UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජනීය සදහම් මාවතකට සතර සංග්‍රහ වස්තු

පූජනීය සදහම් මාවතකට සතර සංග්‍රහ වස්තු

මිනිසා විසින් සමාජයට ඉටුකළ යුතු කාර්යභාරය පිළිබඳව බුද්ධ දේ්ශනාවේ විවිධ ඉගැන්වීම් අන්තර්ගතව තිබේ. ලෝකයාගේ සිත් අවනත කරගෙන ජනපි‍්‍රය පුද්ගල පෞරුෂයක් ගොඩනඟා ගත හැකි ක්‍රමවේද හතරක් ඒ අතර ඇත. සතර සංග්‍රහ වස්තු නමින් ඒවා හඳුන්වයි.

දානය, පි‍්‍රයවචනය, අර්ථචරියාව, සමානාත්මතාවය යනු ඒ හතරයි.

දානය

තමා සතු වස්තුවක් පූජා බුද්ධියෙන් හෝ අනුකම්පා බුද්ධියෙන් හෝ දීම දානයයි. තුණුරුවන් විෂයෙහි යමක් පූජා කිරීම පූජා බුද්ධියෙන් දීමක් ලෙසටත් දුගී මඟී යාචකාදී අසරණයන් උදෙසා යමක් පරිත්‍යාග කිරීම අනුකම්පා බුද්ධියෙන් දීමක් ලෙසටත් හැඳින්වේ.

අපේ සිත යටපත් කරගත් අකුසල මූලයන් තුනක් ඇත. ලෝභ, දෝස, මෝහ යනුවෙන් එය හඳුන්වයි. අප සතු සියලු වස්තු කෙරෙහි පවතින බැඳීම හේතුකොටගෙන ලෝභය පහළ වෙයි. ඒවා ආරක්‍ෂා කර ගැනීම සඳහා බාධක ලෙස සැලකෙන කරුණාව මෛත්‍රිය, දයාව, අනුකම්පාව ආදී උතුම් මානව ධර්මවලට සිතේ ඉඩක් ඉතිරි නොවන ලෙසට සන්තානය දූෂණයට ලක් කරන්නේ දෝස හෙවත් ද්වේෂයයි.

ලෝක යථාර්ථය සගවා තබන්නේ මෝහයයි. එය අඳුරකි. සියලු දේ දැකිය හැක්කේ ආලෝකයෙනි. ලෝකයේ සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ස්වභාවයන් තුනට යටත් ය. එය දකින බුද්ධිමත් සත්වයෝ බැඳීමෙන් තොරව මිඳීමක් සොයා යති. ඒ තත්ත්වය වළකා ලෞකිකත්වය තුළ සත්ව සංහතිය රඳවා ගන්නා ස්වභාවික වූ අන්ධකාරය මෝහයයි. මෙසේ අර්ථ දැක්වූ අකුසල මූලයන් යටපත් කොට අලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලයන් සිතට සම්බන්ධ කරන්නේ දානයයි.

පි‍්‍රය වචනය

අසන්නාගේ සිත සතුටට පත් කරන වචනය පි‍්‍රය වචනයයි. පි‍්‍රය වචන ඇසීමෙන් චිත්ත පී‍්‍රතිය ඇති වෙයි. පි‍්‍රය වචන සඳහා යොදා ගත යුත්තේ නිවැරැදි වචනයයි.

සම්මා වාචා යනු නිවැරැදි වචනයයි. බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, (මුසාවාදා, පිසුනාවාචා, පරුසා වාචා, සම්පප්පලාපා) යනුවෙන් දැක්වෙන්නේ වචනයෙන් සිදුවන අකුසල ක්‍රියාවන් ය. ඉන් අතමිඳී මුවින් වහරන පි‍්‍රයකරු වදන පි‍්‍රයවචන ලෙස හැඳින්වේ. යම් වචනයක් තුළ ආදරය, කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව ආදී මානව, දයාව බැඳුණු ගුණාංග ඇතුළත් වේ නම් එය නොඅනුමානවම පි‍්‍රය වචනයක් වේ. පි‍්‍රය වූ ඇසීමට පි‍්‍රය හෙයින් කනට මිහිරිය, සිත් ඇදගන්නා හෙයින් මනහරය, සිත නිවන බැවින් සිසිල්ය, සිත සංසිඳෙන බැවින් ශාන්තය.

අනුන්ගේ සිත් දිනා ගැනීමටත් සමාජයේ ජනපි‍්‍රය පුද්ගලයෙකු බවට පත් වීමත් පි‍්‍රය වචනය යහපත් වශීකරණයකි. මිනිසා පමණක් නොව තිරිසන් සතුන් පවා පි‍්‍රය වචන පි‍්‍රය කරති. යක්‍ෂයන්, රාක්‍ෂයන් පවා පි‍්‍රය වචන වලට අවනත වූ අවස්ථා දක්නට ලැබේ. යහපත් වූ අවවාදයක් වූවත් අපි‍්‍රය වූ සැර පරුෂ වචනයෙන් ලබාදීම පලක් නොවේ. මිනිසෙකුගේ ශීලාචාරකම ඔහුගේ කතාවෙන් පෙන්නුම් කරයි.

ඒ ඒ පුද්ගලයන්ගේ තත්ත්වය අනුව ගරුසරු සහිතව ඔවුන් ඇමැතීම වංචාවක් හෝ රැවටීමක් නොව කථා කරන්නාගේ හැදියාව ප්‍රකාශ කරන්නකි. කිසිදු භෞතික වැය කිරීමකින් තොරව වචනයෙන් පමණක් කළ හැකි සමාජ සත්කාරයක් ලෙස පි‍්‍රය වචනය සැලකේ.

අර්ථ චරියාව

අනුන්ගේ දියුණුව වෙනුවෙන් තම චරියාවන් පැවැත්වීම අර්ථ චර්යාවයි. යම් පුද්ගලයෙකුට දියුණුවේ මාර්ගය කියාදීමත් ඒ සඳහා කළ හැකි උපකාර සිදු කිරීමත් අර්ථ චර්යාවයි.

කළයුතු දේ හෝ නොකළ යුතු දේ මනා ලෙස පෙන්වා දීම යහපත දකින්නාගේ වගකීමකි. අන්ධයෙකු පාරේ ගමන් කරන්නේ අපහසුවෙනි. ඔහුගේ අත අල්ලාගෙන යා යුතු තැනට යාමට උපකාර කරන අයුරින් කරුණු නොදන්නා තැනැත්තාට කරුණු පැහැදිලි කර දී අරමුණට ළඟාවීමට අතදීම උදාරතර මානව ධර්මයකි.

බෞද්ධ ඉගැන්වීම්වල ත්‍රිවිධ අර්ථ චර්යාවක් ගැන සඳහන් වේ. එනම්,

1.ඥාත්‍යාර්ථ චර්යාව (ඤාතත්ථ චරියා)
2. ලෝකාර්ථ චර්යාව (ලෝකත්ථ චරියා)
3. බුද්ධි චර්යාව (බුද්ධි චරියා)

ඥාත්‍යාර්ථ චර්යාව -

සිය ඥාතීන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම ඥාත්‍යාර්ථ චර්යාවයි. ලොව්තුරා බුදු බව ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් පවා සිය වර්ග පරම්පරාවේ ඥාතීන් උදෙසා දිවි පරදුවට තබා කටයුතු කළ අවස්ථා ඇත. සිය රට, දැය, සමය විපතකට පත් කල්හී ඒ වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කිරීමද ඥාත්‍යර්ථ චර්යාවට අයත් වේ.

ලෝකාර්ථ චර්යාව

ලෝකයට වැඩ කිරීම යන අරුතින් ලෝකාර්ථ චර්යාව අර්ථවත් වේ. තම ඥාතීන්ට වර්ගයාට හෝ ජාතියට පමණක් සීමා නොවී සමස්ත ලෝක සත්ත්වයා වෙත යහපත සැලැසීම මෙයින් අදහස් කරයි. එක් පුද්ගලයෙකුට මුළු ලෝක සත්වයාට යහපත උදාකරදීමක් කළ නොහැකි බවට විවාද නැත. එහෙත් ඔහු වටා ඇති ලෝකයට, ඔහු ඇසුරු කරන සමාජයට යහපතක් සලසාදීම යම් සීමා, වපසරියක් තුළ සිදු කළ හැකි ය.

බුද්ධි චර්යාව

බුද්ධිය හෙවත් ප්‍රඥාව දියුණු කර ගැනීම හා එම දියුණුව උපයෝගී කරගෙන සමාජයට සේවය සැලැසීම බුද්ධි චර්යාවට අයත් වේ. මෙය බෝසත්වරුන් ප්‍රඥා පාරමිතාව ලෙස පූරණය කළහ. සෑම දියුණුවක් සඳහාම සෑම යහපතක් සඳහාම හේතුවන්නේ බුද්ධියයි. මෙලොව දියුණුවත්, පරලොව යහපතත් සලසා ගැනීමට බුද්ධි වර්ධනය අනිවාර්ය වූ සාධකයකි.

මුළු ලෝකය පුරාම ඇත්තේ සත්‍ය යටපත් කොට මුළාව පිණිස හේතු වන මායාවකි. සුන්දරත්වයකි. මායාවේ සුන්දරත්වය අප විඳිය යුතු ය. එහෙත් එම සුන්දරත්වය විනිවිද මතුවන කටුකත්වයේ යථාර්ථය ද හඳුනාගත යුතුව ඇත. මෝහය නම් වූ අඳුර තුළ අප දකින සොඳුරු බවට අභියෝග කළ හැක්කේ ප්‍රඥාලෝකයට පමණි. බුද්ධි චර්යාව නම් වූ අඳුරෙන් ආලෝකයට යන මඟ ගමන් කරන මිනිසා ලෝකයට අර්ථවත් වූ මෙහෙවරක යෙදෙන්නෙකි.

සමානාත්මතාවය

ජාති, කුල, ආගම්, ගෝත්‍ර භේදයකින් තොරව සමස්ත මානව වර්ගයා එකසේ ගෙන ක්‍රියා කළ හැකි වීම සමානාත්මතා ගුණය නම් වේ. තමන් මෙන්ම අනුන් ද එක සේ ගෙන සැලකීම ද සමාන වූ ආත්මතාවයකි. මිනිස් සමාජයේ ජීවත් වන හැම පුද්ගලයෙක්ම සමානකොට සලකා එකම සහෝදර පිරිසක් ලෙස ක්‍රියා කරත් නම් ලෝකය ඉතා යහපත් ස්ථානයක් වනු ඇත. පැරැණි සමාජයේ විවිධ වූ ගෝත්‍රවාද පැවති බවට ඉතිහාසය කියයි. බුද්ධ කාලීන භාරතය විවිධ කුලගෝත්‍ර වලට කැඩී බිඳී තිබිණි. එයින් පීඩා වින්දෝ අපමණ ය. නමුදු බුදුපියාණන් වහන්සේගේ යථාර්ථවාදී සදහම් පණිවිඩය තුළ පැවැති මානව දයාවේ අපරිමිත බලමහිමය මඟින් කුල ගොත් වාද දෙදරා ගියේ ය. උසස් යැයි සම්මත බ්‍රාහ්මණ වංශිකයෝ ද පාලක පන්තිය නියෝජනය කළ ක්‍ෂත්‍රීය වංශිකයෝ ද දාබිඳු හෙළා ධනය ඉපයූ වෛශ්‍ය කුල පුත්‍රයෝ ද සූනීත වැනි ශුද්‍ර වංශිකයෝ ද එකම බුදු සසුනේ බුද්ධ පුත්‍රයෝ වූහ. සාමානාත්මතා ගුණයට දිය හැකි පරම සුපූජිත ආදර්ශය සම්බුදු සසුනමය.

 
මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk