කරන පව් සංසාරයේ කොතැනකදී හෝ ගෙවන්නට ම වෙනවා

කරන පව් සංසාරයේ කොතැනකදී හෝ ගෙවන්නට ම වෙනවා

කර්මය යන සංස්කෘත වචනය ව්‍යවහාරික පහසුව පිණිස කරුමය ලෙස සකසා ගන්නාක් මෙන් බැලූ බැල්මට පෙනේ. නමුත් ව්‍යවහාර වන අන්දම දෙස බලන කල “කරුමය” බෙහෙවින් වෙනස් අර්ථයක් යෙදෙන වචනයකි. ඒ අනුව කර්මය යනු “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යන බුදු වදනේ සඳහන් කර්මය වේ.

එය වෙනත් වචනවලින් කියතහොත් ඉන්ද්‍රිය හය මඟින් සිතට යොමු වන අරමුණු කය මෙහෙයවා ක්‍රියාවට නැංවීම ය. චේතනා යන වචනය එම සියලුම වැඩපිළිවෙළ සඳහා ව්‍යවහාර වන්නකි. “කර්ම” සිදුකළ විට ඒ වෙලේම නොහොත් ඊට පසු කවර හෝ අවස්ථාවක විඳින්නට සිදුවේ.

කර්ම වනාහි පින්, කුසල් වශයෙන් ද, පව් අකුසල වශයෙන් ද දෙවර්ගයකට බෙදා දැක්වේ. මෙයින් පව්, අකුසල් ගොඩට වැටෙන කර්ම සඳහා විඳින්නට සිදුවන දුක් විපාක කරුම ලෙසින් ද, පින් කුසල් ගොඩට වැටෙන කර්ම සඳහා විඳින්නට සිදුවන සැප විපාක වාසනාව ලෙසින් ද ව්‍යවහාර වන බව පෙනේ.

අකුසල කර්ම විපාක විඳින විට ඒක එයාගේ කරුමේ කියා ද, පින් කුසල් සඳහා විපාක විඳින විට ඒක එයාගේ වාසනාව කියා ද කීමෙන් ඒ බව පසක් වේ.

රටකට, සමාජයකට විවිධ හේතු නිසා වරින්වර ඍතු විපර්යාස, සාගත, වසංගත වැනි විපත් පැමිණේ. එබඳු අවස්ථාවල ඇතැමෙක් නොසිතූ ලෙස ඒවායින් ගැලවෙති. ඉන් පෙනෙන්නේ පින් කුසල් කර ඇති අය (වෙනත් අතීත කරුමයක් නැති නම්) වාසනාවන්ත වෙනවා පමණක් නොව, පොදු විපත්වලින් ද ගැලවෙන බව නොවේද?

එක් එක් පුද්ගලයා උපතින්ම උරුම කර ගෙන එන ලෙඩ රෝග ඇත. බලාපොරොත්තු කඩවීම්, තම සේවය යටකර ඉහළ නිලධාරින් එහි ප්‍රතිඵල භුක්ති විඳීම, තම ඉදිරි ගමනට විවිධ බාධා ඇති කිරීම් වැනි අමිහිරි අත්දැකීම් අප කාටත් ඇත. එබඳු අවස්ථාවල බොහෝ අය” මේවා අසවල් අයගේ වැඩ” කියා අනුන් පිට වරද පටවති. එමඟින් තම සිතේ දුක් වේදනා තවත් වැඩි කර ගනිති. එපමණක් නොව විශාල සතුරු පිරිසක් ද ඇති කර ගනිති. ඔවුන්ගෙන් පළිගැනීමට යෑම වැනි වැරැදි කරති.

මෙසේ තම පෙර කරුම නොපිළිගෙන ක්‍රියා කර තව තවත් පාප කර්ම, අකුසල කර්ම සිදුකර ගනිති. භවයෙන් භවයට පිරිහීම ම වැඩි කර ගනිති. කර්ම දිග්ගස්සා ගනිති.

