මරණ මොහොතේ සිතුවම්පටක් සේ දිගහැරෙන කළ කම් සතුටින් දකින්නට නම්

මරණ මොහොතේ සිතුවම්පටක් සේ දිගහැරෙන කළ කම් සතුටින් දකින්නට නම්

බුදු දහමේ ඉගැන්වෙන ගැඹුරු දර්ශනයක් ලෙස කර්ම න්‍යාය හැඳින්වීමට පුළුවන. ලොව පවතින ඉගැන්වීම් අතර, බුද්ධ විෂයය, ලෝක විෂයය හා කම්ම විෂයය අචින්ත්‍ය වන්නේ ය. එය කියා හෝ සිතා හෝ නිම කළ නොහැකි ය.

බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන යුගය තුළ ද කම්ම න්‍යාය පැවතුණි. ඒ අතර ජෛන ආගමේ හා හින්දු ආගමේ, සත්වයා විසින් දැන හෝ නොදැන කරනු ලබන ක්‍රියා මාත්‍රය පමණක් කර්මය ලෙස උගන්වා ඇත. එහෙත් බුදු දහමේ දේශනා කොට ඇත්තේ එවැනි අදහසක් නොව, අ:නි සත්තක නිපාතයේ නිබ්බධීක සූත්‍රයට අනුව “චේතනාහං භික්ඛවේ කම්මංවදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස වා” යනුවෙන් හුදු චේතනාව පමණක් නොව ඒ හා එකට යෙදුණු අනෙකුත් චිත්ත චෛතසික ධර්මයෝ ද කම්ම යන වචනයට ගැනෙන බවයි. සිතින් සිතා, කයින් වචනයෙන් හෝ සිතින් හෝ කිරීම සිදු කරයි.

කර්මය හරියට අළු යට තිබෙන ගිනිපුපුරු මෙන් යටපත් වී තිබෙන්නකි. කර්මය ප්‍රධාන වශයෙන් කුසල හා අකුසල වශයෙන් දෙඅංශයට ම බලපානු ඇත. කුසල කර්ම යහපත් ලෙසත්, අකුසල කර්ම අයහපත් ලෙසත් විපාක වශයෙන් ලැබෙනු ඇත. නමුත් පෙර කරන ලද කුසල කර්මවල විපාක මතුකර ගැනීමට අප්‍රතිහත ධෛර්යයක් හා ප්‍රඥාවක් වුවමනා ය. නමුදු අකුසල කර්මවල විපාක ලැබෙන ප්‍රවණතාව වැඩි ය. එය ඕනෑම වෙලාවක විපාක දීමට පුළුවන.

නොදැනුවත්ව කරන ලද ක්‍රියා කර්මයක් ලෙස නො ගැනේ. සැවැත්නුවර විසු මණිකාර දඩයක්කරුගේ බිරිඳගේ කතාව තුළින් එය තහවුරු වේ. ඇය සෝවාන් වූ උපාසිකාවකි. අත්ලේ තුවාලයක් නැත්නම් කවර විසක් අතින් ගත්තත් සිරුරට නොවදින්නා සේ අකුසල චේතනාවක් නැත්නම් ක්‍රියාවක් අකුසලයක් නොවන බව බුදු හිමි වදාළහ.

කර්ම විපාක දීමේ දී කිසිදු බේදයක් නොමැතිව කාටත් පොදුවේ බලපානු ඇත. එම විපාක ද ක්‍රමවේද හතරක් ඔස්සේ සිදු වෙයි. දිට්ඨධම්මවේදනීය ලෙස මෙලොව දී ම විපාක දීම එක් අවස්ථාවකි. සුප්‍රබුද්ධ, චිංචිමානවිකාව, කෝක නම් සුනඛ වැද්දා වැනි අයට එම විපාකය ලැබුණි. උපපජ්ජවේදනීය වශයෙන් දෙවැනි භවයේ විපාක දීම ද සිදු වේ. කෝසල මල්ලිකාට එවැනි විපාකයක් සුළු කලකට හෝ ලැබුණ බව සඳහන් වේ. තවද අපරාපරියවේදනීය කර්ම වශයෙන් කවදා හෝ විපාක දෙන කර්ම ද ඇත. චක්ඛුපාල, මුගලන් වැනි රහතන් වහන්සේට රහත්වී සිටිය ද එම විපාක ලැබීමට සිදු විය. අහෝසි කර්ම නමින් අහෝසි ගණයට අයත් වන කර්ම ද ඇත. අංගුලිමාල රහතන් වහන්සේට එවැනි අහෝසි කර්ම බලපෑ ආකාරය පැහැදිලි වේ. කුසල අකුසල දෙපැත්තම විපාක දෙන අයුරු වටහා ගත යුතු ය.

බුදු, පසේ බුදු, මහරහත්, රාජරාජ මහාමාත්‍යාදීන්ගේ පටන් කුඩා මිනිසා දක්වාම කර්මයේ විපාකවල වෙනසක්, බෙදීමක් නොමැති බව වටහා ගත යුතු ය. එබැවින් අකුසල් කර්ම කිරීමේ දී දහස්වර සිතිය යුතු ය. එය නැවත නැවත නොකළ යුතු ය. කිරි දෙවූ විගසම නොමිදෙන්නා සේ කර්මය ද කළ විගස විපාක නො දුන්න ද, කවදා හෝ එම කර්ම ශක්තිය කළ කෙනා ම විඳිය යුතු ය.

අවස්ථාව ලද විගස කළ කර්මය ඉස්මතු වී විපාක දෙනු ඇත. සමහර දෙනෙක් යස ඉසුරින් බැබළි බැබළි සිටියදී ම කඩාවැටීමට ලක් වේ. සමහර දෙනෙක් දැඩි ආරක්ෂා මුරකාවල් තුළ සිටිය දී ම විනාශ වේ. ඒ අනුව කර්මයට තැනක්, කාලයක්, පුද්ගලයෙක් වශයෙන් විශේෂත්වයක් ද නැත.

න අත්තලික්ඛේ න සමුද්ද මජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජතීසො ජගතිප්පදෙසො
යත්ථට්ඨිතො මුඤ්චෙය්‍ය පාපකම්මා

අහසෙහි සැඟවී සිටිය ද, මුහුදේ සැඟවී සිටිය ද, පර්වත කුහරයකට පිවිස සිටිය ද තමා කළ පව්කමින් මිදෙන්නට නොහැකි ය. පාප විපාකයෙන් මිදී සිටින්නට හැකි පෙදෙසක් ලොව නැත.

එම හේතුවෙන් අප ජීවත්ව සිටියදී අකුසල කර්ම නොකිරීමට නිරන්තරව වග බලාගත යුතු ය. එයට හේතුව මියැදෙන්නට ළංවී සිටින මොහොතේ දී ගති නිමිති පහළ වීමේ දී අපි කළ සමස්ත කර්ම ශක්තීන් චිත්‍රපටයක් සේ පෙනෙන්නට සිදුවීමයි. එය චුති චිත්තයට ග්‍රහණය වනු ඇත. අකුසල කර්මයක් නම් එම බලවේගය ඊළඟ භවයට අයහපත ගෙන දෙනු ඇත. කුසල කර්මයක් නම් ඊළඟ භවයට යහපත ගෙන දෙනු ඇත. ඒ අනුව ජීවිතයේ සෑම මොහොතකම සිත, කය, වචනය යන තිදොරින් සුබ දෙයක් ම කිරීමට සිතට ගත යුතු ය. ධම්ම පදයේ බාල වග්ගය තුළ සඳහන් ගාථා ධර්මයක් දෙස අවධානය යොමු කර බැලීමේ දී ඒ බව තවත් තේරුම් ගැනීමට පුළුවන.

නතං කම්මං කතං සාධු
යං කත්වා අනුතප්පති
යස්ස අස්සු මුඛො රෝදං
විපාකං පටි සේවතී

සිහිවන සැම විට පසුතැවිලි උපදවනසුලු, කඳුළු පිරි මුහුණින් යුක්තව විපාක විඳීමට හේතුවන පව්කම් නොකටයුතු ය.

කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
ඇදින එ පව් දුරලන උපදේ සේ
නුදුන මැනවි තුන් දොර අවකා සේ

පව් කරන කාලයෙහි මී පැණි මෙන් මිහිරි ය. එහි විපාක දෙන කල්හි ගිනි මෙන් දුක් දැඩි වේ. ඒ පව් දුරු කරන්නා වූ උපදේශය දැනගෙන කය, වචනය, සිත යන ද්වාරත්‍රය පාපයට අවකාශය නුදුනු මැනවි.

ඉහත උපදෙස් ද සිහියට ගෙන පාපයෙන් වැළකීම සෑම තැනකින්ම සුබදායක වන්නේ ය. මිනිසා යනු උසස් මනසක් ඇති සත්වයෙකි. එබැවින් කුසල් – අකුසල්, පින් – පව් හඳුනා ගත හැකි ය. පව්වල විපාකය දුක ය. පින්වල විපාකය සැප ය. සැප විදීමට සියල්ලෝ ම කැමැති වෙති. එවැනි අදහසකින් හෝ පාප කර්මවලින් වැළකී පින් දහම් ම කළ යුතු ය.

අධි ඇසළ අමාවක

ජූලි 16 ඉරිදා අ.භා. 10.11 න් අමාවක ලබා 18 අඟහරුවාදා පූ.භා. 00.04 න් ගෙවේ.
17 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]