිය යි.

අප්පමාන චේතෝ විමුක්තිය කියන්නේ දිශාවකින් ආරම්භ කොට පිළිවෙලින් සියලු දිශාවලට මෙත් සිත පැතිරවීම යි. එනම් උතුරු දිශාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහ නැත්තෝ වෙත්වා! ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත්වෙත්වා! යනුවෙන් සිතීම යි. මේ ආකාරයට උතුරු අනු දිශාවේ, නැඟෙනහිර හා නැඟෙනහිර අනු දිශාව, දකුණු දිශාව සහ දකුණු අනු දිශාව, බටහිර දිශාව සහ බටහිර අනු දිශාවට මෙත් සිත පැතිරවීම අප්‍රමාණ චේතෝ විමුක්තිය යි.

මහග්ගත චේතෝ විමුක්තිය කියන්නේ තමා සිටින ස්ථානයේ සිට පුළුල් කරමින් ප්‍රදේශ වශයෙන් මෙත් වැඩීමයි. එහිදී ප්‍රථමයෙන් තමාගෙන් පටන් ගන්න ඕනෑ. මම වෛර නැත්තෙක් වෙම්වා! තරහ නැත්තෙක් වෙම්වා! ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා! දුක් පීඩා නැත්තෙක් වෙම්වා! සුව සේ ජීවත් වෙම්වා! ශාන්ත සුවයට පත්වෙත්වා! යනුවෙන් ද පසුව පිළිවෙලින් තමා සිටින නිවසේ, ආයතනයේ, ගමේ, නගරයේ, පළාතේ, රටේ, ලෝකයේ, අහසේ, පොළොවේ, ජලයේ සිටින සියලු සත්වයන් කෙරෙහි මෙත් සිත පැතිර විය යුතු ය.

බ්‍රහ්ම විහරණ නාමය...

එනිසා දුර්ලභව ලද මේ මිනිස් ජීවිතයේ සැනසීම, ශාන්තිය, ලැබීමට කැමැති නම් නිතර මෛත්‍රිය වඩන්නට පුරුදු වෙමු. ඇවිදින විටත්, සිටගෙන සිටින විටත්, වාඩි වී සිටින විටත්, සැතපී සිටින විටත් මෛත්‍රිය වැඩිය යුතු බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. බ්‍රහ්ම විහරණ නාමය ලද ඒ මෛත්‍රිය දියුණු කර ගතහොත් මහත් සැපයක් ලබන්නට අපට පුළුවන්. ඒ වගේම මෙත් සිත පැතිරවීමෙන් ලැබිය හැකි අසිරිමත් ආනිශංස භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද වදාළ සේක.

පින්වත් මහණෙනි, ඉදිරියට සැප විපාක ලබා දෙන යම් පුණ්‍ය කර්මයක් වේ ද, ඒ සියලු පින්කම් මෛත්‍රි චිත්ත විමුක්තියෙන් දාසයෙන් පංගුවක් හෝ නො වටී. ඒ සියලු පින්කම් මැඬලා මෛත්‍රී චේතෝ විමුක්තිය බබළයි. මහණෙනි, රෑ අහසේ තාරකාවන්ගෙන් යම් ආලෝකයක් බෙදයි ද, එය පූර්ණ චන්ද්‍රයාගේ ආලෝකයෙන් දහසයෙන් පංගුවක් හෝ නොවටී. පුන් සඳෙහි ආලෝකය තරු එළිය යටපත් කරගෙන ලොවෙහි අඳුර අභිබවා බබළයි. ඒ අයුරින් ම ඉදිරියට සැප විපාක ලබාදෙන යම් ඒ පුණ්‍ය කර්මයක් ඇද්ද, ඒ සියල්ල මෛත්‍රි චිත්ත විමුක්තියෙන් දාසයෙන් පංගුවක් හෝ නො වටී. ඒ සියලු පින්කම් අභිබවා මෛත්‍රි චේතෝ විමුක්තිය බබළන්නේ ම ය. (මෙත්තා චේතෝ විමුක්තිය – ඛු.නි.)

මේ ලෝකයේ ජීවත්වන අපි බොහෝ විට ජීවිතයට යම් යම් කරදර, කම්කටොලු, බාධක, නොයෙක් දුක්පීඩා ආදිය ඇතිවූ විට විසඳුම සොයන්න පෙළඹෙන්නේ ද්වේෂයෙන්, නැතිනම් ඇනුම් – බැනුම් අඬදබරවලින්. විටෙක සිතේ ඇතිවන ද්වේෂය විරුද්ධවාදීන් මරා දැමීමට තරම් ප්‍රබල වෙනවා. එවිට ප්‍රශ්නය තව තවත් අවුලෙන් අවුලට යනවා. විසඳුමක් නොපෙනෙන තරම් දුරකට යනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ආර්ය ශ්‍රාවකයාට නම් මෙත් සිත වැඩීම නිසා පෙනෙන, නො පෙනෙන ලෝකවලින් එන අභියෝග හමුවේ නොසැලී සිටීමේ ශක්තිය ලැබෙනවා.

සංසාර බැඳීම...

ඒ වගේම මේ මිනිස් ලෝකයේ ඉපදුණ අපි නිදහස් සත්වයෝ නොවේ. මේ මිහිතලයේ අපට පෙනෙන සත්වයන් වගේම නො පෙනෙන සත්වයන් ද ජීවත් වෙනවා. ඔවුන් යක්ෂ, පේ‍්‍රත, භූත ආදී නම්වලින් හඳුන්වනවා. සමහර විට මේ අය සමඟ අප සංසාරගතව වෛර බැඳගත් පිරිසක් හෝ සිටින්නට පුලුවන්. ඇතැම්විට ඔවුන් අපට අනතුරක් කිරීමට හෝ අපගේ ජීවිතය නැති කිරීමට හෝ මාන බලනවා වෙන්න පුළුවන්. ඒ වගේම මනුස්ස ශරීරයෙන් යැපෙන තවත් අමනුස්ස කොටස් ඉන්නවා. ඔවුන් නිසා මනුෂ්‍යයාට බොහෝ ලෙඩදුක් පීඩා උරුම වෙනවා. මේ කවර ආකාරයෙන් වුවත් අපට ඇතිවන්නේ දුකක්, වේදනාවක්, බියක්, තැතිගැනීමක්. මෙවැනි අනේක දුක් කරදරවලින් සහනයක් ලබා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා පුරුදු කළ යුතු හොඳම දේ තමා මෙත් සිත කියන්නේ.

මෙලොවදීම අනුසස්

ලැබෙනවා

මෙත් සිත වැඩීමෙන් මෙලොව දී ම අත්දැකිය හැකි ආනිශංස රාශියක් තිබෙනවා. ඒ බව භාග්‍යවතුන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ දී පෙන්වා වදාළා. මෙත් සිත බහුල වශයෙන් වඩන ශ්‍රාවකයාට සුව නින්දක් ලැබෙනවා. සුව පිබිදීමක් ලැබෙනවා. පාපී සිහින දකින්නේ නෑ. අමනුෂ්‍යයන්ට පි‍්‍රයයි. දෙවියන්ගේ රැකවරණය ලැබෙනවා. වස, විෂ, ගින්දර, අවි ආයුධවලින් සිදුවන අනතුරුවලින් පවා ආරක්ෂා වෙනවා. ඒ වගේම ඒ ශ්‍රාවකයාගේ මුහුණ පැහැපත් වෙනවා. භාවනාවට වාඩි වූ විට සිත වහා එකඟ වෙනවා. සිහිමුලාවෙලා, බයෙන් නන් දොඩවමින් මිය යන මිනිසුන් අතරේ ඔහු හොඳ සිහි නුවණින් යුතුව මරණයට මුහුණ දෙනවා. ඒ සියල්ලම මෙත් සිත වඩන කෙනාට මේ ජීවිතයේ දී අත්විඳින්නට පුළුවන් අනුසස්.

පහනේ ආලෝකය ලබන්නට නම්...

අපි මෛත්‍රි භාවනාව වඩනවා කියන්නේ හරියට දල්වපු පහනක් දරාගෙන සිටිනවා වගේ. ඒ දල්වපු පහනෙන් මුලින් ම ආලෝකය වැටෙන්නේ ඒ පහන දරාගෙන සිටින කෙනා වෙතයි. ඒ වගේ අවට සිටින අපටත් ඒ පහන් ආලෝකය ලබන්නට පුළුවන්. මෙත් සිත වඩන විට ඔහුට වගේ ම ඒ අවට සිටින අයටත් මෙත් සිත නිසා මහත් වූ සෙතක්, ශාන්තියක්, යහපතක් ලැබෙනවා.

එනිසා අපිත් මෙත් සිත නම් වූ ඒ අසිරිමත් පහන් ආලෝකය දල්වා ගනිමු. ලොවේ පැතිර යන කෙලෙස් අන්ධකාරය පහ කොට අපගේ ජීවිත ආලෝකයෙන් ආලෝකයට රැගෙන යමු. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ, වර්ණනා කළ, පුරුදු කරන්නැයි දේශනා කළ මෙත් සිත බහුල ලෙස පුරුදු කරමු.

අධි ඇසළ අමාවක

ජූලි 16 ඉරිදා අ.භා. 10.11 න් අමාවක ලබා 18 අඟහරුවාදා පූ.භා. 00.04 න් ගෙවේ.
17 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]