පළමුව ආදර්ශය
දෙවනුව උපදේශය
බත්තරමුල්ල පන්නිපිටිය පාර
සිරි සුදස්සනාරාම සදහම්
සෙනසුන්වාසී ශාස්ත්‍රපති
අලුත්වෙල ධම්මසති හිමි
මව්පියන් විසින් තම දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුකම් පහක් සිඟාලෝවාද සූත්‍රයෙහි
දක්වා තිබේ.
පාපා නිවාරෙන්ති – පවින් වළක්වයි
කල්‍යානේ නිවෙසෙන්ති – යහපතෙහි යොදවයි
සික්ඛං ශික්ඛාපෙන්ති - ශිල්ප ශාස්ත්‍ර උගන්වයි
පතිරූපේන දාරෙන සංයෝජෙන්ති -
සුදුසු කල්හි අවාහ විවාහ කර දෙයි.
සමයේ දායජ්ජං නීයාදෙන්ති -
සුදුසු කාලයෙහි දායාද පවරාදෙයි යනුවෙනි.
මෙහි සිව්වෙනුව දක්වා තිබෙන්නේ ‘සුදුසු කල්හි දරුවන් අවාහ විවාහ කරදීමය. ඊට පෙරාතුව
ඔවුන් පාපයෙන් වළක්වා යහපතෙහි යොදවා යම් ශිල්ප ශාස්ත්‍රයක් තුළ හික්මවා සුදුසු
පිරිසක් බවට පත්කළ යුතුවේ. අවාහ විවාහයන්ට පත්වීමට සිටින දරුවන් ඇති මව්පියන් එම
දරුවන්ගේ විවාහය, විවාහ මංගල්‍යය, දේපොළ, මිල මුදල්, අධ්‍යාපනය පිළිබඳ උත්සුක වන
තරමට ම ඔවුන්ගේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් ගුණ ධර්මයන්ගෙන් ද ඔවුන් පෝෂණය කළ යුතු
වේ.
එම කාර්යයෙහිලා පළමු පියවරනම්, මව්ිපියන් ආදර්ශ සම්පන්න වීමය. ‘දරුවා පියාගේ
සෙවනැල්ල මෙනි’යි. ‘ඇරිස්ටෝටල් පඬිතුමා කීවේ ය. අපගේ සෙවනැල්ල ද අප කරන දේ ම කරයි.
සෙවණැල්ල සේ හිඳින දරුවෝ ද මව්පියන් කරන සියලු දේ ම කිරීමට සූදානම් ය. එය සාමාන්‍ය
ස්වභාවයයි. අම්මා, තාත්තා, කරන සෑම ක්‍රියාවක ම, පවසන සෑම වචනයකම සටහන් දරුවන්ගේ
සිත්වල ඇඳේ. එය සිතට ගෙන ආදර්ශයෙන් හා උපදේශයෙන් දරුවා යහපතෙහි යෙදවිය යුතු ය. බොහෝ
මව්පියන්ට දරුවන් අයහපතින් මුදවා ගැනීමට නොහැකි වන්නේ තමන් තුළ පවත්නා දුසිරිත්
නිසාම ය. තමන් යහපතෙහි යෙදෙන්නේ නම් දරුවන් ඒ මගෙහි යෙදවීමට විශේෂ උත්සහායක් ගන්නට
වුවමනා නැත. මේ නිසා මව්පියන් පළමුව ආදර්ශයෙන් ද දෙවනුව උපදේශයෙන් ද තම දරුවනට
පූර්වාචාර්යයන් විය යුතු ය.
සුදුසු කාලය පැමිණිවිට දරුවන් අවාහ විවාහ කරදීම මවුපියන්ගේ යුතුකමෙකි. පෙරදිග
චාරිත්‍රානුකූලව නම් දරුවනට සුදුසු ස්වාමී පුරුෂයන් හෝ භාර්යාවන් හෝ සොයාදීම
මව්පියන් විසින් කළ යුතුය. ස්වයංවරය හෙවත් තමන් ම සුදුස්සා තෝරාගැනීමක් ද ස්වල්ප
වශයෙන් පැවැත්වේ. එහෙත් එය මව්පියන් විසින් පමුණුවා දෙන සුදුස්සන්ගෙන් කෙනෙකු තෝරා
ගැනීම මිස මෙකල බහුල වේගෙන යන හිතුවක්කාර බන්ධන නොවේ. ඉන්ද්‍රිය දමනය නැති රාගයෙන්
මත් වූ තරුණයෙකුට හෝ තරුණියකට හෝ තමන්ට සුදුසු භාර්යාව හෝ ස්වාමියා සොයාගැනීම පහසු
නොවේ. එහෙයින් ම මෙකල බහුල වේගෙන එන හිතුවක්කාර බන්ධන වැඩිකල් නොයවා ම ලිහී යතියි.
පෙර අප රට නොතිබුණු දික්කසාද අද වැඩිවීමේ ප්‍රධාන හේතුව ද එයම ය. බුදු දහමට අනුව
අවාහ විවාහ බන්ධනය මරණයෙන් විනා අතරමඟ කැඩිය හැකි දෙයක් නොවේ. එහෙයින් දරුවන්ට අවාහ
විවාහ කරදෙන මව්පියන් විසින් වස්තුව පමණක් ම නො දී ඔවුනට ජීවිතාන්තය තෙක් යහපතින්
සිටිය හැකි පරිදි ඔවුනොවුනට සමවන වයස, ගතිසිරිත්, ගුණ නුවණ හා අදහස් ද ඉතා
සැලකිල්ලෙන් විමසා බැලිය යුතු ය. මේ පිළිබඳව පූර්වාදර්ශයන් බුදුදමෙහි දක්නට ලැබේ.
උග්ගහ සිටාණන්ගේ නිවසෙහි තම දූවරුන් විවාහකර දෙන මංගල්‍යයක් එළඹියේ ය. සිටාණෝ
බුදුරජාණන් වහන්සේ වැඩම කරවා දන් පිළිගන්වා අවසානයේ මෙසේ සැළ කළහ. ‘ස්වාමිනී. මාගේ
මේ දියණිවරු විවාහ වී ස්වාමි කුලයන් කරා යන්නාහ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔවුනට
බොහෝ කල් හිතසුව පිණිස හේතුවන්නා වූ අවවාද දී වදාරණ සේක්වා!” මේ ආරාධනය පිළිගත්
බුදුරජාණන් වහන්සේ වාසනාවන්ත ජීවිත ගතකිරීමට උපකාරීවන වැදගත් අවවාද රාශියක් දේශනා
කළ සේක.
“ඉර පායනතුරු නොනිදා අවදි විය යුතු ය. ස්වාමී පුරුෂයාට ප්‍රථම හිමිදිරි පාන්දර
නැගිට, ඒ ඒ කටයුතු සංවිධානය කිරීම. රෑ නින්දට යන විට ද හැමට ම ප්‍රථම නින්දට නොගොස්
පසුදා උදෑසනට වුවමනා දෑ සොයා බලා දොර ජනෙල් ආදිය නිසි ලෙස වසා තිබේදැයි ආදිය විමසා
බැලීම ගෘහනියකගේ යහපත් පුරුද්දකි. හැමට පසුව නින්දට යෑම , නියම වශයෙන් ම
ස්වාමීපුරුෂයාට කරන උපස්ථානාදිය, විශේෂ හැම කටයුත්තක දී ම ස්වාමියාගේ අනුමැතිය
ලබාගැනීම” වැදගත්ය. එමෙන් ම ස්වාමියාගේ වචනයට කීකරුවීම හැම විටම ස්වාමියාගේ සතුට හා
ප්‍රේමය වැඩිවන ලෙස ක්‍රියා කිරීම කළයුතු ය”.
මහා පුණ්‍ය වන්තයෝ නම් ප්‍රිය මනාප කතා ඇත්තෝ වෙතියි යන්න නිතරම සිහියේ තබාගෙන
ඇසුවන් මන වඩන, මෘදු මොළොක් මටසිලිටි වචනම කතා කිරීම යන මේ කරුණ මැනවින්
පවත්වන්නෙමියි හික්මිය යුතු වන්නේ ය.
“ස්වාමී කුලයට ගිය පසු එහි දී තම ස්වාමියා විසින් ගරු බුහුමන් කරන යම් කිසි කෙනෙක්
වෙත් ද ඔවුනට ගරු බුහුමන් කරමි. තමන් වෙතට පැමිණි කල සුදුසු ලෙස ඉදුම්හිටුම් දීමෙන්
කෑම්බීම් ආදියෙන් සංග්‍රහ කරමි. පුදමි යැයි හික්මිය යුතු වන්නේ ය”.
“කුමරියනි, ස්වාමියාගේ යම් කර්මාන්තයෙක් වේද එහි දක්ෂ විය යුතු ය. අන්ලසව යෙදිය
යුතු ය. නුවණින් විමසා බලා කළ යුතු ය. අනුන්ලවා කරවිය යුතුයැයි තමන් විසින් හික්මිය
යුතු ය. ඉවුම්, පිහුම්, මැහුම්, ගෙතුම් ආදී කුදුමහත් කටයුතුවල දක්ෂවිය යුතු ය.
යනුවෙන් සිතට ගත යුතු ය”.
“කුමරියනි, ස්වාමියාගේ අභ්‍යන්තර වූ දාසිදාසියෝ ය. පණිවුඩ පනත් ගෙන යන මෙහෙකරුවෝ ය.
බර වැඩ කරන කම්කරුවෝ ය යන මොවුන් විසින් මේ මේ කටයුතු කරන ලදී. මේ මේ කටයුතු නොකරන
ලදී. ආදි වශයෙන් මෙහෙකරුවන්ගේ කටයුතු හොඳින් බලාගමි’ යැයි ද, ඔවුන්ගේ කාය ශක්තිය
අනුව කටයුතු නියම කිරීම ද ඔවුනට කෑම් බීම් ආදියෙන් නිසිලෙස සංග්‍රහකිරීම හා ඔවුන්
ලෙඩ වූ විට බෙහෙත් සපයා දීම් ආදියෙන් හොඳින් උපස්ථාන කිරීම් ද යන මේ කටයුතුවල
යෙදෙන්නට ද හික්මිය යුතු ය”.
“කුමරියනි, ස්වාමිපුරුෂයා ධන – ධාන්‍ය හෝ රන් රිදී කහවණු ආදිය හෝ සපයා ගෙනෙන්නේ ද
එය රැකබලා ගන්නෙ’මි. නා නා දුසිරිත් සඳහා නො යෙදෙන්නෙමි, සොර සිතින් ගෙන තමන් හට
වුවමනා දෑ හි නොයෙදෙන්නෙමි. විනාශ නොකරන්නෙමි යැයි නුඹලා විසින් හික්මිය යුතු වන්නේ
ය”.
පුරාණ කාලයෙහි විශේෂයෙන් දූවරු විවාහකරදෙන විට මවුපියන් විසින් දෙන ලද අවවාද දහයක්
ඇත. විශාඛාව හා චූලසුභද්‍රා ආදීන් සරණ යන විට එම පියවරුන් විසින් දෙන ලද එම අවවාද
දහය මෙකලට ද ගැලපේ.
ඇතුළත ගිනි පිටතට නොදෙන්න, පිටත ගිනි ඇතුළට නොගන්න, දෙන්නන්ට දෙන්න, නොදෙන්නන්ට
නොදෙන්න, දෙන්නන්ටත් නොදෙන්නන්ටත් දෙන්න, සුවසේ හිඳින්න, සුවසේ අනුභවකරන්න, සුවසේ
නිදාගන්න, නිවසේ ගිනි පුදන්න (පවුලේ මවටත් පියාටත් පුද සත්කාර කරන්න) ගෘහ දේවතාවුන්
වඳින්න
“යම් පුරුෂයකු ශීත, උෂ්ණ, වැසි, සුළං ආදී පීඩා ද මැසි මදුරු ආදීන්ගෙන් වන උවදුරු ද
සා පිපාසාදිය ද මඳකුදු සිතට නොගෙන රෑ දවල් දෙකෙහි පැමිණෙන ගොවිකම් වෙළෙදාම් ආදි ඒ ඒ
කටයුතු කිරීම, දන්දීම, සිල්රැකීම, බණ ඇසීම, නිතර ඉවසන බව, හොඳ මිත්‍රයන් ආශ්‍රය
කිරීම, පරිත්‍යාගශීලි බව, අවංක සෘජු ගතිය, මෙළොක්වචන ඇතිබව, නිහතමානී බව ඇති එබඳු
පුරුෂයා වෙත වාසය කැමැත්තෙමි”. මේ වාසනාවන්ත තැනැත්තිය විසින් තමන් බලාපොරොත්තු වෙන
වාසනාවන්ත පුරුෂයාගේ සැටි සිරිකාලකණ්ණි ජාතකයේ දී කී සැටිය. මේ අනවුව තම දරුවන් තුළ
මෙම උතුම් ගුණ දහම් ඇති කිරීම මව්පියන්ගේ යුතුකමකි. එය මව්පියන්ට මහත් සුවයක් සේ ම
දරුවන්ගේ අනාගතය සුවපත්කිරීමකි.
‘මුදිතා’ ගුණය යනු නිරතුරුවම තම දරුවන්ගේ සැප කැමැති බවයි. සුඛිත මුදිත බව
අපේක්ෂාකිරීමයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා දීමයි. අනාගත අභිවෘද්ධියට අදාළව ම අවාහ
විවාහ කරදීමට වෙහෙසෙන්නේ මේ මුදිත ගුණය පවත්නා මව්පියන් ය.
තරුණ තරුණියෝ නිදහස අගයති. ඔවුන් පමණක් නොව සකල ලෝකවාසී සියල්ලෝ ම නිදහස අගයති.
මිනිස් නිදහසට බුදුරජාණන් වහන්සේ කටයුතු කළහ. උන්වහන්සේගේ ධර්මය සර්ව සම්පූර්ණ
නිදහස ගැබ්වූවෙකි. නමුත් එම නිදහස ඇවැඩ පිණිස නොවිය යුතු ය. තරුණ දරුවනට ද මව්පිය
සෙනෙහස අවශ්‍ය වේ. කල්‍යාණ මිත්‍රයෙක් ලෙස සමීප වී ඔවුන්ගේ ප්‍රශ්ණ ගැටලුවලට
සාවධානව ඇහුම්කම් දිය යුතු ය.
තරුණ පිරිස් සුමඟට යොමු කිරීම ඔවුන්ගේ ළදරු කල සිටම ඇරඹිය යුත්තකි. නොඑසේ නම්
තුරුණු වියේ දී විවිධ තහංචි සීමා යදම් ලෑමට යාම භයානක ය. යහපත් අදහස්, හැඟීම්
කාවැදුණු විට මතුවට ද ඔවුන්ගෙන් යහපත් කටයුතු සිදුවනු ඇත. හොඳ දෙයට පුරුදු වන්නා
කිසිවිටක අන්‍ය්‍යන්ගේ අපහාසයට ලක් නොවේ. සුචරිතවත් පුද්ගලයා තුළ චකිතයක් නැත.
දූවිලි ආදියෙන් වැසීගත් පිබිදුණු පුෂ්පය වැහිපොද හෝ පිනිදියෙන් සේදී පිරිසුදුවෙයි.
එහෙත් සිත අපිරිසුදු වුවහොත් පිරිසුදු කිරීම පහසු නැත. එසේ වුවත් එය අවශ්‍යයෙන් ම
සමාජ පරිසරය අනුව ඔවුන් හොඳ හෝ නරක අංශයට ඉක්මණින් පෙළෙඹෙනු ඇත. මුල සිට ම ඔවුන්ගේ
සිතෙහි තහවුරු කළ යුතු උගත්කම මෙන් ම යහපත් සදාචාරවත් සමාජයක් බිහිවන පරිද්දෙන් ඉතා
විශිෂ්ඨ ගුණධර්ම ගැබ් වූ ක්‍රියා පිළිවෙතෙකි. මෙලෙසින් සිය දරුවා යහපත් පුරවැරසියකු
ලෙස අනාගත විවාහ ජීවිතය තුළ සතුටින් කල් ගෙවීම මව්පියන්ගේ මහත් සොම්නසට හේතුවේ.
දීපා පෙරේරා |