මාරයාට වුවමනා කරන්නේ සත්ත්වයා සසර රඳවා තබා ගැනීමට ය. එයට ආධාර වන්නේ පින් සහ පව් ය. කවරකු හෝ කුසල් කර සසරින් එතෙර වීමට උත්සාහ කරන විට මරයා ම එයට විවිධ බාධා පමුණුවයි.

දරුණු දස මර සෙනගක් හෙවත් කෙලෙස් දහයක් ඉදිරිපත් කරයි. 1. කාමය 2.අරතිය 3. සා පිපාසාව 4.තෘෂ්ණාව 5.ථීන මිද්ධය 6.බිය 7.සැකය 8.ගුණමකු බව හා දැඩි බව 9. වැරදි මඟින් ලබන යසස 10. තමන් උසස් කොට අනුන් පහත් කොට සිතීම එම දස කෙලෙස් මගින් සිතේ සටන් අවුළුවයි.

මේ නිසා සියලු කෙලෙසුන් පරාජය කරන්නට තරම් ධීර වීර, අධිෂ්ඨාන පූර්වක මහා පුරුෂයන් පමණක් සසර ගමන නවතා ගනිතත් පිරිනිවන්පාන තුරුම කර්ම නියාම ධර්මය ඔවුන් පසුපස හඹා යාම නොනවත්වයි.

කරුමය හා වාසනාව යන කරුණු දෙක වඩා හොඳින් වටහා ගන්නට නම් පින්, පව්, කුසල්, අකුසල් යන මාතෘකා යටතේ කර්මය බෙදා ඇති අන්දම වටහා ගත යුතු ය. ඒ ගැන සුළු පැහැදිලි කිරීමකි මේ.

සත්ත්ව ලෝකයේ ඇසට නොපෙනෙන තරම් කුඩා සතුන්ගේ සිට මහා දැවැන්තයන් දක්වා හැම සතකුට ම සොබා දහම දක්වන්නේ සමාන සැලකිලි ය. එබැවින් ඒ කවර හෝ සතකුට තමන් අතින් යම් හිංසාවක්, පීඩාවක්, මරණයක් සිදුවුණොත් ඒ පවේ, අකුසලයේ දුක් විපාක සුදුසු අවස්ථාව බලා විඳවනු පිණිස සුදුසු වැඩ පිළිවෙල සකසා තැබීම, කර්ම නියාම ධර්මයේ වගකීම වෙයි.

ඒ අනුව තමන් විසින් සිදුකරන ලද වරද තමන් වෙත ද ආපසු ලැබෙන්නට සැලසෙයි. සංසාරික විඤ්ඤාණ ධාරාව විසින් සත්ත්වයා ඒ ඒ භවවල දී මෙසේ කරන ලද පාප කර්ම සඳහා විඳිය යුතු කර්ම විපාක රැස් කර ගෙන එනු ලැබේ. සුදුසු අවස්ථාව බලා ඒවා ඉදිරිපත් කෙරේ. එවිට තමන්ට ද “කරුම” දුක් විඳින්නට සිදුවෙයි.

කවර හෝ සතකුගේ අවශ්‍යතා බලා හැඳිනගෙන ඒ ඒ සත්ත්වයාට සතුට උපදවන ලෙස අවශ්‍ය දෑ පරිත්‍යාග කිරීම, උපකාර කිරීම, ආරක්ෂාව සැලසීම වැනි යහපත් ක්‍රියා කළ විට ඒ සඳහා සිතේ කරුණාව හා මෛත්‍රිය පුරවාගත් විට ඒවායේ පුණ්‍ය, කුසල විපාක ද සංසාරික විඤ්ඤාණ ධාරාව විසින් රැස් කරනු ලැබ නිසි අවස්ථාව එළැඹි විට ඉදිරිපත් කෙරේ. එවිට තමන්ට ද සැප විඳින වාසනාව උදාවෙයි. කර්ම නියාම ධර්මයේ හැටි එහෙමයි.

