භවය හා
භව දුක්ඛය
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
මෙම ලිපියේ මුල් කොටස
ඇසළ පුර පසළොස්වක පත්‍රයේ පළ විය
මේවායේ දී සත්වයාට මහත් වූ දුක් සමුදායකට මුහුණ පෑමට සිදුවේ. අකුශල
කර්ම හේතුවෙන් මෙහි උපන් සත්වයන්ගේ සිරුරු යමපලුන් විසින් කඩ කඩ කොට
සිඳිනු ලැබෙති. එහෙත් ජීවිතය අවසන් නොවේ. තවත් විටෙක ගිනිගෙන දිලෙන යකඩ
පටියකින් පහර දෙති. ලෝදිය හැළිවල බහාලති. යකඩ හුල්වලින් අණිනු ලැබෙති.
මෙසේ වර්ෂ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් ද ඉක්මවා විඳීමට සිදුවන දුක්ඛයන්ගේ
කවර නම් අස්වැසිල්ලක්ද? මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් මජ්ක්‍ධිම නිකායේ
දෙවදූත සූත්‍රයේ දක්නා ලැබේ. තිරිසන් සතුන් වශයෙන් බලු බළල්, හූරු,
මුව, වග වළස් ආදී වශයෙන් උපත ලද සත්වයෝ සෙසු සත්ත්වයන්ට ගොදුරු පිණිස
දිවි පුදමින්, මඬ ගොහොරු ආදියෙහි ලගිමින්, කුස ගින්නේ දැවෙමින්,
අනේකවිධ ලෙඩ රෝග ආදියට ද භාජනය වෙමින් ශීතලය, ඌෂ්ණය, පිපාසය, බඩගිනි
යැයි කියා ගත නො හැක්කාහු නෙක දුක්විඳිති. මොවුන්ගේ අඟ පසඟ පවා තමාටම
දුකක් පිණිස වේ. නිර්දෝෂ වූ මෙම සත්වයෝ වල්ගල පිණිස ද, අං පිණිස ද,
ලොම් පිණිසද, නහර පිණිස ද, මස් පිණිස ද, ඇට පැණිස ද, කැපීම්, කෙටීම්,
පහරදීම්, ලොදිය, හැළිවල තැවීම් ආදියෙන් අනේකවිධ දුක් විඳිමින්
ජීවිතක්ෂයට පැමිණෙති. ඇතැම්හු අශුචියෙහිම ඉපිදී අශූචිම අනුභව කරමින්
අශූචියෙහිම මියෙති. මේ අනුව නරක තිරිසන් යෝනිවල අත්දැකිය හැක්කේ දුකම
මිස අනෙකක් නොවේ. ප්‍රේත හා අසුර යෝනිවල ඇත්තේ ද සැපයෙන් තොර දුක
දොම්නස වෙළා ගත් අත්දැකීම් ය.
සංයුත්තනිකායේ දුක්ඛ හා මාර වැනි සංයුත්තවලින් ද පේතවත්ථුවෙහි අන්තර්ගත
කතාවස්තුවලින් ද එකී සත්වයන් අශුචි, සෙම, සොටු, කැහි ආදිය අනුභව කරමින්
විරූපී සිරුරු ඇතිව දුක් විඳිමින් වෙසෙන අයුරු පැහැදිලි වේ. දරුවන් පස්
දෙනෙකු සහිතව සිටි පංචපුත්තා නම් ප්‍රේතිය දැක මුගලන් තෙරණුවන් ඇගෙන්
විමසන්නේ,
නග්ගා දුබ්බණ්ණරූපාසි - දුග්ගන්ධා පූති වායසි
මක්ඛිකාහි පරිකිණ්ණා ච කා නු ත්වං ඉධ තිට්ඨසි
යනුවෙන් “නිරුවත්ව, විරූපීව, දුගඳ හමමින්, මැස්සන්ගෙන් ගැවසී සිටින ඔබ
කවුද?” යනුවෙනි. එබඳු වෙනත් කතාවස්තු විමසීමෙන් ද පෙනෙනුයේ මොවුන් ඉතා
කෘශව, ඉල්පුණු නහර වැල් ඇතිව, බිම ගෑවෙන තෙක් වැවුණු අපිරිසුදු කෙස්
ඇතිව බිහිසුණු පෙණුමෙන් යුතුව ලේ සැරව අසූචි මුත්‍රාදිය අනුභව කරමින්
උමතු වෙසින් සිටි බවය. මේ අනුව භව දුක්ඛය නම් අතිශයින් බිහිසුණු වූවකි.
