UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිවී සැනසුන ජීවිතයක්

නිවී සැනසුන ජීවිතයක්

ස්වාමින් වහන්ස, ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුතුව සැදැහැ සිතින් සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කරන්නේ කෙසේද?

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර දෙව් මිනිසුන්ගේ යහපත පිණිස තමන් වහන්සේගේ සම්බුද්ධ ශරීරයේ ධාතුන් වහන්සේලා ඒකඝන නොවී බෙදී විසිරී යෑමට අධිෂ්ඨාන කළ සේක. එහිදී ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ, ගී‍්‍රවා ධාතුන් වහන්සේ, සතර දළදා වහන්සේ නො බෙදී වැඩ සිටියා. ඉතිරි ධාතුන් වහන්සේලා මුං පියළි, කඩ සහල් සහ අබ ඇට ප්‍රමාණයෙන් බෙදී වෙන් වුණා.

ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා ධාතු තැම්පත් චෛත්‍ය අටක් මුලින් ම දඹදිව් තලයේ ඉදිවුණා. ධර්මාශෝක රජතුමා ධර්මස්කන්ධය අසූහාර දහසකට උපහාර පිණිස දඹදිව තලය පුරා චෛත්‍ය අසූහාරදහසක් කරවා, මොග්ගලිපුත්තතිස්ස රහතන් වහන්සේගේ අනුශාසනා පරිදි ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළා. ලංකා ධරණිතලයට සම්බුද්ධ සංදේශය රැගෙන වැඩිය මිහිඳු මහ රහතන් වහන්සේ විසිනි. යම් තැනක සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටියානම් එතැන ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා හා සමානයි කියා මිහිඳු මා රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුට වදාළා.

සුමන රහත් සාමණේරයන් වහන්සේ සක් දෙවිඳුගෙන් අකු ධාතුන් වහන්සේත්, ධර්මාශෝක රජතුමාගෙන් පාත්‍රයක් පුරාවට ධාතුන් වහන්සේලාත් ලබාගෙන ථූපාරාම සෑය ඉදි කරන්නට පූර්ණ අනුශාසකත්වය ලබා දුන්නා. කෙළෙහිගුණ දන්නා රහතන් වහන්සේලා අප්‍රමාණ ලෙස ශාස්තෘ වහන්සේට වන්දනාමාන කළා. පුද සත්කාර පැවැත්වූවා. ලලාට ධාතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ගන්ධකුªටිවල තැම්පත් කරමින් වන්දනාමාන කළේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රහතන් වහන්සේලා විසිනු යි. ස්වර්ණමාලි මහ සෑයේ තැන්පත් කරන්නට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සෘද්ධි බලයෙන් නාග ලෝකයේ සිට වැඩමවාගෙන පැමිණියේ සෝනුත්තර නම් මහරහතන් වහන්සේ විසිනුයි.

එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැම්පත් රන් දැගැබ සැදැහැ සිතින් වන්දනාමාන කොට පින් රැස්කර ගත් බොහෝ අය ඒ පින උපයෝගි කරගෙන ගෞතම බුදු සසුනේ ධර්මාවබෝධය ලැබුවා. එනිසා අපට වැදගත් වන්නේ චිත්තප්‍රසාදය යි. ධාතුන් වහන්සේලා යනු ගෞරව ලැබිය යුතු සම්බුදුරජාණන් වහන්සේගේ කරුණා මහිමය නිසා අපහට ලබාදුන් ශ්‍රේෂ්ඨ දායාදයන් බව අප තේරුම් ගත යුතුයි.

භාග්‍යවතුන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණ සසරේ පිරූ අප්‍රමාණ පින් බලයේ ආනිශංසයක් නේද?

බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශරීරයේ පිහිටි දෙතිස් මහ පුරුෂ ලක්ෂණ පිළිබඳව ඉතා පැහැදිලිව දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ සඳහන් වෙනවා. එහිදී භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට ඒ මහා පුරුෂ ලක්ෂණ ලැබීමට හේතු වූ සසරේ රැස්කරන ලද පුණ්‍ය මහිමයත් එම පුරුෂ ලක්ෂණ නිසා සම්බුද්ධත්වයට පත් වූ පසු ලැබෙන ආනිශසංසත් ඉතා පැහැදිලි ලෙස වදාළා.

බුද්ධ කාලයේ සිටි බාවරි බ්‍රාහ්මණයාට මහාපුරුෂ ලක්ෂණ තුනකුත්, මහා කස්සප මහරහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ හතකුත් තිබුණු බව ධර්මයේ සඳහන් වෙනවා. මහාපුරුෂ ලක්ෂණ තිස්දෙකක් පිහිටන්නේ සක්විති රජ කෙනෙකුටත්, සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් බව පුරාණ ශාස්ත්‍රයක් වූ ලක්ෂණ ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. එම ලක්ෂණ ශාස්ත්‍රය මිනිස් ලෝකයට ලබා දෙන්නේ පෙර සම්බුදුවරුන් සියැසින් දුටු දීර්ඝ ආයුෂ විඳින අනාගාමි සුද්ධාවාසික බ්‍රහ්මයන්ගෙන් දැනගත් දෙව්වරුන් විසිනු යි. භාග්‍යවතුන් වහන්සේ ගේ දෙතිස් මහ පුරුෂ ලකුණින් සමන්විත පුණ්‍ය ශරීරය දැක සිත පහදවාගෙන බොහෝ දෙනෙක් සුගතිගාමි වුණා. ධර්ම මාර්ගයට යොමු වුණා. එමනිසා අප කිසිසේත් ම එම මහාපුරුෂ ලක්ෂණ ගැන සැක නො කොට සිත පවදවා ගැනීමයි කළයුතු වන්නේ.

සේඛබල දියුණුකොට සුගතියේ ඉපදීමට ඇති හැකියාව පිළිබඳව ශාස්තෘන් වහන්සේ අනුශාසනා කොට තිබෙන්නේ කෙසේද?

මිනිස් ලොවදී මනාකොට තිසරණයෙහි සිත පිහිටුවාගෙන ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, පඤ්ඤා දියුණු කොට සුගතියේ ඉපදීම ශාස්තෘන් වහන්සේ අනුදැන වදාළ දෙයක්. ඒ පිණිස තමන්ගේ සේඛබල ධර්මයන් දෙවියන් හා සසඳා බලමින් දේවානුස්සතිය වඩන ආකාරයත්, එම සේඛබල තුළින් දෙව්ලොව උපතක් කරා යන අයුරුත් සංඛාරඋප්පත්ති සූත්‍රයේ ආදී බුද්ධ දේශනා රාශියක සඳහන් වෙනවා. ඒ වගේම එසේ දෙව්ලොව උපදින ශ්‍රාවකයාට වහා ධර්මාවබෝධ කරන අවස්ථා හතරක් සෝතානුධත නම් සූත්‍රයේ දී පෙන්වා තිබෙනවා.

මිහිඳු මහරහත් වහන්සේ මෙරට ස්ථාපිත කළ සම්බුද්ධ ශාසනය තුළ බිහි වූ අරහත් මගඵලලාභි පරපුර සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු වසර දහසක් තරම් කල් පැවැතුණා. නමුත් පොළොන්නරු යුගය වනවිට බොහෝ සෙයින් බුදුබව පැතීම කියන මහායාන මතය ඉස්මතු වුණා. පූජාවලිය පවා ලියවුණේ ඒ පිණිස යි. පසු කාලයේ දී උපසම්පදා භික්ෂූන් පවා නැත්තටම නැති වී ගොස් කාමභෝගි ගිහි ජීවිතයක් ගතකරන ගණින් වහන්සේලාගේ යුගයක් පවා බිහිවුණා. 1956 වසරේ බුද්ධ ජයන්ති වර්ෂයත් සමඟයි යළිත් ශාසනික ප්‍රබෝධයක් ඇතිවුණේ. එනිසා සැබෑ ශාසනික ඉතිහාසය බුද්ධිමත්ව වටහා ගැනීම ඉවසීමෙන් යුතුව ධර්මය ප්‍රගුණ කර ගැනීමට මනා පිටුවහලක් ඇතිකර දෙනවා. ගුණ ධර්ම පිරිහී ඇති මේ යුගයේ සේඛබල දියණුකොට සුගතිගාමිවීමත් ශාසනික වශයෙන් විශාල ලාබයක්.

බෝසතාණන් වහන්සේ ගේ චරිතාපදානය කෙසේ සටහන් වී තිබුණා ද?

අපගේ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය පිණිස පාරමි පුරමින් සසරේ ගමන් කරද්දී මාර්ගඵල නො ලැබුව ද ජාතක දේශනාවන්හි සඳහන් වන අකාරයට ඒ බෝසත් චරිතය තුළ අසාමාන්‍ය පුණ්‍ය ශක්තියත්, නුවණින් විමසීමත්, විශ්මිත නෙක්ඛම්මයක්, වීර්යයත්, උපේක්ෂාවත් ගැබ්ව තිබුණා. ක්ෂාන්තිවාදී ජාතකයෙන් බෝසත් තාපසතුමාට කලාබු නම් රජුගේ අතින් කටු මුගුරකින් පහර දෙද්දීත් අතපය කපා දමද්දීත්, මරා දමද්දීත් ඒ ඉවසීම, මෙත් සිත අංශු මාත්‍රයක්වත් වෙනස් කර ගත්තේ නැහැ. ඒ අයුරින් අසාමාන්‍ය කැපකිරීමක් කොට සසර පුරා ගුණ ධර්මයන් මෝරා ගොස් ඒ ගුණ ධර්මයන්ගේ පරිපූර්ණත්වයට පත්වීම තමයි සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීම. එමනිසා බෝසත් චරිතාපදානය කෙරෙහිත් ශ්‍රී සම්බුද්ධත්වය කෙරෙහිත් බලවත් ලෙස සිත පහදවා ගැනීම බෞද්ධ අප සැමගේ යුතුකමකි.

ධර්මය ප්‍රචාරය කිරීමේ දී හා ධර්ම දානය ලබාදීමේ දී අප බුද්ධිමත් විය යුත්තේ කෙසේ ද?

වර්තමානයේ දී බොහෝ අය ධර්මය ශ්‍රවණය කිරීමේ දී මුල්තැනක් දෙන්නේ දේශකයාණන් වහන්සේගේ රූපය, ප්‍රසිද්ධිය, ආන්දෝලනාත්මක මතවාද කීම ආදී දේවලට යි. මේවායේ දී සැබෑ දහම් කතාව යටපත් වී පුද්ගලික මතවාද හා වැරැදි අර්ථකතන සමාජගත වීම බහුලව සිදුවෙනවා. එමනිසා අප ධර්මය ප්‍රචාරය කිරීමේ දී හා ශ්‍රවනය කිරීමේ දී ශාස්තෘ ගෞරවයෙන් යුතුව සම්බුද්ධ දේශනාවන්ට මූලිකත්වය දීම අනිවාර්යයෙන් ම සිදුකළ යුතුයි. ගිහි පැවැදි දෙ පිරිසට ම යහපතක් සිදුවන්නේ එවිට යි. මන්ද සම්මා දිට්ඨිය ඇතිවන්නේ සද්ධර්මය ශ්‍රවණයත්, යෝනිසෝ මනසිකාරයත් නිසා ය. මිථ්‍යා දෘෂ්ඨිය හට ගන්නේ අසද්ධර්මය ශ්‍රවණයත්, අයෝනිසෝ මනසිකාරයත් නිසා ය. ඒ වගේම ධර්මය ප්‍රචාරය කිරීමේ දී යහපත් දේ පමණක් සම්පේ‍්‍රෂණය කිරීම මාධ්‍යයට පැවරෙන විශාල වගකීමකි. ජනතාව සහ සමාජය පිරිහෙන්නේ පිරිහීම පිණිස පවතින දහසක් දේවල් පැවතීම සහ පෝෂණය වීම නිසා මිස ධර්මයේ අඩුපාඩුවක් නිසා නොවේ. එය තේරුම් නො ගෙන මෙතරම් ධර්මය කියද්දී ගුණධර්ම පිරිහෙනවා, අපරාධ වැඩිවෙනවා කියමින් ධර්මයට ගරහා කරමින් බොහෝ අකුසල් රැස්කර ගන්නා බව පේනවා.

 

අධි පොසොන් අමාවක පෝය


අධි පොසොන් අමාවක පෝය ජුනි 13 වනදා බදාදා පූර්ව භාග 4.35 ට ලබයි. 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.13 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජුනි 13 බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 20 බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk