පිළියන්දල 86 වෙනි මිහිඳු මහ පෙරහර
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී,
අගලවත්තේ සෝභිත හිමි
බස්නාහිර පළාතේ සල්පිටි කෝරලයේ පිළියන්දල පුරවරයේ වර්තමානයේ සදහම්
සුවඳින් ලක් දෙරණ සුවඳවත් කරන මහා වෙහෙරක් ලෙස උවැසි උවැසියන්ගේ හද
බැඳගත් පිළියන්දල මහ පන්සල ලෙසින් හඳුන්වන ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන්
විහාරය 19වැනි සියවස ආරම්භ වන විට වනගත අසපුවකි. එම විහාරස්ථානය
ගංගොඩවිල පියද්සී මහා ස්වාමීන් වහන්සේ විසින් තම ශිෂ්‍ය කොළමැදිරියේ
ධම්මසිද්ධි හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයට සඟසතු කොට පූජා කරන ලද
පුදබිමක් වේ.
මෙහිදී විශේෂයෙන් සඳහන් කළයුතු සංඝ නේතෘ වහන්සේ නමක් නම් නාවින්නේ
දේවානන්ද ස්වාමින් වහන්සේ ය. අනතුරුව සුදස්සන මහා ස්වාමීන්ද්‍රයන්
වහන්සේ සහ වේරහැර නන්දසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිහිපත් කළ යුතු ය.
එසමයෙහි මෙම අරමේ පැවතියේ මල් පහන් පිදීමට බෝධි රාජයාණන් වහන්සේ, ධර්ම
දේශනා කිරීම සඳහා මහල් තුනකින් සමන්විත පොල් අතු සෙවිලි කළ ධර්ම ශාලාව,
උපෝසථාගාරය හා කාමර දෙකකින් සමන්විත කුඩා ආවාස ගෙය පමණක් බව ඉතිහාසය
විමසා බැලීමේ දී පැහැදිලි වනු ඇත.
පසු කලෙක කුඩා බුද්ධ මන්දිරයක් ද ඉදි කරවා අනුරාධපුර බුදුරුව කන්ද
විහාරස්ථානයේ සිට වැඩම කරවන ලද ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනමක්
එක් ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කොට චිත්‍ර කර්ම නිමවා නේත්‍රා
ප්‍රතිස්ථාපනය කර තිබේ.
වේරහැර නන්දසාර මාහිමියන්ගේ අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ශිෂ්‍ය
පෙතිගමුවේ රාහුල හිමියන් 1980 වර්ෂයේ විහාරාධිපතීත්වයට පත්විය. අනතුරුව
විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට බොහෝ සේ කටයුතු
කරන ලදී.
ආගමික වශයෙන් විහාරස්ථානයේ අභිවෘද්ධිය පිණිස අනූපමේය සේවාවක් ඉටු කරන
අතර රට දැය සමය වෙනුවෙන් ද තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙළා
ඉටු කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වශයෙන් අගය කළ යුතුයි.
බුදු සිරිතේ අසිරිය ගෙන දෙන සිදුවීම් හා ලක් දෙරණේ ඓතිහාසික සිදුවීම්ද
පෙළ ගස්වමින් චිත්‍රකර්ම නිමවා ශාන්ත සුන්දර වූ බුද්ධ මන්දිරය නිම කරවා
ඇත. සැදැහැවත් උවැසි උවැසියන්ට සිතැඟි පරිදි වැඳුම් පිදුම් කිරීම සඳහා
අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රතිමා තැන්පත් කොට අත්‍යාලංකාර බෝධි
ප්‍රාකාරයක් සහිත බෝධිඝරයක් ඉදිකරීම, සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත්
කිරීම සඳහා දෙමහල් ධාතු මන්දිරයක් ඉදි කරවීම, චෛත්‍ය රාජයාණන් වහන්සේගේ
කොත් කැරැල්ලට චූඩා මාණික්‍යයක් සවිකොට අංග සම්පූර්ණ වෙහෙරක් කරවීම,
මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ආනුභාව සම්පන්න ප්‍රතිමාවක් නිම
කරවීම, ප්‍රාකාරය සහිත පිවිසුම් තොරණ ඉදි කරවීමදේව ආශිර්වාදය පතා
පැමිණෙන බැතිමතුන් සඳහා පැවති ආනුභාව සම්පන්න විෂ්ණු දේවාල මන්දිරයෙහි
යම් යම් චිත්‍රකර්ම කරවීම, කතරගම දේවාලයක් කරවීම, පරිත්‍යාගශීලීන්ගේ
දායකත්වයෙන් පහන් ගෙය, සූනියම් දේවාලය හා පත්තිනි දේවාලය ඉදි කරවා
චිත්‍ර කර්ම කරලීම ආදිය වේ. දහම් පාසල් පවත්වාගෙන යමින් එහි
ප්‍රධානාචාර්ය වශයෙන් අනාගත දරු පරපුර සඳහා විශාල මෙහෙයක් ඉටු කරනු ඇත.
තවද ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල සඳහන් කළ යුතු මෙන්ම අගය කළ යුතු
කටයුත්තක් ද වේ. මෙම දහම් පාසලේ දරු දැරියන් සඳහා ශාලා පහසුකම්
ප්‍රමාණවත් නොවන බැවින් නව දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා
සැලසුම් ආරම්භ කර ඇත. දේශීය කලා ගුරුකුල ආරක්ෂා කර අපේ දරු දැරියන්ගේ
කලා කුසලතා ඔප් නැංවීම සඳහා උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් ශ්‍රී රාහුල
කලායතනය ද මූලික අධ්‍යාපනය ලබන දුවා දරුවන් සඳහා පෙර පාසලක් ද
පවත්වාගෙන යමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනූපමේය සේවාවක් කරනුයේ අනාගත දරු
පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙනි.
මිහිඳු මහ පෙරහර ඉතිහාසය විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ 1921 දේවානන්ද
මාහිමියන් වහන්සේ ආරම්භ කරන ලද ශ්‍රී මහා මහින්ද පූජෝත්සවය සමිතිය මුල්
කරගෙන පිළියන්දල තුම්බෝවිල මිහිඳු මහා පෙරහර ආරම්භ වී ඇති බවයි.
86වෙනි මිහිඳු මහා පෙරහරට සමාගමීව 2014 ජූලි මස 10වන දින ආරම්භ කළ
පින්කම් මාලාවේ සර්වරාත්‍රික පිරිත් දේශනය පැවතිණ. ජූලි 10වන දින සිට
19 දක්වා සැන්දෑ කාලයෙහි සතර පේරුවේ දායක කාරකාදීන් විසින් මල් පෙරහර
පැවැත්වීම ආදිය ද ජූලි 19වන දින රාත්‍රී 7.00ට 86වෙනි මිහිඳු මහා පෙරහර
වීදි සංචාරය කිරීමට නියමිතය. |