සුගති සංඛ්‍යාත මනුෂ්‍ය ලෝකය පින් කිරීමට සුදුසු තැනක් ලෙස පිළිගැනේ.
කෘතාධිකාර ඇති බෝසත් ආදී දිව්‍යලෝකගත ඇතැම් දෙවි කෙනෙකුට
මනුෂ්‍යලෝකයෙහි ඉපදීමට ආරාධනා කරන සෙසු දෙවියන් පවසන්නේ “ඉතො භො සුගතිං
ගච්ඡ” (භවත්නි මෙයින් සුගතියට යන්න) යනුවෙනි. එතෙකුදු වූවත් ලෝකය දුක
මත පිහිටා ඇත යන්න සනාථනික සත්‍යයකි. මෙහි ජාති ජරා ව්‍යාධි මරණ යනාදී
දුක්ඛ දොමනස්සයන් ද, ඝර බන්ධන, වධ බන්ධන, ඥාති පුත්‍ර දාරකාදීන්ගේ
ව්‍යසන, රාජභය, චෝරභය, අමනුෂ්‍ය භය, පර්වත ගංගා නදී ආදීන්ගෙන් මෙන්ම
වැසි සුළං ආදියෙන් වන්නා වූ ව්‍යසනයෝ ද, සා පිපාසා දුක්ඛයෝ ද,
පංචස්කන්ධය පෝෂණයට නො හැකි වීමෙන් වන්නා වූ ද දුක්ඛයෝ අනන්තය. කාම
භවයෙහි ස්වරූපය නම් කාමයන් සොය සොයා යාමයි. කාමයෙන් භයත් ශෝකයත් නිතය
වශයෙන් ම ඇති වන බව බුදුහු පුන පුනා වදාළහ. අලගද්දූපම සූත්‍රය,
මහාදුක්ඛක්ඛන්ධ වැනි සූත්‍රයකින් මේ පිළිබඳ වැඩි යමක් දැන ගත හැකිය.
මනුෂ්‍ය ලෝකයේ ගෘහ ජීවිතය සම්බාධ සහිත කෙලෙස්වලට ආකරයක් වූ තැනක් බව ද
බුදුන් වහන්සේ වදාළහ. මේ නිසා එක් අතකින් භෞතික කයක් පරිහරණය කිරීමේ දී
ඇති වන මෙම දුක්ඛ දෝමනස්සයන්ට පිළියම් සොයා ගත නොහැකි ඇතැම්හු වස විස
බී දිවි තොර කරති. ඇතැම්හු ගෙළ වැළදා මියෙති. ඇතැම්හු ගංඟා, ඇළ දොළ,
රේල් පාර, ප්‍රපාත ආදියට පැන සියදිවි තොර කර ගනිති. තවෙකෙක් සැප යැයි
සිතා කම් සැප පතා මිනී මැරුම්, සොරකම් කිරීම්, පරඹුවන් සෙවුම්, රහමෙර
බීම්, මුසා බිණුම්, මවුපිය වැඩිහිටි ආදීන්ට හා භික්ෂූන්ට ගැරහීම් නො
කටයුතු කම් කිරීම් ආදියෙන් ද රාග දෝෂ මෝහ මද මාන ආදී කෙලෙසුන් වැඩීමෙන්
ද පරලොව දුගතිගාමී වෙති. මේ නිසා ලෞකික හා පාරලෞකික වශයෙන් ද මේ මිනිස්
අත් බව මහත් වූ දුක් ගෙන දේ. දිව්‍යලෝකයන්හි තත්ත්වය ද මෙසේමය.
දිව්‍යමය ශරීරයක් ඇති අධික ලෙස කාම සම්පත් අනුභව කරන මෙම සත්වයෝ
කාමයෙහි මුසපත් වූවෝ වෙති. එහෙයින්ම ඔවුහු ජීවිතයේ අනිත්‍ය දුක්ඛ
අනාත්ම ලක්ෂණ තේරුම් ගැනීමට අපොහොසත් වෙති. එහෙත් කාමයන්ගේ නිත්‍ය
ස්වරූපය වන බිය සැකය වේදනාව, සන්ත්‍රාසය ඉක්මවාලීමට මොවුනට ද නො හැකිය.
බියට සන්ත්‍රාසයට පැමිණි දෘෂ්ටි විපර්යාසයට පත් දෙවියන් පිළිබඳ තොරතුරු
බෞද්ධ සාහිත්‍යයෙහි සුලබව දැකිය හැකි ය. සංයුත්නිකායේ දේවතා හා
දේවපුත්ත සංයුත්තවල මෙයට නිදසුන් බහුලව හමුවේ. අනෙක් අතින් මොහු ද
මිනිසුන් සේම දුක නමැති අත්දැකීමෙහි හිමිකරුවෝ ය. අටුවා විවරණවලට අනුව
දෙවිවරු කරුණු හතරක් නිසා දෙව්ලොවින් චුතවෙති. එනම්, 1. ආයුෂ ක්ෂය
වීමෙන්, 2. පින් ක්ෂය වීමෙන්, 3. ආහාර ක්ෂය වීමෙන්, 4. කෝපයෙන්, ඒ
බැව්, දෙවලොකතො හි දෙවපුත්තා ආයුක්ඛයෙන පුඤ්ඤක්ඛයෙන ආහාරක්ඛයෙන
කොපෙනාති චතුහි කාරණෙහි වවන්ති” යන ප්‍රයෝගයෙන් තහවුරු වේ. සමහරු
දෙව්ලොව සියලු සැප වළඳා එම ආයු ක්ෂය වීමෙන් ඉන් චුතවෙති. සමහරු කළ පින්
මඳ හෙයින් රජුගේ භාණ්ඩාගාරයෙහි දමන ලද සහල් දෙතුන් නැළියක් මෙන් එම
පින් ක්ෂය වීමෙන් චුතවෙති. සමහරු සිහි මුළා බවින් ආහාර නොගෙන ආහාර ක්ෂය
වීමෙන් චුතවෙති. තවත් සමහරු අනුන්ගේ සම්පත් නො ඉවසීමෙන් උපන් කෝපය නිසා
චුත වෙති. ආයුෂ හා පින් අවසන් වීමෙන් දෙවියන් දෙව්ලොවින් චුත වන බව
පැවසීමෙහි ගැටලුවක් පැන නො නගී. එහෙත් ආහාර ක්ෂය වීමෙන් චුතවේයැයි කීම
ගැටලුවක් විය හැකි ය. එහෙයින් මෙම ගැටලුව අටුවාකරුවන් විසින් පැහැදිලි
කොට තිබේ. ක්‍රීඩාවෙහි ඇලුණා වූ ඛිඩ්ඩාපදෝසිකා නම් දෙවිවරු මුළාව නිසා
ආහාර ගත් නොගත් බව අමතක කොට ක්‍රීඩා කරති. මිනිසුන්ගේ කර්මජ තේජො ධාතුව
දුර්වලය, කරජ කාය බලවත්ය. එහෙයින්ම ඔවුන්ට උණුදිය කැඳ ආදී සුළු
ආහාරයකින් දින හතක් වුවද යැපිය හැකි ය. එහෙත් දෙවියන්ගේ තේජෝ ධාතුව
බලවත් මෙන්ම කරජ කාය සියුම් දුර්වල වූවක් වේ. එහෙයින් එක් වේලක්වත්
ආහාර නොගෙන ජීවත්විය නොහැකිය. දහවල් කාලයෙහි දැවී තැවුණු නෙළුම් පතකට
සවස් කාලයෙහි දිය කළගෙඩි සියයක් දැමූවත් ප්‍රාණවත් කළ නොහැක්කාක් මෙනි.
මනෝපදොසික දෙවිවරු ද සිත් දූෂ්‍ය වීමෙන් මෙසේම චුතවෙති. මෙසේ හෙයින්
දිව්‍යලෝගත සත්වයන්ට අතිශය දුක්ඛ වේදනාවන්ට මුහුණ දීමට සිදුවේ. චන්ද හා
සුරියපරිත්ත පිරික්සීමෙන් මෙය තව දුරටත් අනාවරණය වේ. එයින් පැහැදිලි
වන්නේ කාම භවය මුළුමණින්ම දුක් සහගත වූවක් වන බවයි.
රූපාරූප භවයන්හී තත්ත්වය ලැබෙනුයේ ධ්‍යාන සමාපත්ති ලැබීමේ ප්‍රතිඵලයක්
හැටියටය. රූපාවචර ධ්‍යාන වැඩුවෝ ද අරූපාවචර ධ්‍යාන වැඩූවෝ ද අනාගාමී
වූවෝ ද මෙහි වෙති. නිර්වාණය දක්වා වූ සියලු භවික සත්වයන්ගේ සකල
ක්ලේශයන් ප්‍රහාණය වී නැති හෙයින් කෙලෙසුන් නිසා වන දුක්ඛයන් මෙම
සත්වයෝ ද අත්විඳිති. ඒ අනුව රූප භවයෙහි රූප තණ්හාව නිසා ද අරූප භවයෙහි
අරූප තණ්හාව නිසා ද බිය දුක ශෝක පරිදේව ඇතිවේ. බ්‍රහ්මකායික සත්වයන්
තුළ කෙලෙසුන් ක්‍රියාත්මක වූ අයුරු පිළිබඳව දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ
දීර්ඝ විස්තරයක් අන්තර්ගත වේ. එමෙන්ම මොවුහු දීර්ඝ කාලයක් ජීවත්වීම
හේතුවෙන් ලෝකය ශාස්වතය යන මිථ්‍යා දෘෂ්ටියෙහි එල්බ ගෙන සිටිති. ධ්‍යාන
සමාපත්ති වඩා බඹලොව උපන් සත්වයෝ එහි දීර්ඝ කාලයක් ආයු වළඳති. එසේම
මොවුහු අතීත ආත්මභාව හතළිස් දහසක් පමණ අතීතයත් අනාගතයත් දැකීම හේතුවෙන්
ඉන් එහා නො දැකීමෙන් ආත්මය හා ලෝකය සදාකාලික ධ්‍රැව හා නිත්‍ය වූවක් බව
සිතති. සමහරු කොටසක් පමණක් ශාස්වත බව සිතති. මේ අනුව උපදවා ගනු ලබන
වැරදි දෘෂ්්ටි ශාස්වත, අශාස්වත, ඒකත්‍ය ශාස්වත, අන්තානන්ත,
අමරාවික්ෂේපය, අපරන්ත, සඤ්ඤී, අසඤ්ඤී, නෙවසඤ්ඤීනාසඤ්ඤී, උච්ඡේද ආදී
දෘෂ්ටි උපදවා ගනිති. වැරදි දෘෂ්ටිය වූ කලී සත්වයා විපතෙහි හෙළීමෙන්
දුක්ඛ වේදනා උපද වන්නේ ය. එහෙයින් මොවුහු වේදනා තණ්හා උපාදාන භව ජාති
ජරා මරණ සොක පරිදෙව දුක්ඛ දොමනස්ස යන මේවාට භාජනය වන බව සූත්‍රවල දක්වා
ඇත. යථෝක්ත කරුණු අනුව පැහැදිලි වන්නේ භව සංඛ්‍යාත කවර තැනක වුවද දුක
නමැති අනිෂ්ට අත්දැකීම විද්‍යාමාන වන බවයි. එහෙයින්ම බුදුන් වහන්සේ
මොහොතකුදු භවය වර්ණනා නොකරමියි වදාළ සේක. අනිත්‍ය දුක්ඛ හා අනාත්ම යන
ලක්ෂණත්‍රය ඉක්මවා ගිය නිත්‍ය සුබ සුඛ තත්ත්වයක් විද්‍යාමාන නොවේ. ඒ
බව,
“නත්ථි කොචි භවො නිච්චො - සංඛාරා චාපි සස්සතා
උප්පච්චන්ති ච තෙ ඛන්ධො - වචන්ති අපරාපරං”
යනුවෙන් දක්වා ඇත. සියලු භවයන්හී හීන මධ්‍යම උත්කෘෂ්ට, දීර්ඝායුෂ්ක,
සුඛබහුල, සුඛ දුක්ඛ මිශ්‍ර යනාදී වෙනස්කම් දක්නා ලැබේ. මෙබඳු වෙනස්කම්
ඇති තැනක දුක ද ඇත. නිත්‍ය බව නැති භවය තුළ දුක නියතයෙන්ම ලැබේ.
එබැවින් නිත්‍ය සංඥාව පැහැර කිරීම සඳහා බුදුදහම උපදෙස් දෙයි.
සංස්කාරයන් නිත්‍ය නොවන බව නුවණැසින් දැකීමෙන් භව චිරතිය ඇතිවේ.
මතු සම්බන්ධයි
|