[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය

සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය

ආගමික හා ජාතික සංස්කෘතික මංගල්‍යයක්

සමස්ත ලෝකවාසී ශ්‍රද්ධාවත් බෞද්ධ මහජනතාවගේ අත්‍යන්ත පූජෝපහාරයන්ගෙන් සුපූජිත ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රමුඛස්ථානයේ තබා සෙංකඩගල පුරවරයෙහි වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහා පෙරහර ශ්‍රී ලාංකේය ආගමික හා සංස්කෘතික පූජෝත්සවයන්ගේ මුදුන්මල්කඩ ලෙස චිරසම්භාවිත ය.

ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී දේහය ආදාහනයෙන් අනතුරුව ඛේම නම් මහ රහතන් වහන්සේ විසින් ලබා ගන්නා ලද වාම ශ්‍රී දළදා වහන්සේ කළිඟු රට බ්‍රහ්මදත්ත රජුට භාර දෙන ලදුව, එම රජතුමා දන්ත ධාතූන් වහන්සේ රන් මිණිමුවා මණ්ඩපයක තැන්පත් කර, පුද පූජා පැවැත්වූ බවත්, ගුහසීව රජු දවස හේමමාලී හා දන්ත කුමරු විසින් ලංකාවට වැඩම කරවූ බවත්, එ දවස ලක්දිව රාජ්‍ය විචාළ කිත්සිරිමෙවන් රජතුමා අනුරාධපුරයේ අලංකාරවත් දාඨා ධාතු මන්දිරයක් කරවා දන්ත ධාතූන් වහන්සේ එහි වඩා හිඳුවා නිති පුද පූජා පැවැත්වූ බවත් දළදා ඉතිහාසයේ විස්තාරිත ය. ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙන් සලකා ශ්‍රී මේඝවර්‍ණාභය රාජ්‍ය සමයෙහි පටන් (ක්‍රි.ව 301-328) මහා සංඝරත්නය මෙන් ම ශ්‍රී ලාංකේය ශ්‍රද්ධාවත් රජවරු හා බෞද්ධ මහා ජනතාව මහත් ගෞරවයෙන් දළදා වහන්සේ වන්දනාමාන කරති. විදේශීය ආක්‍රමණ පැවැති යුගවල දී පවා තම දිවි දෙවැනි කොට ආරක්‍ෂා කරන ලද ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පළමුවැනි විමලධර්ම සූරිය රජු දවස පටන් අද දක්වා සෙංකඩගල පුරවරයෙහි අත්‍යලංකාර මන්දිරයක සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පූජෝපහාර ලබමින් වැඩවසති.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමියන් වහන්සේගේ ද අනුශාසනා ලබා නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාලයන්හි පෙරහරද දළදා පෙරහරට එක් කළ අතර, එදා සිට අද දක්වා දළදා පෙරහර ප්‍රමුඛස්ථානයේ තබා සතර දේවාලයන්හි පෙරහර ද දළදා පෙරහරට එක් වී ජාතික කලා සංදර්ශනයක ස්වරූපයක් ගෙන ඇත.

මෙලෙස ආගමික, ජාතික හා සංස්කෘතික වශයෙන් වැදගත් වූ දළදා පෙරහර මෙවර ලෝක ව්‍යසනයක් වූ කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාවට දැකබලා ගැනීමේ අවස්ථාව නොලැබුණ ද අසිරිමත් දන්ත ධාතූන් වහන්සේගේ පිහිටාශිර්වාදයෙන් සකල ලෝකවාසීන් පවතින ව්‍යසන තත්වයන්ගෙන් අත්මිදේවායි ප්‍රාර්ථනා කරමින් දළදා පෙරහර පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබීම අප කාගේත් සතුටට කරුණකි.

ඔබ සැමට දළදා සමිඳු පිහිටයි !

****

දළදා හිමි අනුහසින් සැමට සෞභාග්‍යය

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩම කළ මුල් අවධියේ සිට ම උන්වහන්සේ විෂයයෙහි විවිධාකාර වූ පුද පූජා පැවැත්වීමට මෙරට රාජ රාජ මහාමාත්‍යාදීන් ඇතුළු රට වැසියෝ බොහෝසෙයින් උනන්දු වූහ.

මේ නිසාම දළදා වහන්සේ උදෙසා පෙරහර පැවැත්වීම් ද ආදි යුගයේ සිට ම ආරම්භ වූවක් බව පෙනේ. කිත්සිරිමෙවන් රාජ සමයේ දළදා මැදුරේ සිට අභයගිරි විහාරයට දළදා වහන්සේ ඉතා විසිතුරු පෙරහරකින් වැඩමවීමත් සමඟ මෙම දළදා පෙරහරේ සමාරම්භය සිදුවී ඇති බව වියතුන්ගේ මතයයි

වර්තමාන කාලය වන විට දළදා වහන්සේ උදෙසා සිදු කරන වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය , හෙළ බොදු සංස්කෘතියේ අභිමානය කියාපාන උසස් සංස්කෘතිකාංගයක් ලෙස විශ්ව කීර්තියට පත්ව ඇත. එහිලා අතීතයේ මෙරට සිටි රාජ රාජ මහාමාත්‍යාදීන් දක්වන ලද සුවිශේෂ අනුග්‍රහය මෙවන් පුද පූජා චාරිත්‍ර මෙරට ජන ජීවිතය තුළ තදින් මුල්බැස ගැනීමට හේතුවන්නට ඇත. ඒ නිසා අද වන විට මෙරට බෞද්ධ අබෞද්ධ කා තුළත් මෙම විසිතුරු පෙරහර මංගල්‍යය කෙරෙහි ඇත්තේ ඉමහත් ළැදියාවකි.

අවාසනාවන්ත ලෙස ලොවම සසල කරමින් ඇතිවී තිබෙන වසංගත රෝග දුර්භික්ෂය හේතුවෙන් සුපුරුදු පරිදි මෙවර මහජනතාවට පෙරහර නැරඹීමට අවස්ථාව නොලැබුණත් ශ්‍රී දළදා සමිදුන් උදෙසා සිදු කරන්නා වූ පුද පූජාවන් සහ සිරිත් චාරිත්‍ර ඉටු කරමින් මෙවර ද පෙරහර මංගල්‍යය සිදු කිරීමට කටයුතු යොදා ඇත. සිංහල බෞද්ධයාගේ අභිමානය ලොවට ම කියාපාන මෙවන් උසස් සංස්කෘතිකාංග නොනැසී පවත්වාගෙන යෑම අප කාගේත් වගකීමයි.

අප රට ජාතියේ ආරක්ෂාව ගැන කල්පනා කොට යොදා ඇති නීති රෙගුලාසිවලට අවනතව මෙවර දළදා පෙරහර රූපවාහිනි විකාශනයන් ඔස්සේ නරඹන ලෙස සිහිපත් කරන අතර මෙම අසිරිමත් ඇසළ මංගල්‍යය හෙවත් දළදා පෙරහරේ අනුහසින් ලක්වැසි සැමට සෞභාග්‍ය උදා වේවා! යි ආශිංසනය කරම්හ.

****

ත්‍රි සිංහලයේ අසිරිමත් මංගල්‍යය

ආගමික සංසිද්ධීන් පසුබිම් කොටගෙන බොහෝ රටවල ඒ වටා ගොඩනැගුණු සංස්කෘතිකමය හර පද්ධතීන් බිහි වී ඇති බව ලෝක ඉතිහාසය දෙස බැලීමේ දී මනාව පැහැදිලි වේ. ශ්‍රී ලංකාව තුළ ද මහින්දාගමනය, සංඝමිත් තෙරණින් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධිය වැඩමවීම, දන්ත ධාතූන් වහන්සේ වැඩමවීම යන කරුණු හේතුකොට ගෙන සංස්කෘතිකමය හර පද්ධතීන් දේශීය සංස්කෘතියට බද්ධ වී ඇත.

ක්‍රි.ව 1593 දී පළමු වන විමලධර්මසූරිය රජතුමාගේ කාලයේ මහනුවරට වැඩම කරවන දළදා වහන්සේ හේතුකොටගෙන දළදා සංස්කෘතියට පෙරහර සංස්කෘතිය එක්වීම අපේ හර පද්ධතියට ඉතා තියුණු ලෙස කා වැදී ඇත. සිව් මහා දේවාල සඳහා මහනුවර පැවැති පෙරහර දළදා පෙරහරක් ලෙස හැඳින්විය නොහැකි බැවින් සියම් උප සම්පදාවත් සමගම ක්‍රි.ව 1753 දී පවත්වන ලද පළමු දළදා පෙරහර මේ වන විට මුළු ත්‍රි සිංහලයේම නොමැකෙන සලකුණක් බවට පත්වී ඇති අතර ජාත්‍යන්තරයට ද ඉතා ගැඹුරු ලෙස ආකර්ෂණය වී ඇත.

එදා මෙදා තුර පැවැති දළදා පෙරහර ගැන සමීක්‍ෂණයක යෙදෙන විට ඌව වෙල්ලස්ස කැරල්ල මුල් කර ගනිමින් ඉංශ්‍රීසීන් විසින් 1818 දී දළදා පෙරහර තහනම් කරන ලද බව පෙනී යන අතර මේ තහනම 1828 දක්වා පැවැත්වුණි. පසුව 1828 දී මැයි 29 වන දින වෙසක් දින එම තහනම අත්හිටවූ පසු දළදා ප්‍රදර්ශනයක් ද පවත්වා ජුනි මස 08 වන දින ඇසළ පෙරහර පවත්වන ලද බව ඉතිහාසයේ ද සඳහන් වේ. පළමු සහ දෙවන ලෝක යුද සමයේ ද ඉහතින් සඳහන් කළ තහනම් කාල සීමාවේ ද 1989 භීෂණ සමයේ ද වර්ෂ 1915 සිංහල මුස්ලිම් අරගලය පැවති අවස්ථාවේ දී දළදා පෙරහර පැවැත්වීම පිළිබඳ ගැටලු මතු වී ඇති බව දැකිය හැකි ය.

අද වන විට ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති කෝවිඩ් -19 වයිරස අභියෝගය පෙරහර පැවැත්වීමේදී ද අප හට අභියෝගයක් වී ඇත. අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජයේ ආරක්‍ෂක අංශ හා සෞඛ්‍ය අංශයෙන් ලබා දෙන ලද වෛද්‍ය උපදෙස් හා නීතිරීති මාලාවන්ට අනුකූලව ජනතා සහභාගීත්වයකින් තොරව අප හට මෙවර ඇසළ පෙරහර පැවැත්වීමට සිදු වූවද එම අභියෝගයට මුහුණ දෙමින් රටක් සහ ලොවක් බලා සිටින ත්‍රී සිංහලයේ අසිරිමත්ම බුද්ධාභිවන්දනය අභියෝගයන් හමුවේ වුවද පැවැත්වීමට හැකි වීම ගැන අපට සතුටු විය හැකි ය.

එදා මෙදා තුර දළදා මාළිගාවේ පුද සිරිත් හා පෙරහරට අනුගත සියලුම සම්ප්‍රදායන් හා සිරිත් විරිත් අකුරටම පිළිපදිමින් වෙනත් වසර වල පෙරහර ගමන් කළ මහනුවර නගරයේ සියලුම වීදි ආවරණය වන සේ මෙවරද ඇසළ පෙරහර පැවැත්වෙන බව ඉතා සතුටින් ඔබ සැමටම දැනුම්දෙනු කැමැත්තෙමි.

තවද ජනතා සහභාගීත්වයකින් තොරව පෙරහර පැවතුණ ද පෙරහරේ ගාම්භීරත්වය, පූජනීයත්වය හා සංස්කෘතික වටිනාකම් කිසිම අයුරකින් අඩුවක් කර නැත. අන්තර්ජාල චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ පුරා දින 10 තුළම ඇසළ මහා පෙරහර මංගල්ලය ජාත්‍යන්තරයට විකාශනය කරන අතර අප රට තුළ ද රූපවාහිනි නාලිකා ඔස්සේ ඔබට දිනපතා පෙරහර සජීවීව නැරඹිය හැකි බව ඳ සඳහන් කිරීමට කැමැත්තෙමි. අගෝස්තු මස 03 වන දින පැවැත්වෙන අවසන් රන්දෝලි මහා පෙරහර සියලුම රූපවාහිනි නාලිකාවල සජීවීව විකාශනය කිරීම පිණිස කටයුතු සූදානම් කර ඇත.

දළදා සමිදු සරණින් අපේ රටටත්, මුළු ලෝකයටත් කෝවිඩ් - 19 වයිරසය අබිබවමින් සතුට සාමය සහ සෞභාග්‍යයෙන් පිරි ප්‍රභාශ්වර වූ හෙට දවසක් උදා වේවායි මම ප්‍රර්ථනා කරමි.

   නිකිණි පුර පසළොස්වක පෝය 

  අගෝස්තු 02 ඉරිදා අපර භාග 09.29 න් පසළොස්වක ලබා 03 සඳුදා අපර භාග 09.28 න් පෝය ගෙවේ. සඳුදා සිල්

මීළඟ පෝය අගෝස්තු 11 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]