සිත පෙළන අසහනය පීඩාව දුරලමු
දඩල්ල,
වාලුකාරාම වෙහෙර වාසී ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
සක් දෙවිඳුන් පෙර භවයෙහි මිනිස් ලොව වසන කාලයේ සත්තවත පදවලින් සමන්විත වූ බවත් එම
ගුණාංග අන් අය වෙත ද සමාදන් කරවූ බවත් එහි ආනිසංස වශයෙන් සක්දෙව් පදවි ලද බවත්
සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම වෙහෙරෙහි වැඩ වසන සමයක දේශනා
කරන ලද සූත්‍ර දේශනාවක් ලෙස සංයුක්ත නිකායේ සක්ක සංයුත්තයෙහි එන සත්තවත පද සූත්‍රය
පෙන්වා දිය හැක.
එම සත්තවත පද ලෝවාසී හැමදෙනාගේ ම ජීවිත සාරවත් ජීවිත බවට පත් කරයි. ජාති, කුල, ආගම්
භේදයකින් තොරව ලොව වසන සෑම කෙනකුටම මෙම ධර්ම කරුණු ජීවිත සාරවත් කර ගැනීමට උපකාරි
වේ. එම සත්තවත පද නම්.
දිවිහිමියෙන් මවුපියන් පෝෂණය කිරීම, දිවිහිමියෙන් කුලදෙටුවන් පිදීම, දිවිහිමියෙන්
මිහිරි වදන් කතා කිරීම, දිවිහිමියෙන් කේලාම් නොකීම, දුරු කළ මසුරු මල ඇත්තකු වී
දන්දීමෙහි ඇලුණු අයකු වීම, දිවිහිමියෙන් සත්‍ය වචන කතා කිරීම හා දිවිහිමියෙන්
ක්‍රෝධ නොකිරීම ය.
උතුම් පින්කමක්
තමන් හැදූ වැඩූ මව්පියන් පෝෂණය කිරීම නුවණැති සත්පුරුෂයන් විසින් අගයන ලද්දකි.
තමා කොපමණ කළගුණ දන්නෙක් ද, කළගුණ සලකන්නෙක් ද යන්න අන් අය විසින් මැන බලන ප්‍රධාන
සාධකයක් වන්නේ මව්පියන්ට සලකන ආකාරයෙනි. එපමණක් ද නොව උතුම් පින්කමක් වන අතර, පරලොව
සුගති පරායන වීමට තරම් ආනිසංස ලැබෙන පින්කමක් වශයෙන් ද මවුපියන්ට සැලකීම දක්වා
තිබේ.
ආයු වර්ණ ලබන්නට
සමාජයෙහි මෙන්ම තම පවුල්වල සිටින වැඩිහිටියන් පිදීම සෑම වැදගත් සමාජයක් ම අගයන
ගුණාංගයකි. එමඟින් අන් අයට පිනක් මෙන්ම එම වැඩිහිටියන් වෙතින් අවවාද අනුශාසනා
ලැබීමට ද හේතු වන්නකි.
බුදුරජාණන් වහන්සේ වැඩ වසන කාලයේ වජ්ජි රාජ්‍යයේ පැවති සප්ත අපරහානීය ධර්මවලින් එක්
කරුණක් ලෙසද මෙය දක්වා තිබේ. නිතර වැඩිහිටියන් පිදීම ආයුෂ, වර්ණ, සැප, බල, ලැබීමට
හේතුවක් ලෙස ද සඳහන් වේ.
මිහිරි වදන්
තමන්ටත්, අනුන්ටත්, මෙලොවටත් පරලොවටත් යහපත පිණිස හේතුවන වචන කතා කිරීම බුදු දහමේ
සඳහන් තවත් වැදගත් ගුණාංගයකි. යම් වචනයක් කීමේ දී එය සත්‍ය ද, පි‍්‍රය ද, අර්ථ සහිත
ද යන සාධක බුදු දහමේදී සලකා බැලේ. යමක් සත්‍ය නම්, අර්ථ සහිත නම්, පි‍්‍රය නම් එය
හැම තැන්හිදී ම පැවසේ. එය මිහිරි වදනකි. එමෙන්ම යමක් සත්‍ය නම්, අර්ථ සහිත නම්
ඇතැම් විට එය අපි‍්‍රය වුව ද පැවසීම බුදු දහමේ ලක්ෂණයයි.
අප්‍රසාදය
ලැබෙන මඟක්
අන් අයගේ අසමගියට හේතු වන කේළාම් කීමෙන් වැළකී සිටීමට බුදුසමය නිතර අනුශාසනා කරයි.
මෙහිදී අප කථා කිරීමේ දී නැවත නැවතත් නුවණින් සලකා බලා වචන කතා කිරීම බෙහෙවින්
වැදගත් වේ. අප බොහෝවිට සමාජගත ජීවිතයේ දී අප්‍රසාදයට පත්වන්නේ අප කතා කරන වචන
හේතුවෙනි. වචන යහපත් වීමට නම් සංකල්පනා යහපත් විය යුතු අතර, වචන යහපත් වීමට මනා
දැක්මක් තිබීම අවශ්‍යම වේ.
මසුරුමල තිබුණොත්
අපේ සිතට අසහනය අසතුට ඇති වීමට ප්‍රධාන කරුණක් වන්නේ දැඩි ලෝභය හෙවත් අභිජ්ඣාවයි.
එය දුරු වීමට ටිකෙන් ටික නමුත් දන්දීමට හුරු විය යුතු ය. සමාජගත ජීවිතයේ දී අන්
අයගේ අප්‍රසාදයට ලක්වීමට ද දැඩි ලෝභය හේතු වේ.
ඇත්ත කතා කිරීම
ඇත්ත කතා කිරීම, සත්‍යවාදී වීම දෙව් ලොව ඉපදීමට තරම් හේතුවන ගුණ ධර්මයක් ලෙස බුදු
දහමෙහි ඇගැයීමට ලක් වේ. බුදු බව සඳහා පාරමිතා පුරන බෝසත්වරු සත්‍ය කතා කිරීම
පාරමිතාවක් ලෙස සම්පූර්ණ කරති. ඇතැම් විට සුළු වැරැදි සිදු වුව ද බොරු කීම කිසි
විටෙකත් සිදු නොකරති. මෙය නිවන් අපේක්ෂාවෙන් කටයුතු කරන, ඒ සඳහා පිළිවෙත් පුරන
බුදු, පසේබුදු, රහත් උතුමන් දිවිහිමියෙන් සම්පූර්ණ කරන ගුණාංගයකි.
ක්‍රෝධය දුරු කිරීම
ක්‍රෝධය දුරු කිරීම හත්වැනි ගුණාංගයයි. සිතට ක්‍රෝධයක් පැමිණි විට සිතෙහි සහනය සතුට
නැති වේ. සිතෙහි ක්‍රෝධයක් ඇති විට අපිට කොතරම් සැප සම්පත් තිබුණ ද ඒ කිසිවකින්
නියම සතුටක් නොලැබේ. එම නිසා අප ලද උතුම් මිනිස් භවයෙන් මෙන්ම අප ලබා ගත්
අධ්‍යාපනය, ධනය, ඤාති මිත්‍රාදී සියලු දෙයින් අප බලාපොරොත්තු වන සතුට ලැබීමට නම්
සිතෙහි අන් අය කෙරෙහි ක්‍රෝධය, තරහව, ද්වේශය, හැකිතාක් දුරට දුරු කළ යුතුව ඇත.
සිතෙහි සහනය සතුට අපේක්ෂා කරන්නකු විසින් සම්පූර්ණ කළ යුතු මූලික ගුණාංගයක් ලෙස
මෙත් වැඩීම සඳහන් කොට තිබේ. අප කෙතෙක් දුරට මානසික සතුට කරා යනවාද යන්න තීරණය කෙරෙන
ප්‍රධාන සාධකයක් වන්නේ අප කෙතෙක් දුරට මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කරනවාද යන්නයි.
මෙම ගුණධර්ම දියුණූු කළ ප්‍රමාණයට අප මෙලොව ජීවිතය සතුටින් ගත කරන අතර, පරලොව
වශයෙන් දෙව්ලොව ඉපදීමට ද එය හේතු වේ. ඒ අතර සමාජගත ජීවිතයේ දී මෙන්ම දෙවියන්ගේ පවා
ගෞරවය, විශ්වාසය, ප්‍රසාදය දියුණුූ කරමින් ජීවත් වීමට ද මෙම ගුණාංග බෙහෙවින් උපාකරී
වේ. විශේෂයෙන් තමන් ඇසුරු කරන තම දූ දරුවන්ට ඤාතීන්ට මෙන්ම හිතමිතුරන්ට ද එය මහත්
ආදර්ශයක් මෙන්ම ආශිර්වාදයක් ද වනු ඇත.
තවද අප දෛනිකව සිදු කරන අධ්‍යාපනික, ආර්ථික කටයුතු සඵල කර ගනිමින් වඩාත් සාර්ථක
ජීවිතයක් ගත කිරීමට ද දෙව්ලොව දෙව් උපතක් ලබන්නට ද මෙම යහපත් ගුණධර්ම බෙහෙවින්
උපකාරී වේ. |