UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වස් සමය හා භික්ෂූන් වහන්සේ

වස් සමය හා භික්ෂූන් වහන්සේ

බෞද්ධ ශ්‍රාවකයින් හැඳින්වීම සඳහා ප්‍රධාන වශයෙන් නම් කිහිපයක් භාවිතා වී ඇත.

එනම්

1.භික්ඛු
2.භික්ඛු සංඝ
3. සමණ සක්‍යපුත්තික යනුවෙනි

“භික්ඛු” යනු සසර භය දක්නා වූ සුළුව වෙසෙන්නාවූ ද ශික්ෂාවෙන් යැපෙන්නා වූ ද සිඳුණු බිඳුණු වස්ත්‍ර දරන්නා වූ ද අයෙකි.”භික්ෂු සංඝ” යනු එම අර්ථය ම ඇති යෙදුමක් වන අතර එහි සංඝ යන පදය සමකාලීන ශ්‍රමණ සම්ප්‍රදායගත වචනයකි. “සමණ සක්‍යපුත්තික” යනු බුදුන් වහන්සේගේ ගෝත්‍රයෙන්ම ගොඩනැගුණු යෙදුමකි. මෙසේ වූ භික්ෂු සමාජය පරමාදර්ශි සමාජයක් ම විය. පෞද්ගලිකත්වය පසෙකලා සාමුහිකත්වය අගය කර ඇත.

මෙම භික්ෂු සමාජයේ ආරම්භය පස්වග මහණුන්ගෙන් සිදු වූ බව මහාවග්ග පාලියට අනුව පැහැදිලි වේ.

”අථඛෝ ආයස්මා අඤ්ඤාකොණ්ඩඤ්ඤෝ දිට්ඨධම්මෝ පන්නධම්මෝ .....භගවන්තං ඒතදවෝච ලභෙය්‍යාහං භන්තේ භගවතෝ සන්නිකේ පබ්බජ්ජං ලභෙය්‍ය උපසම්පදං”

මෙසේ බිහි වූ භික්ෂු සමාජයේ මූලික ලක්ෂණ කිහිපයක් දක්නට ලැබේ. එනම් ගෘහ ජීවිතය කෙරෙහි කළකිරීම හා අවම අපේක්ෂාවන්ගෙන් යුක්ත වීමයි.

”සෝ අපරෙන සමයේන අප්පං වා භොගක්ඛං පහාය මහන්තං වා භොගක්ඛං පහාය අප්පං වා කුංහිපරිවට්ටං පහාය තේසමසසුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිති”

සසුන්ගතවීමට අපේක්ෂා කරන පුද්ගලයා අල්ප වූ භෝගයන් හෝ මහත් වූ භෝගයන් හැර දමා අල්ප වු හෝ මහත් වු හෝ නෑ පිරිස් අත්හැර කෙස් රවුලු බහා කසට වන් වස්ත්‍ර හැඳ ගිහිගෙයින් නික්ම අනගාරික වූයේ පැවිදි වෙයි. ඉන් පසු ඔහු අලග්ප අපේක්ෂාව නිසා තැනින් තැන ඇවිදිමින් සංචාරක ජීවිතයක් ගෙවයි. එහි දී ඔ හු පිණ්ඩාහාරයෙන් යැපුණේය. කසට වස්ත්‍ර දැරුවේය. හිස මුඩු කිරීම හා බ්‍රහ්මචාරි ජීවිතයක් ගෙවීමට යොමු විය. මේ නිසා භික්ෂු ජීවිතය සාරධර්ම වලින් පිරිපුන් වු අතර ආදර්ශමත් සාමාජීය ජීවිතයක් විය. භික්ෂූ ජීවිතය අර්ථවත් වු අරමුණක් වෙත මෙහෙයවීම ප්‍රමුඛ ලක්ෂණයකි. මේ නිසා භික්ෂු ජීවිතය සෝදන ලද හක්ගෙඩියක් මෙන් පිරිසුදුය.

“එකන්තං පරිපුණ්නං එකන්තං පරිසුද්ධං සංඛලිකිතං බ්‍රහ්මචරියං”

එසේම යථාර්ථය දැන පැවිදි වූ හෙයින් මුල් යුගයේ විනය නීති පැනවීමක් අවශ්‍ය නොවීය. අල්පේච්ඡ ජීවිතයක් ගෙවීම එක් හේතුවකි. අඩු අපේක්ෂා ඇතිව විසීම, ලද දෙයින් සතුටට පත්වීම ,බන්ධනයන්ගෙන් තොරවීම නිසා අල්පේච්ඡ ජීවිතයේ පොදු ලක්ෂණයන්ය. භික්ෂු ජීවිතයේ මුලික පරමාර්ථය සියලු දුක් නසා නිවන පසක් කිරීමයි. සැම විටම එම මූලික පරමාර්ථය නොඉක්මවා ක්‍රියා කළේය. තවද සාමුහිකත්වය අගය කළේය. එනිසා පෞද්ගලිකත්වයට වඩා සාමුහිකත්වය ඉස්මතුවිය. පොදු බව ආරක්ෂා කළේය. සමගිය තහවුරු වූ සංඝ සමාජයේ සාමාජිකයන් පි‍්‍රය ඇසින් ඔවුනොවුන් දෙස බැලුවේය. මෙබඳු සාමාජිකයන් අතර වාද භේද නොවීය. භෞතික අවශ්‍යතා නොවීම එක් හේතුවකි. විහාර ගොඩනැගිලි වාසස්ථාන ආදි අවශ්‍යතාවයන්ගෙන් තොරවු මේ සංඝ පිරිසට පාත්‍රය සිවුර පමණක් ප්‍රමාණවත් විය. යම් තැනකට යේද එහි දී පාත්‍රය සිවුර පමණක් රැගෙන ගිය බව සූත්‍රවල දැක්වේ.

“පත්තචීවරමාදාය”

භික්ෂුවකගේ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට එය ප්‍රමාණවත් විය. එනිසා “සුභරතා” පහසුවෙන් පෝෂණය කළ හැකි බව සැහැල්ලු දිවිපැවැත්ම “සල්ලහුක වුත්ති” යන ගුණාංග භික්ෂු ජීවිතයෙන් ප්‍රකට විය. ඒ නිසා මුල් යුගයේ භික්ෂුන්ගේ හැසිරීම බුදුන් වහන්සේගේ සිත සතුටු කළේය.

”මහණෙනි එක් කලෙක භික්ෂුහු ඒකාන්තයෙන් මා සිත් ගත්හ. මහණෙනි, මම පෙරවරුවේ එක් වේලේ බොජුන් වළඳමි. එසේ වළඳන මම නිරෝගි බවද සැහැල්ලු බවද, ශරීර ශක්තිය ද පහසු විහරණය ද දනිමි. මහණෙනි, එන්න ඔබලා ද එක් වේලක් වළඳව්. එසේ වූ ඔබලා ද නිදුක් බව නිරෝගී බවද සැහැල්ලු බවද ශරීර ශක්තිය පහසු විහරණය දැනගන්න”

එබඳු භික්ෂු පිරිසකට විනය නීති අවශ්‍ය නොවීය. වරදකට යොමු නොවන පිරිසක් වීම නිසාය. එබැවින් බුදුන් වහන්සේට නිරතුරුව අනුශාසනා කිරීම අවශ්‍ය නොවූ බව පාරාජිකා පාලියට අනුව පැහැදිලි වේ.

“න මේ භික්ඛවෙ තෙසු භික්ඛුසු අනුසාසනී කරණීයා අහොසි,

සතුප්පද කරණිය මෙව මෙ භිකඛවෙ තෙසු භික්ඛුසු අහොසි”

ඒ අනුව එකල භික්ෂූන් උදෙසා මා විසින් අනුශාසනා නොකළ යුතු බවත් ඒ භික්ෂූන්ට සිහි ඉපදවීම පමණක් කළ යුතු බවත් බුදුන් වහන්සේගේ අදහස විය.

