වැල්ලවත්ත ශ්‍රී සද්ධර්මාරාමය

වැල්ලවත්ත ශ්‍රී සද්ධර්මාරාමය

වැල්ලවත්තේ ශ්‍රී සද්ධර්මාරාම විහාරය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ රාජමහා විහාර පාර්ශ්වයේ පාමංකඩ සඟ පරපුරට අයත් විහාරස්ථානයකි.

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය වූ වැව ඉන්දසාර හිමියන්ගේ ශිෂ්‍ය පරපුරට අයත් මලිගස්පේ මංගල හිමියෝ කෝට්ටේ සංඝ සභාවේ ප්‍රථම මහානායක පදවිය හෙබවූ අතර තත්ශිෂ්‍ය ගණාචරිය බද්දේගම සරණංකර හිමිපාණන් වහන්සේ පාමංකඩ සඟ පරපුරෙහි ආදිකර්තෘවරයන් වහන්සේ වූහ.

පාමංකඩ ශ්‍රී මහා විහාරාධිපති බද්දේගම සරණංකර හිමියන්ගේ සහ නාරහේන්පිට අභයාරාමාධිපති උන්දුරුගොඩ ධීරානන්ද හිමියන්ගේ ශිෂ්‍යවර ගාල්ල පිලාන ශ්‍රීමහා විහාරාධිපති වැල්ලම්පිටියේ සීලානන්ද හිමියන්ගේ ශිෂ්‍ය වූ වතවන ධම්මාරාම හිමිපාණන් වහන්සේ 1916 දී වැල්ලවත්තේ ශ්‍රී සද්ධර්මාරාම විහාරය ආරම්භ කොට තිබේ.


විහාරාධිපති
වතවන සිරිසුමන හිමි

බෝධීන් වහන්සේ නමක රෝපණය කරමින් කුඩා සංඝාවාසයක් තනාගෙන වැඩ සිටි නාහිමිපාණන් වහන්සේ 1921 දී විහාර මන්දිරය හා දෙමහල් සංඝාවාසය ඉදි කරවූහ. ශාසනික කටයුතු සහ අධ්‍යාපනය ලැබීම පිණිස කොළඹට වඩින හිමිවරුන්ට ආගන්තුක සත්කාර සලසන ස්ථානයක් වශයෙන් මෙම ස්ථානය ප්‍රසිද්ධියට පත් වී තිබුණි.

1970 දශකයේ වෙහෙර වහන්සේ ඉදි කිරීමත් සමග මෙම පුදබිම සකලාංග පරිපූර්ණ සිද්ධස්ථානයක් බවට පත් වුණි. මංගල ධර්මකීර්ති ශ්‍රී සරණංකර ගෞරව නාමය සහිතව කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද වතවන ධර්මාරාම නාහිමිපාණන් වහන්සේ 1992 පෙබරවාරි මස 04 වැනි දින 104 වසරක් ආයු විඳ අපවත් වූ සේක.

ඉන් පසු මෙහි විහාරාධිපති පදවියට පත් වූයේ අපවත් වී වදාළ නාහිමියන්ගේ ශිෂ්‍ය වූ කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය හිමිනමක වශයෙන් තිස් වසරකට අධික කාලයක් කටයුතු කළ වතවන සිරිසුමන මාහිමිපාණන් වහන්සේ ය. නාහිමිපාණන් වහන්සේ ගොඩනංවන ලද විහාරස්ථානය කාලානුරූපීව නවීකරණය කරමින් නවකම් කරවමින් එතෙක් සිදු කළ සේවය සෑම අතින් ම වැඩිදියුණු කරවීමට නව නාහිමිපාණන් වහන්සේ ක්‍රියා කළහ.

විහාරස්ථාන භූමිය පුළුල් කරමින් නව ධර්මශාලාවක් ගොඩ නංවමින් මළු මංපෙත් සකස් කරමින් විහාරස්ථානය සංවර්ධනය කිරීමට වතවන සිරිසුමන හිමියෝ මුල් වී ක්‍රියා කළහ. නවකතා චක්‍රවර්තී ඩබ්ලිව්. ඒ. සිල්වා මැතිතුමා ජීවත් වූ වැල්ලවත්තේ සිල්වර් මියර් නම් නිවස සහ එතුමා විසින් රචනා කළ සියලු ම කෘතීන්හි හිම්කාරීත්වය වතවන සිරිසුමන හිමියන් වෙත පැවරීමට ඩබ්ලිව්. ඒ. සිල්වා මැතිතුමාගේ ඥාති පුත්‍රයා විසින් කටයුතු කරන ලදින් වර්තමානයේ එම උරුමය සංරක්ෂණය වන්නේ මෙම පුදබිම ඇසුරෙන් වීම විශේෂත්වයකි.

සැදැහැතියන්ගේ ශාසනාභිරතිය පිණිස නූතන සම්ප්‍රදායට අනුකූල විහාර මන්දිරයක් ඉදි කිරීම පිණිස 2017 දී කටයුතු ආරම්භ කරන ලදි. සඳකඩපහණ, මුරගල්, පියගැට, මළුපෙත්, ප්‍රාකාර, ආරුක්කු තොරන්, ද්වාර, කවාට ආදියෙන් සමුපේත මාලාකර්ම, ලතාකර්ම, සිතුවමින් සැරසුණු වියනින් හා බිත්තීන්ගෙන් සමලංකෘත, ද්වාරපාලක රූප සහිත මකර තොරණින් යුත් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක සහ ශ්වේතවර්ණ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක වැඩ සිටින අභිනව විහාර මන්දිරයේ කටයුතු නිමවා තිබේ.

අභිනව විහාර මන්දිරය විවෘත කිරීම ජූලි මස දෙවැනි දින පස්වරු 2.00ට මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ මහානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, සාහිත්‍යශූරී ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ අග්ගමහාපණ්ඩිත, මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයේ වැඩමවීමෙන් සම්භාවනීය ගිහි පිරිසගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

අධි ඇසළ අමාවක

ජූලි 16 ඉරිදා අ.භා. 10.11 න් අමාවක ලබා 18 අඟහරුවාදා පූ.භා. 00.04 න් ගෙවේ.
17 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]