පින් – පව් දෙක අනුව වාසනාව සහ කරුම විඳින පුද්ගලයා ඒ මඟින් සංසාර ගමන දිග්ගස්සා ගනී. තමන්ට ඉඳ හිට සැප, වාසනා උදා වෙතත් බහුල වශයෙන් විඳින්නට සිදු වෙන්නේ කරුම දුක් බව වටහා ගන්නට සෑහෙන්නට දියුණු වූ නුවණක් අවශ්‍ය වේ. ඒ බව වැටහුණු අයකුට සසර ගමන නවතා දමන්නට, නිවන පසක් කර ගන්නට බලවත් කැමැත්ත හා නොපසුබට උත්සාහය උදාකර ගත හැකි වේ. එවිට භව ගමන් නතර වේ. සදා සැනසුම නිවන ලද හැකි වේ.

ඒ සඳහා තැබිය යුතු පියවර කිහිපයකි. දහම් පොත්පත් කියවීම, ඒවායේ ඇතුළත් කරුණු විමසා බැලීම, ධර්මධරයන් සමඟ සාකච්ඡා පැවැත්වීම, වැනි මාර්ගවලින් ධර්ම ඥානය වඩාගත යුතු ය. භාවනා මඟින් සිත හික්මවා ගත යුතු ය. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් අන්දමට නොනිදා ගත කරන මුළු කාලය පුරා සියලු සතුන් වෙත මෛත්‍රිය පැතිරවිය යුතු ය. මේ සියලු උත්සාහයේ ප්‍රතිඵල ඉක්මනින් බලාපොරොත්තු නොවී හෙමින් හෙමින් ළඟා කර ගත යුතු ය.

තවද මෙකල ලෝක ජනතාව විසින් කරනු ලබන බලවත් වැරැදි හඳුනාගෙන ඒවායින් ගැලවෙන්නට වගබලා ගත යුතු ය. ඉන් බලවත්ව වරදක් වන්නේ මිනිසා සත්ත්ව ලෝකයේ අධිපතියා ය, ලොව එකම උරුමක්කාරයා කියා සිතාගෙන මිනිසුන් හැර අන් ඕනෑම අයකු අනවශ්‍ය යැයි වනසා දැමීමට ඇතැම් කෙනෙක් නොපැකිලීම තුළය.

මිනිසුන් අතින් සිදුවන පාපකර්ම හේතුවෙන් ඔවුනට ඕනෑම සතකු ලෙස ඊළඟ භවයේ උපදින්නට සිදුවන බව දන්නේ නම් ඔහු පව් නොකරයි. සතකු මරා දමන විට තමා අතින් මිය යන්නේ අතීත භවයක මියගිය තම පියා, නැතිනම් මව විය හැකි ය.

එහෙත් මෙකල මෙබඳු දහම් කතා ප්‍රලාප ලෙස සලකා පවෙහි ගැලෙන්නෝ බොහෝය. ඔවුහු සසර ගමනේ දී පාවිච්චිය පිණිස දුක් අටු පුරවා තමන්ට මෙලොව දි විඳීමට සිදුවන සියලු ව්‍යසන අන්‍යයන්ගේ වරදින් සිදුවනු සේ සලකා අයිතිවාසිකම්, වැඩි දීමනා ඉල්ලා පෙළපාලි යති. සටන් වදිති. මේ තත්ත්වය ද සොබාදහමේ නීතිය අනුවම සිදුවන්නකි.

මේ ගෙවෙමින් පවතින කලියුගයේ නුවණැත්තෝ පාප උගුලෙන් ගැලවී ධර්ම මාර්ගයට අනුගත වෙත්වා.

අධි ඇසළ අමාවක

ජූලි 16 ඉරිදා අ.භා. 10.11 න් අමාවක ලබා 18 අඟහරුවාදා පූ.භා. 00.04 න් ගෙවේ.
17 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]