මෙබඳු ආධ්‍යාත්මික ප්‍රතිපත්තියක පිහිටි භික්ෂු පිරිසකගෙන් ප්‍රකට වූ ආධ්‍යාත්මික ගුණාංග රාශියක් වේ.

1.නැසූ කෙලෙස් ඇති බව
2.වැස නිම වූ මඟ බඹසර ඇති බව
3.කළ යුතු සියල්ල නිමා කළ බව
4.කෙලෙස් බර බහා තබන ලද බව
5.විමුක්තිය වෙත පැමිණි බව
6. භව සංයෝජන සිඳින් ලද බව
7.කෙලෙසුන්ගෙන් මිදුණු බව

යන ගුණාංගවලින් සපිරි පිරිසක් වශයෙන් භික්ෂු පිරිස සමකාලීන ශ්‍රමණයන් අතර කැපී පෙණුනි. එසේම සිතුම් පැතුම් ගතිගුණ ආකල්ප ආදි ආධ්‍යාත්මික ගුණාංගයන්ගෙන් ද සාමුහිකත්වය , සංවිධානාත්මක බව, අන්‍යෝන්‍ය ගරු කිරීම ආවතේව, ඇවතුම් පැවතුම් ආදි බාහිර පැවැත්මෙන් ද භික්ෂු සමාජයේ සුවිශේෂි බව පෙන්වා දිය හැකිය. ඒ අනුව දසධම්ම සූත්‍රයෙහි භික්ෂූන් වහන්සේ නමක් සිහිකළ යුතු කරුණු දහයක් දැක්වේ. මෙම කරුණු වලින් භික්ෂූන් වහන්සේ නමකගේ ආධ්‍යාත්මික වශයෙන් සිදුවිය යුතු පරිවර්තනය පැහැදිලි කෙරේ. සංසාරයෙහි ස්වභාවය නිවැරදිව වටහාගත් අර්ථ ශූන්‍ය වූ දුක් සහිත වූ සසරින් මිදෙනු කැමැති නිවන සඳහා සිත් මෙහෙයවන පැවිද්දාගේ ආකල්පය මෙසේ විය යුතුය. පැවිද්ද ලෞකිකත්වයට නොව ලෝකෝත්තර තත්ත්වයකට යොමු වූවකි. එහෙයින් සැබැවින්ම ශ්‍රමණභාවයෙහි ඵලය නෙළා ගැනීමට පෙළඹිය යුතුයි. එ බැවින් ඉන්ද්‍රිය දමනය හා සත්‍ය වචනය අගයන පිරිස පැවිද්දට සුදුසු පිරිසක් වේ “

ගිහිසුවය අත්හැර පැවිදි සුවයට අගයන පිරිස භික්ෂුන්ය. එනිසා භෞතික වස්තුන් පසුපස හඹායන අඹුදරුවන් කෙරෙහි පේ‍්‍රමයෙන් බැඳුණ ගිහියාගේ ආකල්පයට වඩා පැවිද්දාගේ ආකල්පය වෙනස්ය. එසේම ගිහිබැවින් බැහැරව සපුරාම විමුක්ති ප්‍රතිලාභය සඳහාම යොමු වූවෙකි. එබඳු භික්ෂුව කිසියම් කුලයකට, පවුලකට හිමිකරුවෙක් නොවේ. ඔහු සියලු සත්වයන් කෙරෙහි දයානුතකම්පාවෙන් මෙත් සිත පතුරුවමින් වාසය කරන්නෙකි. මෙම අරමුණු ඉටුකර ගැනීමට භික්ෂුව තුළ සංවරය, සංසුන් ඉඳුරන් ඇති බව, විනය ගරුක බව ,ධර්මගරුක බව ආදි ගුණාංග වලින් සපිරුණු අයෙකු විය යුතු බව පැහැදිලි කරුණකි.

භික්ෂූන් බෞද්ධ සාරධර්මවලින් පරිපූර්ණ අයෙකු විය යුතු බව ධර්මයෙන් හා විනයෙන් පැහැදිලි වේ. ප්‍රඥා සම්පන්න වූ ශ්‍රද්ධාව ඇති ත්‍රිවිධ රත්නය මැනවින් හඳුනාගත් පුද්ගලයන් බුදුන් වහන්සේ වෙත එළඹෙයි.

ඒ නිසා එම පුද්ගලයාගේ ආකල්ප හා පැවැතුම් වල ආකර්ෂණීය බවක් ඇත. එය දක්නා වු අසන්නා වූ පුද්ගලයන් සසුන වෙත බොහෝ සෙයින් ඒකරාශි වූයේ එහෙයිනි. මෙසේ අනුනට ආදර්ශමත් ජීවිතයක් ගෙවන භික්ෂුව පැවිදි ජීවිතයේ සැබෑ අරුත දකියි. සැපසේ වෙසෙයි. කායිකව හා මානසිකව සතුටින් කල් ගෙවයි. නිරාමිස සුවය අද්දකියි. පිරිසුදු පැහැපත්, තිදොරින් යුතුව ප්‍රසන්න වූයේ සැහැල්ලු දිවියක් ගෙවයි. භික්ෂුවගේ අල්පේච්ඡතාව ස්වභාවය මෙසේ පැහැදිලි කෙරේ. පැවිද්ද සිඟා ලත් පිණ්ඩ ආහාරය සඳහාය.

පැවිදි දිවිය ඇතිතාක් එහි උත්සාහවත් විය යුතු බව දැක්වේ. පැවිද්ද පාංශුකූල සිවුරු සඳහාය. පැවිද්ද රුක්මුල් සෙනසුන් කොට වසනු සඳහාය. පැවිද්ද නම් ගවමුත්‍ර ආදි බෙහෙත් සඳහාය. භික්ෂුව පැවිදි දිවිය ඇති තාක් ඒවායෙහි උත්සාහවත් විය යුතු බව කියවේ.

මෙසේ චීවර, පිණ්ඩපාත, සේනාසන , ගිලානප්‍රත්‍ය යන සිව්පසයෙන් පමණ දැන දිවිගෙවන භික්ෂුව නිවනට පිවිසෙන්නේය. අල්ප අපේක්ෂා ඇති භික්ෂුවගේ අපේක්ෂාව නිවනයි. ඒ සඳහා දිවා රෑ දෙකෙහි වෙහෙසෙයි. සමථ විදසුන් භාවනාව වඩයි. කටුක වූ දිවි ගෙවීමට සිදු වෙයි. රුක් මුල් වන සෙනසුන්වල වැඩහිඳිමින් බවුන් වඩමින් කෙලෙස් දුරු කරමින් නිවන සඳහා වෙහෙසෙයි. වන ඵලින් යැපෙයි. අත්හැර දැමූ වස්ත්‍ර ගෙන තෙළ සිවුරු දරයි. එනිසා භික්ෂුවගේ ඒකායන අරමුණ වෙත ඉක්මනින් යොමු වෙයි. මෙනිසා භික්ෂූ පිරිස සමකාලීන ශ්‍රමණයින් අතර ප්‍රමුඛ ගුණාංගවලින් සපිරි ලෞකික ජීවිතේ නොගැටෙමින් නිරාමිස සතුටින් දිවි ගෙවූ පිරිසක් වූහ.

නමුත් කාලයක් ඇවෑමෙන් භික්ෂූන් වහන්සේලා හට මූලික අරමුණු පසෙකලා කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සසුනෙහි මුලින් පැවැති උදාරත්වය , ගෞරවය, විනයගරුක බව හා ධර්මගරුක බව විනාශය කරා යොමු විය. එසේ වීමට තුඩුදුන් හේතු කිහිපයක් දැකිය හැකිය. භික්ෂු සංස්ථාව සංකීර්ණත්වයට පත්වීම හා භික්ෂු ජීවිතයෙහි මූලික පරමාර්ථයෙන් බැහැර වීම ප්‍රධාන හේතුන් අතර වේ. මුල් යුගයේ පාත්‍රයට ,සිවුරට පමණක් සීමා වූ භෞතික අවශ්‍යතාව විහාර ඉදිකිරීම් , සිවුරු වැඩි වැඩියෙන් රැස්කිරීම් වැනි දෑ දක්වා පැතිරිණි. ඒ අනුව භික්ෂුව භෞතික අවශ්‍යතා පසුපස ලුහුබැඳීමට යොමු විය. ඒ අතර ඇතැම් භික්ෂූන් වහන්සේලා විෂමාචාර ක්‍රියාවල පෙළඹුනාහ. මෙයට අමතරව විනය නීති පැනවීමට තුඩුදුන් සාධක හතරක් දක්නට ලැබේ.

1.ශාසනය ආරම්භ වී දිගු කලක් ගතවීම නිසා උද්ගත වූ ගැටලු
2.සාමාජික පිරිස වර්ධනය වීමෙන් බිහිවූ ගැටලු
3.සසුනට බොහෝ ලාභ සත්කාර ලැබීමෙන් ඒ ආශි‍්‍රතව උපන් ගැටලු
4.උගතුන් බහුලවීම නිසා උපන් ගැටලු

මේ නිසා භික්ෂූන් වහන්සේගේ සංවරය සඳහා විවිධ නීති බුදුන් වහන්සේ විසින් පනවන ලදී. එයින් අපේක්ෂා කළේ භික්ෂූ පිරිස අතර සමගිය තහවුරු කිරීම් හා ආයති සංවරය ඇති කිරීමයි. එමගින් භික්ෂුව විනය නීති වලින් පීඩනයට පත් කිරීමක් කිසිදා අපේක්ෂා කළේ නැත.

මෙබඳු විනයකින් අපේක්ෂා කළ අරමුණ විසුද්ධිමාර්ගයෙහි මෙසේ දැක්වේ.

“විනයෝ සංවරත්ථාය සංවරො අවිප්පටිසාරත්ථාය, අවිප්පටිසාරො පා මොජ්ජත්ථාය පාමොජෙජා පීනත්ථාය පීනපස්සධත්ථාය, පස්සද්ධී සුඛත්ථාය සුඛං සමාදත්ථායසමාධි යථාභූත ඤාණදස්සනත්ථාය යථාභූතඤාණදස්සනං නිබබ්දත්ථාය, නිබ්බදා, විරාගත්ථාය , විරාගො විමුත්තිත්ථාය විමුත්ති ඤාණදස්සනාත්ථාය .විමුත්ති ඤාණදස්සනං අනුපාද පරිනිබ්බාණත්ථාය

මේ අනුව විනය සංවරය සඳහාය. සංවරය විපිළිසර නොවීම සඳහාය. විපිළිසර නොවී පී‍්‍රතිය සඳහාය. තරුණ පී‍්‍රතිය මහත් පී‍්‍රතිය සඳහාය. මහත් පී‍්‍රතිය සැපය සඳහාය. සැපය සමාධි සඳහාය. සමාධිය යථාභූතඤාණදස්සනය සඳහාය. යථාභූතඤාණදස්සනය නිර්වේදය සඳහාය.නිර්වේදය විරාගය සඳහාය. විරාගය විමුක්තිය සඳහාය. විමුක්තිය ඤාණ දැකීම සඳහාය. ඤණදස්සනය උපාදාන විරහිතව පිරිනිවීම සඳහාය. මෙසේ බුදුන් වහන්සේගේ විනය ප්‍රඥප්තිවල අභිප්‍රාය භික්ෂු පිරිස විමුක්තියට යොමු කිරීම බව පැහැදිලි වේ.

මෙම කරුණු තහවුරු වන එක් අවස්ථාවක් විනය පිටකයට අයත් පාචිත්‍ය පාලියෙහි දැක්වේ. එහි විනය ශික්ෂා පැනවීමේ අරමුණු දහයක් දැක්වේ. එනම්

1.සංඝසුට්ඨුනාය –සංඝයාගේ යහපැවැත්ම සඳහාය
2.සංඝඨාසුනාය – සංඝයාගේ පහසු පැවැත්ම සඳහාය
3.දුට්ටංඤනං පුග්ගලානං නිග්ගාහය – වැරැද්දට හසු වූ පුද්ගලයන්ට දොස් දක්වනු සඳහාය.
4.පෙසලානං භික්ඛුනං ඵාසුවිහාරාය – විමුක්තිගාමි භික්ෂූන්ගේ පහසු විහරණය සඳහාය.
5.දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය – මෙලොවින් වන්නාවූ ආශ්‍රවයන්ගේ හික්මවීම සඳහා.
6.සමපරායිකානං ආසවානං පටිඝානාය – පරලොවින් වන්නාවූ ආශ්‍රවයන්ගේ නැසීම සඳහා
7.අප්පසන්නානං පසාදාය – නොපැහැදුණූ වූවන්ගේ පැහැදීම සඳහා
8.පසන්නානං භිය්‍යොභාවාය – පැහැදුණු වූවන්ගේ පැහැදීම වැඩීම සඳහා
9. සද්ධමුට්ටඨිනියි –සද්ධර්මයේ පැවැත්ම සඳහා
10. විනයානුග්ගාහය – විනයට අනුග්‍රහයක් සඳහා

මෙසේ ශික්ෂාවන්ගෙන් අපේක්ෂිත අරමුණ හුදෙක්ම ලෝකෝත්තර මාර්ගය උපකාරයක් ගොඩ නැගීමය. ඒ අතර භික්ෂු පිරිස පෞද්ගලික සංවරය ඇති කිරීමද අපේක්ෂා කෙරේ. එමගින් භික්ෂු පිරිස සාමුහික සහජීවනය ඇතිවේ. ඒ හේතුවෙන් අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩ නැගේ. භික්ෂු පිරිස පි‍්‍රයශීලි පිරිසක් බවට පත්වේ. අධ්‍යාත්මයේ ඇති පාරිශුද්ධත්වය කයින් වචනයෙන් බාහිරට නිරාවරණය වේ. සමානාත්මතා ගුණය ප්‍රකට වීම තවත් ඵලයකි. තමා කළ වරද භික්ෂු සමාජයේ සාමාජිකයන්ට හෙළිදරව් කිරීමෙන් අව්‍යාජ බව ඇතිවේ. සුහදත්වය ගොඩනැගේ. මේ අනුව බුදුන් වහන්සේ විනය ප්‍රඥප්තින් භික්ෂූන් වහන්සේගේ චරිත සංවර්ධනය සඳහාම උපනිශ්‍රය වූ බව පෙනේ. මෙබඳු භික්ෂුවගේ භෞතික අවශ්‍යතා අල්පය. භෞතික අවශ්‍යතා ලෞකිකත්වයට නැඹුරු වේ. එනිසා ලෝකෝත්තර මගෙහි ගමන් කරන්නා වු පිරිසකට සිවුරු, පිණ්ඩපාත, සේනාසන ,ගිලන්පස යන මූලික අවශ්‍යතා ජීවත්වීම සඳහා ප්‍රමාණවත් විය. ඒ අවශ්‍යතා ඉටුකර ගැනීමට තමන් පාවිච්චි කරන අඳනය සිවුර හා අතිරේක සිවුර ද පාත්‍රය ද පමණක් ප්‍රමාණවත් විය. කිසිදු අපේක්ෂාවක් නොවීය. තමන් වසන සෙනසුන කෙරෙහි කිසිඳු බැඳීමක් නොවීය. වාසය කරන ඒ මොහොතට පමණක් එය පරිහරණය කළෙමි. මෙසේ වු සරල පැවැත්ම කාගේත් සිත් සතුටු කළේය. දුටුවන් පැහැදවුයේය. දෙවි මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර විය. භෞතික අවශ්‍යතා සීමිත වූයෙන් ගැටුම් රහිතය. සුහදශීලිව සසුන් බඹසර ගෙවා දැමුවේය.

භික්ෂූන් වහන්සේගේ ජීවිතයේ සරල භාවයේ සංකේතයක් වූයේ සිවුරයි. භික්ෂුව යන වචනාර්ථයෙන් ද තහවුරු වන්නේ එම සැහැල්ලු පැවැත්මයි. එනම් භික්ඛු යන වචනයට අර්ථ දක්වා ඇති පාරාජිකා පාලියෙහි මෙසේ දැක්වේ.

“භින්නපටධරොති භික්ඛු”

බිඳුණු වස්ත්‍ර දරන්නේ භික්ෂුවයි. එනම් වටිනාකමින් අඩු වූ කැබලි වශයෙන් වු වස්ත්‍ර එක්කොට මසන ලද වස්ත්‍රය සිවුරයි.

“චීවර” යන පාලි වචනයෙන්ද “සිවුර” යන සිංහල වචනයෙන්ද හඳුන්වනු ලබන්නේ භික්ෂූන් වහන්සේගේ පරිහරණ වස්ත්‍රයකි. චීවර යන වචනයෙහි චිර යනු කැබැල්ලයි. කැබලි කැබලි එකතු කොට සකස් කරගත් වස්ත්‍ර විශේෂය චීවර නම් වේ.

මෙසේ බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන් උදෙසා අනුමත කළ සිවුරු වර්ග තුනක් වේ.

1.පංසුකූල චීවරය (පවුල් සිවුර)
2. ගහපත චීවරය (ගැහැවි සිවුර)
3. කඨින චීවරය (කඨින සිවුර)

1.පංසුකූල චීවරය
තැන්තැන්වල විසිකර දමා තිබෙන හෝ වැටී තිබෙන රෙදි කැබලි එකතු කොට සෝදා පිළිවෙළකට අමුණා මසාගත් සිවුරු පංසුකූල සිවුර නමින් හඳුන්වයි. මුල් යුගයේ භික්ෂූන් වහන්සේලා පරිහරණය කළේ මේ සිවුරුය. මෙම සිවුරු පරිහරණය භික්ෂු ජීවිතේ අල්පේච්ඡ ජීවිතයේ සංකේතයකි.

2. ගහපති සිවුර
ගිහියන් විසින් මසා පුජා කරන සිවුරු හා නොමසා පූජා කරන ලද රෙදිවලින් මසාගත් සිවුරු ගහපති චීවර නම් වේ. ජීවක නම් වෛද්‍යවරයාගේ ඉල්ලීම මත බුදුන් වහන්සේ ගිහියන් විසින් පුජා කරන සිවුරු පිළිගැනීමට භික්ෂූන් අවසර දුන්හ.

3. කඨින චීවරය
පෙර වස් සමාදන් වී මහා පවාරණය කළ භික්ෂූන්ගේ පහසු විහරණය සඳහා තුන් සිවුරට අමතරව පිළිගැනීමට අනුමත කර ඇති විශේෂ සිවුරයි.

භික්ෂුවක් සතුව පැවතිය යුතු සිවුරු සංඛ්‍යාව තුනකි. එය තුන් සිවුරු වශයෙන් හඳුන්වනු ලබයි.

1.සංඝාටිය – දෙපට සිවුර
2.උත්තරාසංඝය – තනිපට සිවුර
3.අන්තරාවාසකය – අඳනය

කැබලි එකතු කොට ගත් සකස් කරගත් සිවුර එකම පැහැයක් ගැන්වීම සඳහා පඬුපොවනු ලැබේ. සිවුරු පඬුපොවා ගනු ලැබුවේද භික්ෂුව විසිනි. මෙය කිසිවෙකුටත් හිරිහැරයක් පීඩනයක් නොදුන් අතර සරල දිවිපැවැත්මේ සංකේතයකි. චීවරක්ඛන්ධකයේ බුදුන් වහන්සේ විසින් අනුදත් පඬුවර්ග 06 ක් වේ.ඒවා ගස්වල අංගයන්ගෙන් සාදාගත් කසටකි. ඒවා නම්,

1.මුල්
2.කඳ
3.මල්
4.පොතු
5.කොළ
6.ගෙඩි

ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා විවිධ වර්ණයෙන් යුතු සිවුරු පරිභෝග කිරීම නිසා පඬු පෙවීමට නොගත යුතු වර්ණ බුදුරජාණන් වහන්සේ විසින් දක්වා තිබේ.

