[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෞභාග්‍යවත් දේශයකට
සිරි දළදා හිමි රැකවරණයි

   නිකිණි පුර පසළොස්වක පෝය 

  අගෝස්තු 02 ඉරිදා අපර භාග 09.29 න් පසළොස්වක ලබා 03 සඳුදා අපර භාග 09.28 න් පෝය ගෙවේ. සඳුදා සිල්

මීළඟ පෝය අගෝස්තු 11 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

සේරුවාවිල මංගල රාජමහා විහාරයේ නිකිණි මහ පින්කම

බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ කේශ ධාතුන් වහන්සේලා වැඩසිටින ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරයේ 96 වැනි වාර්ෂික ලලාට ධාතු නිකිණි මහා පින්කම අගෝස්තු 26 සිට සැප්තැම්බර් 02 දක්වා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. මීට සමගාමීව සේරුවාවිල මංගල රජමහා විහාරයේ හිටපු විහාරාධිපති දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නාහිමියන්ගේ 36 වැනි ගුණ සමරුව මහ සේරුවිල සරණකිත්ති අනු නා හිමියන්ගේ 04 වැනි ගුණසමරු පින්කම ද පැවැත්වේ. මෙම කාලය තුළ දිනපතා සති පිරිත් දේශනාව, ලලාට ධාතු පූජාව සහ විශේෂ ධර්ම දේශනා ද පැවැත්වේ. 26 දා සති පිරිත් දේශනාවෙන් පින්කම් මාලාව ආරම්භ කෙරේ. 27 සිට 31 දක්වා ලලාට ධාතු පූජාව, විදුලි ආලෝක පූජාව, ධර්ම දේශනා සහ සති පිරිත් දේශනාව නිමා වීමෙන් පසු අපවත්වී වදාළ මහා සංඝ රත්නයට හා වියෝ වූ දායකකාරකාදීන් සිහිකර සියක් නමක් උදෙසා දානමය පින්කමකි. සැප්තැම්බර් (01) දා පොහෝ දින ආගමික වැඩසටහන, දේවදූත පෙරහර ,දොරකඩ අස්න, අනුශාසනාව, මල් වෙඩි සංදර්ශනය පැවැත්වේ. සැප්තැම්බර් 02 වැනිදා වාර්ෂික පින්කම් මාලාව නිමාවට පත්කරන බව විහාරාධිපති, නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝ නායක, දොම්පේ පාළුගම භාවනා මධ්‍යස්ථානාධිපති ආචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමියෝ සඳහන් කරති.

ධර්ම දේශනාව:

මෙලොවට පමණක් නොව පරලොවට ද ගෙන යන සිතේ රෝග

නහි වේරෙන වේරානී සම්මන්තීධ කුදාචනං - අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ, මෙලොව කිසි දිනෙක වෛරයෝ වෛර කිරීමෙන් නොසන්සිඳෙත්. වෛරයෝ වෛර නොකිරීමෙන් සංසිඳෙත්. මෙය සැම කල්හි ම ලොව නොවෙනස් ව පවතින ධර්මතාවක්. ධනයට හා සැප සම්පත්වලට ඇති ගිජුකම නිසා සමහරු තමාගේ මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය ද විනාශ කර ගන්නවා. කයට රෝගයක් ඇතිවූ විට එය ටික කලෙකින් සුවපත් කර ගන්නට හැකි වෙනවා. නැත්තම් එය මරණයත් සමඟ අවසන් වනවා. එහෙත් හිතේ හටගන්නා රෝග මෙලොවට පමණක් නොව පරලොවට ද ගෙන යන බව ධර්මානුකූල ව සඳහන් කරන්න පුළුවන්. මේ පිළිබඳ ව හැමදෙනාම ඉතාම බුද්ධිමත්ව කටයුතු කරන්නට ඕන. එහෙම නොවුව හොත් සසර පුරාවට ම දුක් දෙමින් තමා පසුපස එන, තමාට විනාශය ගෙන දෙන දෙයක් වශයෙන් වෛරය හඳුන්වන්න පුළුවන්. මේ සම්බන්ධව උදාහරණ ධර්මයට අනුකූල ව ඕනෑ තරම් සොයා ගන්නට පුළුවන්. තම දරුවනුත් මරා තමනුත් මැරීමට ක්‍රියා කළ කාන්තාවක් කෙරෙහි බැඳගත් වෛරය තුළින් දරුවන් සමඟින් උනුනුන් මරා ගනිමින් සසර පුරාවට පැමිණි දිගු ගමන බුදුරජාණන් වහන්සේ හමුවේ දී නිරාකරණය වූ අයුරු කාලි යක්ෂණී කතාවෙන් පැහැදිලි වෙනවා. මෙලොව කිසි දිනෙක නව ආඝාත වස්තූන් නිසා කෙනෙකුගේ සිතේ හටගන්නා වෛරය, වෛර කිරීමෙන් නොසන්සිඳෙන බවත්, වෛරය වෛර නොකිරීමෙන් සංසිඳෙන බවත් මෙම කරුණ අරභයා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

 

බෞද්ධ සංස්කෘතික උරුමය හා පූජා චාරිත්‍ර ලොවට ප්‍රදර්ශනය කෙරෙන

සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය

දළදා පූජෝපහාරය, සිවුමහා දේවාලයන්හි දෙවියන්ට භක්ති ප්‍රණාමය දැක්වීම හා කලට වැසි ලබා සශ්‍රීකත්වය හා සෞභාග්‍යය ඇති කර ගැනීම අරමුණු කොට ගෙන මෙම උතුම් පෙරහර මංගල්ලය වාර්ෂික ව පැවැත්වේ. සෙංකඩගලපුර දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය පරම පූජනීය ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි සිදු කෙරෙන වාර්ෂික සතර මංගල්ලයන් අතුරෙන් සුවිශේෂී පූජා මංගල්ලයකි. දළදා පූජෝපහාරය, සිවුමහා දේවාලයන්හි දෙවියන්ට භක්ති ප්‍රණාමය දැක්වීම හා කලට වැසි ලබා සශ්‍රීකත්වය හා සෞභාග්‍යය ඇති කර ගැනීම අරමුණු කොට ගෙන මෙම උතුම් පෙරහර මංගල්ලය වාර්ෂික ව පැවැත්වේ. ව්‍යවහාර වර්ෂ 310 වැන්නේ කිත්සිරි මෙවන් රජු දවස පටන් වසර එක්වා දහස් සත්සිය දස වසරක් සපුරන ජාතියේ ප්‍රෞඩත්වය හා බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාවය විදහා දක්වන හෙළ මහා කලා මංගල්ලය සේ දෙස් විදෙස් ජනී ජනයාගේ සිත්සතන් සැදැහැයෙන් පුරවන මෙම මංගල්ලය චිරාගත සම්ප්‍රදායික පුදසිරිත්වලට අනුගත ව සුභ නැකැත් මුහුර්තීන්ට අනුව පැවැත්වේ. මෙවර පෙරහරේ විශේෂත්වය වන්නේ මහජනතාවගේ එක්රැස්වීමෙන් හා සහභාගිත්වයෙන් තොරව කොවිඩ් - 19 හෙවත් කොරෝනා වසංගත තත්ත්වය මඟහරවා ගැනීම් වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්තුමා ඇතුලු සෞඛ්‍ය අංශයන්ගෙන් ද, ත්‍රිවිධ හමුදාපතිවරු හා වැඩබලන පොලිස්පති ඇතුලු ආරක්ෂක අංශයන්ගෙන් ද ලැබුණු මෙම වසංගත තත්ත්වය මඟහරවා ගැනීමේ නිරෝධායන නීති රීති හා උපදෙස්වලට එකඟව හුදෙක් පෞරාණික දළදා පූජෝපහාර චාරිත්‍ර විධි ආරක්ෂා කර ගැනීමේ අභිලාෂයෙන් සෞඛ්‍යාරක්ෂිත නීති රීති සුරක්ෂිත කර ගනිමින් පැවැත්වෙන පෙරහර මංගල්ලයක් වීම ය.

 

ගිම්හානයේ උදාවන වස්සානයේ වසන්තය

බුදු දහමේ ඉගැන්වෙන පින් අධික පින්කම් අටකි. ඒවා අට මහ කුසල් යනුවෙන් හැඳීන්වේ. එම කුසල් අටෙන් පළමු වැන්න කඨින චීවරයක් පූජා කිරීමයි. දැනට වස් තෙමස ඇතුළත ප්‍රායෝගික ව සිදුවන පින්කම් දෙස බැලීමේ දී එම අටමහ කුසල්වලින් කිහිපයක් ම සිදුවන අවස්ථා ද දක්නට ලැබේ.ඇසළ මස පුර පසළොස්වක පොහෝදායින් වස්සානයේ සුයාමය ඇරඹෙයි. කෙලෙස් ගිම්හානයෙන් වියැළුණු බොදුනු සිත් කුසල් වැස්සෙන් සිහිල් වන සමය උදා වන්නේ ද වස්සාන සමයේ දී ය. පැවිදි ගිහි දෙපසම එක්සිත් ව තෙමසක් පුරාවට පිවිතුරු සිතින් යුතුව පින් දහම් කිරීමට එකමුතු වන්නේ ද මෙම වස්සාන සමය ආරම්භයේ දී ය. බුදුරජාණන් වහන්සේගේ නියමයක් අනුව වැසි කාලයේ භික්ෂුන් වහන්සේලා වස් එළඹීම සම්බන්ධයෙන් දූරාතීතයේ සිට ලබා ඇති අත්දැකීම භාවිතය, පරිචිතය හා අවබෝධය සුඵපටු වූවක් නොවේ. ඉතිහාසයේ නොයෙක් රජවරුන් විසින් පවා ඉමහත් අභිරුචියකින් හා කැපවීමකින් කරන ලද මෙය ආගමික ශාසනික ජාතික හා සාමාජික වටිනාකම් රාශියක් සහිත පුණ්‍යකර්මයක් වේ. වස් සමය උදාවන මෙම අවස්ථාවෙහි එය වැදගත් වන ආකාර පිළිබඳ සලකා බැලීම ඉතා වැදගත් වේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk