බාලයා කියන්නේ
කාටද?
පූලියද්දේ සුධම්ම හිමි
අපගේ ජීවිතයට හොඳ අය, නරක අය තෝරා ගන්නේ කොහොම ද? පින්වත් දුවේ පුතේ, අපට ඉන්න
ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යි. ලොව්තුරා
බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්නේ අප හැම දෙනාට ම යහපත කියා දෙන්න.
මේ සමාජයේ යහපත් අයහපත්, හොඳ– නරක පුද්ගලයන් ආශ්‍රය කරන්නට ලැබෙන බව පින්වත් දරුවන්
මතක තබාගන්නට ඕනෑ.
බුදුරජාණන් වහන්සේ හොඳ අයට කියන්නේ “පණ්ඩිතයන්” කියල යි. නරක අයට කියන්නේ “බාලයින්”
කියල යි. මේ දෙ පිරිස හඳුනා ගන්නේ කොහොම ද? මුලින්ම අපි බාලයන් ගැන කතා කරමු.බාලයන්
කියන්නේ ‘මෝඩ’ පුද්ගලයන්.
බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ බාල පණ්ඩිත සූත්‍රය නමින් වෙනම සූත්‍රයක් දේශනා
කොට තිබෙනවා. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් ‘බාලයා’ කියන වචනය අර්ථ ගන්වන්නේ වැරැදි
ලෙසට. ඒ අය හිතන්නේ වයසින් බාල කෙනා බාලයා ලෙසට යි. ඒත් ධර්මයෙහි ‘බාලයා’ කියන්නේ
වයසින් බාල වීම නොවෙයි. කෙනෙක් බාලයකු, එහෙමත් නැතිනම් මෝඩයකු වන ප්‍රධාන කරුණු
තුනක් තිබෙනවා.
‘දුච්චින්තී ත චින්තීච’
‘මම කාටද බොරුවක් කියන්නේ?” මම කාටද අකටයුත්තක් කරන්නේ’ ආදි ලෙස කෙනෙක් සිතනවා නම්,
නිතරම අසාධාරණකම් කරන්නට, කෙනෙක් විනාශ කරන්නට හිතනවා නම්, ඔන්න ඉතින් ඒ මෝඩ
පුද්ගලයෙක්ම තමයි. සාමාන්‍ය ව්‍යවහාරයේ දී සමහරු මේ දේවල් වලට කියන්නේ ගිනිගෙඩි
දෙනවා කියලයි. දෙවැනි කරුණ,
‘දුබ්භාසිත භාසි’ යන්නයි මෙවැනි ගතිගුණ තිබෙන පුද්ගලයා කතා කළොත් ඒ ඇණුම් පදයක්ම
යි. අනිත් අයගේ හිත රිදවන වචනයක්ම යි. බොරුවක්, කේළමක්, පරුෂ වචනයක්ම යි. ඒ
පුද්ගලයාත්, බාලයෙක්. ඊළඟට ,
‘දුක්කට කම්මකාරී’ කළොත් කරන්නේ තවත් කෙනෙක් තරහා ගන්වන වැඩක්මයි. අකුසලයක්ම යි.
පව්කාර වැඩමක් ම යි. එවැනි කෙනාත් බාලයෙක් ම තමයි. දැන් සමහර දුවලා පුතාලාට
හිතෙන්නට පුළුවන් අනේ! මගේ යාළුවත් මේ වගේ නේ කියලා. අම්මා, තාත්තා ගැන වුණත් සමහර
කෙනකුට එහෙම හිතෙන්න පුළුවන්. ඒත් දුවේ, පුතේ තරාතිරම කුමක් වුණත් නරක දේ සිතනවා
නම්, නරක වචන , කියනවානම් නරක වැඩ කරනවා නම් ඒ කෙනා බාලයෙක්ම යි. මෝඩ පුද්ගලයෙක්ම
යි. ඒ නිසයි දරුවනේ බුදුරජාණන් වහන්සේ, මංගල සූත්‍රයේ දී , අසේවනාච බාලානං’ බාලයන්
ඇසුරු කරන්නට එපා යැයි දේශනා කළේ.
ඒ වගේම දරුවනේ, ධම්මපදයේ හරිම ලස්සන ගාථාවක් තිබෙනවා.
යාවජීවම් පි චෙ බාලො
පණ්ඩිතං පයිරු පාසති
න සො ධම්මං විජානාති
දබ්බී සූපරසං යථා
මෝඩයෙක්, එසේත් නැතිනම්, බාලයෙක් ඉපදුණා දා සිට මිය යනතුරුම පණ්ඩිතයෙක් ඇසුරු කළත්
ඔහුට නිවැරැදි ධර්මයක් දැන ගන්නට නම් ලැබෙන්නේ නෑ. හරියට කොයි වගේද දන්නවා ද?
හැන්දට වෑංජනයක රස දැනෙන්නේ නෑ වගේ. රසවත්, ගුණවත් ව්‍යංජන කළවම් කරන්නේ හැන්දෙන්.
ඒත් ඒ හැන්දට කවදාවත් රස දැනෙන්නේ නෑ. පින්වත් දරුවො, දන්නවානේ, විවිධ වර්ගයේ හැඳි
තිබෙනවා. සමහර ඒවා පොල් කටු හැඳි. තවත් සමහරක් පිත්තල හැදි. රිදී හැඳි, මිල මුදල්
බොහොම තිබෙනවා නම් රත්තරන් හැඳිත් තිබෙනවා. හැන්ද මොකක් වුණත් දරුවනේ, මේ කිසිම
හැන්දකට වෑංජනයක රස නම් දැනෙන්නේ නෑ. අපේ සමාජයේ ඉන්න විවිධ පුද්ගලයොත්, ඒ වගෙයි.
දුප්පත්, පොහොසත්, කුලවත්, කුලහීන විවිධ තරාතිරම්වල අය ඉන්නවා. තරාතිරම කොයි වගේ
වුණත් මෝඩයෙක් නම්, බාලයෙක් නම් ධර්මය තේරෙන්නේ නැ. තේරුම් ගන්නත් බෑ. බාලයන් ඇසුරු
කිරීමේ භයානකකම පෙනෙනවා නේද?
එවැනි අය ඇසුරු කළොත් පවුලක් දියුණු වෙන්නේ නෑ. සමාජයක් දියුණු වෙන්නේ නෑ. රටක්
දියුණු වෙන්නෙත් නෑ. ඒ නිසා ආරක්ෂාකාරී වෙන්න ඕනෑ. අපේ රටේ, දැයේ, ශාසනයේ අනාගතය
පුංචි දරුවන් වන ඔබයි. අද සමාජය බොහොම පිරිහිලා ගිහින්. ඒ ප්‍රධාන වශයෙන්ම බාලයන්
ඇසුර නිසා. ඉතින් ඒ ගැන කියා දීම ජාතික වගකීමක්. දැන් ඔන්න දරුවන් වෙනුවෙන් ඒ
වගකීමත් බුදුසරණ පුවත්පත මඟින් ඉටු කරනවා. දරුවන් වෙනුවෙන් පළවෙන මේ ලිපි හැමදාම
කියවන්නට ඕනෑ. ඒ විතරක් මදි. ජීවිතයට එකතු කර ගන්නටත් ඕනෑ. එවිට තමයි යහපත් සුඛිත
මුදිත සමාජයක් අපට ඉතිරි වන්නේ.
රමණී සුබසිංහ |