නිල් කොළ, කළු , තද කහ
දම්, රෝස, තද රතු

මේ ආදී වරණ තහනම් විය. සිවුරේ පැහැය විය යුත්තේ පඬු පැහැයයි. එයින් පෙන්නුම් කරන්නේ විරාගී බවයි. භික්ෂුවගේ සංකේතය සිවුරයි. එය පරිහරණය කෙරෙන්නේ සිහිනුවණින් දැනගෙනය. එනම් ශීතල,උෂ්ණය යන පීඩා නැසීමත් මැසිමදුරු අව්ව, සුළඟ ආදියෙන් වන බාහිර හානි නසනු සඳහාත්ය. විශේෂයෙන් ලැජ්ජා භය රැකගනු සඳහාය. සංවරශීලිව , සිවුරු දැරීම සදාචාරාත්මක බවෙහි ලක්ෂණයකි. මුල් යුගයේ භික්ෂුව තුළ සිවුරු පරිහරණයේ දී සරල ආකල්පයක් විය. එනම්

1. තමාගේ සිවුර දිරාගිය කල්හි අතිරේක සිවුරක් දරන ලදී.

2.සංඝාටි ,උත්තරාසංඝ, අන්තරාවාසක යන තුන් සිවුරෙන් තොරව දෙයක් හෝ ගත නොකිරීම

3. නව සිවුරක් පරණ වස්ත්‍රයක් බවට පත්කර ආකල්පමය වෙනසකට පත්වීම, එනම් පරිභෝග කිරීම් වශයෙන් හෝ හැඳීමෙන් හෝ පෙවීමෙන් හෝ යටත් පිරිසෙන් අංශයක ලා ගැනීමෙන් හෝ කොට්ටය වෙනුවට පාවිච්චි කිරීමෙන් හෝ අලුතින් මසාගත් සිවුර පරණ බවට පත්කිරීම

එසේම තමන් පොරවණ ලද සිවුර භාවිත කළ යුතු අන්දම ද චුල්ලවග්ගපාලියෙහි දැක්වේ.

1.දිරාගිය සිවුරු වලින් ඇතිරිලි තනාගැනීම
2.දිරාගිය ඇතිරිලිවලින් බිසිඋර තනා ගැනීම
3. දිරාගිය බිසිඋර වලින් බිමට අතුරන බුමුතුරුණු තනාගැනීම
4. දිරාගිය බිම් ඇතිරිලි වලින් පාපිස්නා බිසි තනාගනී.
5.දිරාගිය පාපිස්නා වලින් පොළොවෙහි දූවිලි පිස දැමීම
6. දිරාගිය පොළොව පිස දැමූ’ රෙදි කැබලි මැටි හා මිශ්‍රකර බිත්තිවලට ඇතුළත් කිරීම

මෙම කරුණු ඉදිරි පරිච්ඡේදවල දී දීර්ඝව සාකච්ඡා කරන හෙයින් මෙහි දී කෙටියෙන් දැක්විය. මේ අනුව පැහැදිලි වන්නේ සසුනේ මුල් යුගයේ පැවැති බ්‍රහ්මචාරි ජීවිතයට අදාළ ලක්ෂණවලට අනුකූලවම සිවුර පරිහරණය කර ඇති බවයි. සිවුරක් පරිභෝග කිරීමේ මූලික අරමුණ ඉක්මවා නොගියේය. සිවුරු පරිභෝගය විමුක්තිකාමී ප්‍රතිපදාවට හානියක් නොවීය. භික්ෂු ආකල්පවලට අනුකූලව ඒවා සුරැකෙන පරිදි සිවුර පරිභෝග කර ඇත.

 

ඇසළ අව අටවක

ඇසළ අව අටවක පෝය ජූලි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 08.13 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 07.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 19 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 26 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk