UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හැටපස්වැනි ජන්ම දිනය සමරන පල්ලේගම හේමරතන නා හිමි

හැටපස්වැනි ජන්ම දිනය සමරන පල්ලේගම හේමරතන නා හිමි

කැලණිය විශ්ව විද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටි හේමරතන නා හිමියෝ අනුරාධපුර ජේතවනාරාමාධිකාරී ලෙස සිටිමින් ම සංස්කෘතික ත්‍රිකෝණයේ, ජේතවනාරාම ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් නිහඬ මෙහෙවරක් සිදු කළ ශ්‍රේෂ්ඨ හිමි නමකි.

අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යරාමාධිකාරී, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ, රජරට නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක, ප්‍රවීන ගීතරචක, ශාස්ත්‍රවේදී පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 65 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.

රුවන් වැලි බිමේ පායන දිනිදාන
පහන් හැඟුම් මතු කරවන සුරිදාන
දහම් ගුණ සුවඳ පතුරන කිවිදාන
චිරන් ජයතු පල්ලේගම සමිදාන

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල පල්ලේගම නමැති රමණීය ගම්පියසේ කරඳගොල්ල වලව්වේ කිරිබණ්ඩා නිලමේතුමාගේ හා කරුණා කුමාරිහාමි මැතිණියගේ එකම දරුවා ලෙස 1954 ජූනි මස 15 වෙනි දින උපත ලද කරදගොල්ල වලව්වේ නන්දසේන කුල කුමරුවා කුඩා කල බුලාගල ප්‍රාථමික විදුහල, පැල්වෙහෙර වැලිහේන විදුහල හා කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ මහ විදුහල යන විදුහල්වලින් මූලික අධ්‍යාපනය හදාරා 1968 වසරේ රුවන්වැලි සෑය මහා විහාරයට පැමිණෙන විට වයස අවුරුදු 14 කි. එවක අටමස්ථානාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ උදුරුව හල්මිල්ලෑවේ ශ්‍රී රේවත හිමි, රුවන්වැලි චෛත්‍යාරාමාධිපති ලෙස වැඩවිසූ අපවත් වී වදාළ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත හිමි, අපවත් වී වදාළ පල්ලේගම ඥානරතන හිමි යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් 1968 වසරේ දී මෙම කුල කුමරු පල්ලේගම හේමරතන නමින් පැවිදි බිමට ඇතුළු විය.

හේමරතන පොඩිහාමුදුරුවන් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුර මහාවිහාර පිරිවෙනිනි. පසුව 1971 දී මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ සහ 1975 දී සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනේ උසස් අධ්‍යාපනය හදාරනු ලැබූහ.

ශාස්ත්‍රවේදී උපාධිය ද ලබා සිටින උන්වහන්සේ 1979 වසරේ දී වඩාත් පුළුල් ලෙස නිර්මාණකරණයේ නිරතවූහ. 1988 දී ‘පහන නිවී දොළොස්මහේ’ නමින් තම පළමු ගීත සංග්‍රහය එළි දැක්වීමට හේමරතන නා හිමියෝ සමත් වූහ. 1989 වසරේ දී අනුරාධපුර ජේතවනාරාමාධිකාරී ධූරයට පත්වූහ. 1997 වසරේ දී රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ධූරයට පත් හේමරතන නා හිමියෝ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූහ.

1969 වසරේ සිට කවියෙකු ලෙස සමාජයට විශාල මෙහෙවරක් සිදුකළ හේමරතන නාහිමියෝ ගීත රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ 1979 වසරේ සිට ය. උන්වහන්සේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවියත්, රුවන්වැලි මහසෑයේ විහාරාධිකාරී ධූරයත් දරමින් සාහිත්‍ය කලා කටයුතුවල නිරතව සිටින්නේ එහිලා මිනිස් සත්ත්වයාට කළ හැකි සේවයේ පමණ දන්නා නිසාවෙනි. මහින්දාගමනය චිත්‍රපටයට ලියූ ‘සංසාරේ මහබරයාදී” ගීතයට 2011 වර්ෂයේ හොඳම චිත්‍රපට ගීතය සඳහා සම්මානය හිමිකරගත් හේමරතන නා හිමියෝ එම වසරේ දී ම මෙම ගීතයට ර්‍ණඛ්ධ්ඛ් රන් සම්මානය ද දෙරණ රූපවාහිනී ලක්ස් සම්මාන උළලේ දී එම ගීතයටම හොඳම චිත්‍රපට ගී සම්මානයද හිමි විය. 2015 වර්ෂයේ දී “මහරජ ගැමුණු” චිත්‍රපටයේ “සඳ මඩල වී” යන ගීතය වෙනුවෙන් 2015 වසරේ විශිෂ්ටතම චිත්‍රපට ගී රචනය උදෙසා “හිරු ගෝල්ඩන්” සම්මානය ද, ධ්ඛ්ධ්ඛ් සම්මානය ද, සරසවි සම්මානය හා ජනාධිපති සම්මානය ද හිමිකර ගත්හ.

කැලණිය විශ්ව විද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ගෞරවය උපාධියක් ලබා සිටි හේමරතන නා හිමියෝ අනුරාධපුර ජේතවනාරාමාධිකාරී ලෙස සිටිමින් ම සංස්කෘතික ත්‍රිකෝණයේ, ජේතවනාරාම ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් නිහඬ මෙහෙවරක් සිදු කළ ශ්‍රේෂ්ඨ හිමි නමකි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුරාධපුර මහාවිහාර ව්‍යාපෘතිය ආරම්භවීමත් සමඟ හේමරතන නා හිමියෝ මේ සියලු කටයුතු නිසිලෙස අධීක්ෂණය කරමින් සම්බන්ධිකරණය කළහ. එමඟින් රුවන්වැලි මහසෑයේ වැලි මළුව පිළිසකර කිරීම ආරම්භ කරන ලදී. මෙහි කැණීම් ආරම්භ කරනා තුරු රුවන්වැලි මහා සෑයට පැමිණි බොහෝ සැදැහැවතුන් චෛත්‍යයේ වැලිමළුවක් තිබෙන බවක් හෝ දැන සිටියේ නැත.

සලපතල මළුව වටා වූ අක්කර හයක පමණ විශාලත්වයකින් යුක්ත රුවන්වැලි මහ සෑයේ සුවිසල් වැලි මළුවේ ගොඩගැසී තිබුණු පස් ඉවත් කර පාදා සංරක්ෂණය කිරීම අතිශය දුෂ්කර වූත්, සියුම් වූත්, වෙහෙසකර ව්‍යායාමයක් විය. එසේ වුවද මේ මහා වැලි මළුව පාදා සංරක්ෂණය කළවිට රුවන්වැලි මහා චෛත්‍යයේ අලංකාරය දෙගුණ තෙගුණ විය. සිංහල තාක්ෂණයේ මහිමය ද වඩවඩා ප්‍රභාෂ්වර වී ලොවටම පෙනුණේ ය.

දැනට වසර ගණනාවකට පෙර දී රුවන්වැලි මහා චෛත්‍යාරාමය ඉදිරිපිට නටඹුන්ව තිබූ කවාකාර පොකුණ සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කර තිබීම හා නාහිමියන් අතින් සිදු වූ තවත් විශේෂ මෙහෙවරකි. මේ පොකුණ රුවන්වැලි මහ සෑ මළුවට වැටෙන වැසි වතුර එකතුවීමට සිව් දිශාවෙන් කළ පොකුණුවලින් නැගෙනහිර පොකුණ බව විශ්වාස කෙරුණේ ය. ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මාධ්‍ය උපදේශක කාර්යාංශයේ අනුග්‍රහය ලබාගෙන රුවන්වැලි සෑයට උතුරු දෙසින් ආබාධිතයින් සඳහා වූ මාර්ගයක් සකස් කර දීම උන්වහන්සේගේ තවත් මෙහෙවරකි.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර මහා විහාර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පුරෝගාමී වූ හේමරතන නා හිමියෝ රුවන්වැලි මහා සෑ මළුවේ මහා ප්‍රාකාරය සංරක්ෂණය කිරීම, ලංකා ට්‍රාන්ස්පෝමර්ස් ආයතනය ලවා රුවන්වැලි මහා සෑ රදුන්ට විදුලි ආලෝකය ලබා ගැනීම, රුවන්වැලි මහා සෑය පිහිටි භූමිය වටා ඇති භූමි භාගය වඩාත් අලංකාරවත් ලෙස පවත්වාගෙන යාම, සෑයට පිවසෙන මාර්ග නවීකරණය කිරීම ආදී ශාසනික සේවාවන් රැසක් මහත් කැපවීමෙන් යුතුව ඉටු කර තිබේ.

රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ශාස්ත්‍රවේදී පල්ලේගම හේමරතන නාහිමියන්ට නිදුක් නිරෝගී සුවය පතමු.

 

අධි පොසොන් අමාවක පෝය


අධි පොසොන් අමාවක පෝය ජුනි 13 වනදා බදාදා පූර්ව භාග 4.35 ට ලබයි. 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.13 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජුනි 13 බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 20 බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk