අධි පොසොන් අමාවක 2018.06.13
පරාර්ථය උතුම් ය
අර්ථවත් ජීවිතයකට පරාර්ථය ද අත්‍යවශ්‍ය ය. තමන් ගැන සිතනා තරමට අනුන් ගැන ද සිතන්නට
සිත දියුණු කර ගන්නට හැකි නම්, පරාර්ථකාමී වීම එතරම් අසීරු නොවන්නේ ය. මෙහිදී
මුලින්ම කළ යුතු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෙස “අත්තානං උපමංකත්වා’ තමන්
උපමාවට ගැනීම ය. යම් දෙයකට තමන් අකැමැති නම් අනෙක් පුද්ගලයා ද ඊට කැමැති නොවන බව
වටහා ගන්නට උත්සාහ කළ යුතු ය. එහෙත් බොහෝවිට සිදු වන්නේ අනෙකකි. අනුන්ගේ දුර්වලකම්,
අඩුපාඩු යුතු අයුතුකම්, ගරු සැලකිලි සොයමින් ඒවා ගැනම විවේචනය කරනවා මිස තමන්
නිවැරැදි වන්නට ගන්නා උත්සාහයන් විරල ය . බස්රියේ, දුම්රිය, මහ මඟ, රැකියා ආයතනයේ
පමණක් නොව ගෙදර දොර දී පවා බොහෝ විට ඇසෙනු, පෙනෙනු එවැනි විවේචනයන් මය. පනින්නට පෙර
සිතා බැලිය යුතුම වේ. කෙනෙකුගේ සිත රිදෙන වචනයක් කියනවා නම්, හිංසාවක්, පීඩාවක් වන
ලෙස හැසිරෙනවා නම් ආපසු තමන්ට ලැබෙන්නේ ද ඒ හා සමානව හෝ ඇතැම් විට ඊටත් වඩා වැඩි
විපාකයන් ම ය. අනුන්ගෙන් යමක් අපේක්ෂා කරනවා නම්, එනම් සමාජයෙන් පරාර්ථකාමී බව
අපේක්ෂා කරනවා නම් පළමුව තමන් තුළ ඒ ගුණධර්ම වඩවා ගත යුතුම ය. තමන් ගැන පමණක් ම
සිතන්නාගේ වචනය, ක්‍රියාව සමාජයට පමණක් නොව තමන්ට ද යහපතක් නොසාදන්නේ ය.
බොදුනුවන් ලෙස අප ගමන් කළ යුතු අපගේ ශාස්තෘන් වහන්සේ දේශිත ධර්ම මාර්ගයෙහි ය.
උන්වහන්සේගේ චරිතය ආදර්ශයට ගනිමින් ජීවිතය ධර්මානුකූලව හැඩ ගස්වා ගැනීමට සෑම
මොහොතකම උත්සාහ කළ යුතු වේ. අප තථාගත බුදුපියාණන් වහන්සේ සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක්
කල් පාරමී දම් පුරමින් සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කළේ සසර කතරේ දැවෙන තැවෙන
සත්ත්වයා ඉන් මුදා ගැනීමේ උතුම් පරාර්ථකාමී චේතනාවෙනි. සම්බුද්ධ චරිතය පුරාම දැකගත
හැකි පරාර්ථකාමී බවම ය. ලෝක සත්ත්වයාට සසරෙන් එතෙර වන්නට මඟ කියා දෙන්නට උන්වහන්සේට
වෙලාවක් අවේලාවක් නොවී ය. යොදුන් ගණන් දුර පාගමනින් වැඩම කොට උන්වහන්සේ පිහිට විය
යුතු දනන්ට පිහිට වූ සේක. දස දෙසින් ගලා ආ කිත් පැසසුම් ද, අව්ව, වැස්ස, පින්න ඈ
ස්වභාවික අපහසුතාවන් ද, චෝදනා , නින්දා, ගැරහුම් ද සම සිතින් ඉවසා වදාළහ. එම උතුම්
ගුණධර්මය වර්ධනය කිරීමේ ඇති වටිනාකමත් ‘ඉවසීම’ උතුම් තපස් ගුණයක් බවත් උන්වහන්සේ
ලෝකයාට දේශනාකොට වදාළහ. විනයගරුක බව, ශික්ෂණය අප වෙතින් ගිලිහී ගියේ නම්, ඉවසීම
පරදා ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, තරහව නම් වූ සතුරු සිතිවිලිවලින් පීඩාවට පත්වීම
වැළැක්විය නොහැකි ය. එවැනි පුද්ගලයා තමන් ගැන මිස අනුන් ගැන කෙසේ නම් සිතන්න ද?
සුළු කරුණකදීත් ඔවුනොවුන් වෙත ආවේගශීලි වන්නේ නම් පවුලක හෝ වේවා, ගමක රටක හෝ වේවා
දියුණුවක් ලැබිය නොහැකිය. කළ යුතු හොඳම දේ සියලු සතුන් වෙත මෙත් සිත පැතිරවීමට
පුරුදු පුහුණු වීම ය. එවිට අනුන් වෙත යහපතක් විනා අයහපතක් සිතන්නට, කරන්නට සිත
නොනැමෙන්නේ ය.
දුර්ලභව ලද මිනිස් ජීවිතයේ නො මිනිස්කම් පුරුදු පුහුණු නො කළ යුතු ය. අප ජීවත්වන්නේ
ඉතාම කෙටි කාලයකි. එය ද වේගයෙන් ගෙවී යයි. දිනයක්, සතියක්, මාසයක්, වසරක් ගෙවී
යනුයේ සිතනවාටත් වඩා වේගයෙනි. ගෙවී ගිය කාලය ඇතෙකු ලවා හෝ ආපස්සට ඇදගත නො හැකි ය.
ගෙවෙන හැම තත්ත්පරයකටම වටිනාකමක් දිය යුතු එහෙයිනි. ඒ වටිනාකම් බබළවන්නේ තමන්ට සේ ම
අනුන්ටද අර්ථවත් වූ පමණට ය .
දෛනික ජීවිතයේ අප නොවැදගත් සේ සලකා නොසලකා හරින කුඩාම සිදුවීමක වුවද ආත්මාර්ථය
නොවටනේ ය. මවුපියන්, දරුවන් ගැන නොසිතා, දරුවන් මවුපියන් ගැන නොසිතා ගන්නා ඇතැම්
තීන්දු තීරණ, ආත්මාර්ථය, විනා පරාර්ථය නොසාදන්නේය. ඒ තුළ මතුවන ගැටලු දුරදිග ගියේ
නම් වන අයහපත මහත් ය.
පොදු ප්‍රවාහන සේවයක ගත වෙර ඇති අය සේම ගත වෙර නැති අය ද ගමන් යති. බාල, මහලු, තරුණ
පිරිස් සේ ම ගැබිණි මාතාවෝ ද වෙති. වැඩිහිටියෙකුට, කුඩා දරුවෙකුට, දරුවෙක් කුස දරා
සිටින මවකට ප්‍රමුඛත්වයක් දෙන්නට, පහසුව සලසන්නට අපේ මුතුන් මිත්තෝ අමතක නොකළහ. මේ
ඉතා සුලභ සිදුවීම් දෙකක් පමණි. ආදර්ශවත් අතීතයක් අපට හිමිය. වර්තමානය බොහෝ වෙනස් ය.
පොදු ප්‍රවාහන සේවයක තබා කුස ගිනි නිවන්නට ආහාර ගන්නා මොහොතේ පවා බොහෝ දෙනකුගේ
දුරකථනයට යොමු වු ඇස් කෙසේ නම් අවට ලෝකය දකින්න ද? එවැනි කෙනෙකුගෙන් පරාර්ථයක් කෙසේ
නම් අපේක්ෂා කරන්න ද? තාක්ෂණික දියුණුව අර්ථවත් වන්නේද පරාර්ථකාමී වු තරමටය. අතීතයේ
ගුණ සුවඳ නැවත මතු කරගන්නට මෙය හොඳම කාලය වන්නේ ය.
|