UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුද්ගලයා විරාගය පිණිස යොමු කරවන්නේ ඇයි?

 පුද්ගලයා විරාගය පිණිස යොමු කරවන්නේ ඇයි?

බුදුසමයේ කේන්ද්‍රීය අරමුණ පුද්ගල සන්තානයෙන් රාග දෝස මෝහ යන ප්‍රධාන මානසික දුර්වලතා මුළුමනින්ම ඉවත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම හා අවබෝධය ලබා දීමයි. මෙම මානසික දුර්වලතා හැඳින්වීම පිණිස බුදුසමයෙහි කිලෙස, ආසව, උපක්කිලෙස, අකුශල ආදී වශයෙන් වචන රාශියක් යෙදී තිබේ. ත්‍රිවිධ අකුශල මූල වශයෙන් හැඳින්වෙන මෙම මානසික දුර්වලතා හේතුවෙන් හා ඒවායේ බලපෑමෙන් පුද්ගලයා අකුශල ක්‍රියා හා පාප ක්‍රියා සිදුකරයි. මෙනිසා පුද්ගලයා කායික වාචසික හා මානසික වශයෙන් අපිරිසුදු අසංවර අශීලාචාර අයෙකු බවට පත් වේ. මෙම අකුශල සහගත මානසික දුර්වලතා මැනවින් හඳුනාගෙන ඒවායින් ඉවත්වීම පිණිස ලෝකයට මඟපෙන්වන හෙයින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ‘ස්වාක්ඛාත’ යනුවෙන් හඳුන්වයි. එම දහමට අනුව රාග, දෝස, මෝහ යන අකුශල ධර්ම ඉවත්කිරීම පිණිස පිළිවෙත් පිරීම ‘සුපටිපන්න’ යනුවෙන් අදහස් කෙරේ. එම පිළිවෙත පුරමින් උක්ත අකුශල ධර්මතා මුළුමනින්ම ඉවත් කළ තැනැත්තා ‘සුගත’ හෙවත් මැනවින් ගමන නිමා කළ පුද්ගලයා යනුවෙන් හඳුන්වනු ලැබේ.

බුදුරජාණන් වහන්සේ මෙම ත්‍රිවිධ අකුශල ධර්ම බැහැර කළ යුතුයැයි දේශනා කළේ ඒවායේ ආදීනව මැනවින් දැකීමෙන් අනතුරුවය. මෙම දැක්ම කොතරම් පූර්ණ එකක්දැයි බුදුරජාණන් වහන්සේ විසින් ඒ සඳහා යොදන ‘ප්‍රඥාවෙන් දැක දැක ආශ්‍රව බැහැර කළ යුතුයි. (පඤ්ඤාය දිස්වා දිස්වා ආසාවා පාහාතබ්බා.) යන ප්‍රකාශනයෙන් පැහැදිලි වේ. රාග, දෝස, මෝහ යන මූලික මානසික දුර්වලතා හේතුවෙන් ඇතිවෙන ආදීනව කෙසේද යන්න අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයේ පළමු සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ.

“රාගයෙන් රත් වූයේ, රාගයෙන් ගැවසී ගත්තේ, රාග සිතින් යුක්ත වූයේ, තමාට අහිත පිණිස සිතයි. අන්‍යයන්ට අහිත පිණිස සිතයි. තමන්ට හා අන්‍යයන්ට අහිත පිණිස සිතයි. සිතින් දුකට හා දොම්නසට පත්වෙයි.”

“රාගයෙන් රත් වූයේ, රාගයෙන් ගැවසී ගත්තේ, රාග සිතින් යුක්ත වූයේ, කයින් වචනයෙන් සිතින් දුශ්චරිත කරයි.

“රාගයෙන් රත් වූයේ, රාගයෙන් ගැවසී ගත්තේ, රාග සිතින් යුක්ත වූයේ ආත්මාර්ථය යථා පරිදි නොදකියි. පරාර්ථය යථාපරිදි නොදකියි. ආත්මාර්ථය හා පරාර්ථය යථාපරිදි නොදකියි.”

“රාගය (පුද්ගලයා) අන්ධ බවට පත් කරයි. ඇස් නැත්තෙක් බවට පත් කරයි. අනුවණයෙක් බවට පත් කරයි. ප්‍රඥාව යටපත් කරයි. දුකට පත් කරයි.”

යනුවෙන් රාගයේ ආදීනව පැහැදිලි කෙරේ. මෙම සූත්‍රයේ රාගයේ ආදීනව පිළිවෙළින් පියවර හතරකින් ඉදිරිපත් කෙරේ. පළමු පියවර යටතේ රාගයෙන් යුත් පුද්ගලයාගේ මානසික ස්වභාවය පැහැදිලි කෙරේ. රාගයෙන් යුක්ත පුද්ගලයා තමන්ට මෙන්ම අන්‍යයන්ටද අහිත පිණිස කල්පනා කරමින් සිතින් දුකට හා වේදනාවට පත්වෙයි. දෙවනුව රාග සිතේ පෙළඹවීම හේතුවෙන් තිදොරින් දුශ්චරිත සිදුකරයි. දෙවන පියවර අනුව ඔහු හෝ ඇය විනය විරෝධි සදාචාර විරෝධි නීති විරෝධි චර්යාවන්හි නිරත වේ. ඔහුගේ හෝ ඇයගේ සමාජ විරෝධි හැසිරීම සමාජයේ යහපැවැත්මට හානිකරයි. පළමු පියවර අනුව අභ්‍යන්තර වශයෙන් ඔහුට හෝ ඇයට පමණක් වැඩි බලපෑමක් සිදු වුවද දෙවන පියවරේ දී රාගය පෞද්ගලිකත්වය අභිබවා ගොස් සමාජයට හානිකර ආකාරයෙන් ක්‍රියාත්මක වන අයුරු පැහැදිලි කෙරේ. තුන්වන පියවර අනුව රාගය පුද්ගලයාගේ යථාවබෝධයට බාධා පමුණුවයි. රාගයෙන් රත් වූ පුද්ගලයාට ආත්මාර්ථය හා පරාර්ථය පිළිබඳ අවබෝධයක් නොමැත. අවසානයේ දී රාගයෙන් රත්වීම හේතුවෙන් පුද්ගලයා සම්පූර්ණයෙන්ම අන්ධයෙකු, අනුවණයෙකු හා අඤාණයෙකුගේ තත්ත්වයට පත් වේ. මෙම තත්ත්වයට පත් පුද්ගලයා ක්‍රියා කරන ආකාරය අතිශයින් හානිකර වේ. රාගයෙන් අන්ධ වූ මිනිසා සියලු සදාචාර ධර්ම නොසලකා උන්මත්තකයෙකු සේ හැසිරෙයි. ඉහතින් දැක් වූ සූත්‍රයේ එන විවරණයෙන් රාගයේ ස්වභාවය එහි සංකීර්ණ බව හඳුනාගත හැකිවේ.

රාගය අතිශය පුළුල් අර්ථයකින් සූත්‍ර දේශනාවන්හි ඉදිරිපත් කෙරේ. මෙයින් කාම රාගය අයත් ලිංගික රාගය පංච කාම ලෝකය වශයෙන් ගැනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන බාහිර අරමුණු පමණක් නොව අභ්‍යන්තර කාම විතර්ක ද හේතුවෙන් ඇතිවේ. කාම සිතිවිලි අභ්‍යන්තර හා බාහිර අරමුණු මගින් උත්තේජනය කිරීම හේතුවෙන් ඒවා තිදොරින් ක්‍රියාවට නැංවේ. නව තාක්‍ෂණය හා සන්නිවේදන ක්‍රමවේද ඔස්සේ මෙම කාම විතර්ක නිතර උත්තේජනය කිරීම හේතුවෙන් පෙරටත් වඩා පුද්ගලයා තුළ කාම විතර්ක කාම සංකල්පනා කාම හැඟීම් වර්ධනය වී කැලඹිලි සහගත මානසික තත්ත්වයකට පත් වේ. මෙම අභ්‍යන්තර කැලඹිලි ස්වභාවය දරා ගැනීමට අපහසු පුද්ගලයා එම හැඟීම් මුදාහැරීමේ දී විවිධ සදාචාර විරෝධි සංස්කෘතික විරෝධි කාම අපරාධ සිදුකරයි. තම කාම සිතිවිලි නිදහසේ ක්‍රියාත්මක කිරීමට තිබෙන බාධාවන් ඉවත් කිරීමේ අරගලයක ඔහු නිරත වේ. කාමරාගය මුසු වූ හැඟීම්වල බලපෑම නිසා තම මව, පියා, බිරිඳ, ස්වාමියා උපක්‍රමශීලීව ඝාතනය කිරීමට වුවද කෙනෙකු පෙළඹිය හැකි ය. කාමරාගය හා සම්බන්ධ දේ නොලැබීම හේතුවෙන් තම පෙම්වතා හෝ පෙම්වතිය ඝාතනය කිරීමටත් සියදිවි නසා ගැනීමටත් තරුණ තරුණියන් යොමු වී ඇති අයුරු කාමය හා සම්බන්ධ දෛනික සිදුවීම් විමර්ශනය කිරීමෙන් පැහැදිලි වේ. රාගය හා සම්බන්ධ හැඟීම් බුද්ධිමත්ව කළමනාකරණය කරගැනීම නොහැකි වීමෙන් ඇතැම් තරුණ තරුණියන් අන්ධයන්සේ ක්‍රියා කරන අවස්ථාද දක්නට ලැබේ. මෙම පසුබිම යටතේ මිනිසාගේ අභ්‍යන්තර මානසික දුර්වලතා ලෙස සැලකෙන කාමරාගය මාධ්‍ය මඟින් උත්තේජනය කරමින් විවිධ ප්‍රචාරණයන්හී නිරත වීම පිළිබඳ සීමා වටහා ගැනීම අද්‍යතන ජන මාධ්‍ය වෙත පැවරෙන විශේෂ වගකීමකි. පෙරටත් වඩා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ජන ජීවිතයට නිරන්තරයෙන්ම කරනු ලබන බලපෑම වැඩිවෙමින් පවතින හෙයින් මාධ්‍ය සදාචාරය පිළිබඳ ගැඹූරින් සිතා බැලීමේ කාලය එළඹ තිබේ.

විශේෂයෙන්ම පරිණත නොවූ අත්දැකීම් රහිත පාසල් දරුවන් විවිධ කාමාතුරයන්ගේ ගොදුරු බවට පත්වන්නේ ද ගැටවර වියෙහි ඇතිවෙන කාමරාගය හා සම්බන්ධ හැඟීම්වල යථා ස්වභාවය හා එහි ආදීනව මැනවින් හඳුනා ගැනීමට නොහැකි වීම හේතුවෙනි. මෙම දරුවන් දැනුවත් කිරීම වැඩිහිටි පුරවැසියන්ට පැවරෙන විශේෂ වගකීමක් වේ. මේ සියලු අපරාධ සිදුවන මූලික හේතුව අභ්‍යන්තර සිත තුළ වර්ධනය වන රාග චේතනාය. මෙම ස්වාභාවික අකුශල චිත්ත වේග හඳුනා ගැනීම හා ඒවා බුද්ධිමත්ව බැහැර කිරීමට අමතරව නිසි පරිදි කළමනාකරණය කරගැනීමට අවශ්‍ය පුහුණුව හා මඟපෙන්වීම සමාජයේ සෑම කෙනෙකුටම ලැබිය යුතු වේ. එයට හේතුව රාගය පිළිබඳ සිතිවිලි සෑම පුද්ගලයෙකුටම පොදුවූ වූවකි. පුද්ගලයාගේ ආධ්‍යාත්මික ශික්‍ෂණයේ ප්‍රමාණය මත එහි අඩු වැඩි බවක් දක්නට ලැබුණත් රාග සිතිවිලිවල බලපෑම් අර්හත්වය දක්වාම දක්නට ලැබේ. රාග, දෝස, මෝහ යන සිතිවිලි මනසේ ක්‍රියාත්මකව පවත්නා කාලය ගණනය කිරීමේ දී රාගය සෙමින් සිතින් ඉවත්වන්නක් බවත් දිගු කාලයක් මනසේ රැඳෙමින් ක්‍රියාත්මක වන්නක් බවත් (දන්ධවිරාගි) අංගුත්තර තික නිපාත මහාවග්ග අටවන සූත්‍රයේ ඇතුළත් වේ. මේ අනුව රාගයේ බලපෑම දිගුකාලීන බව පැහැදිලි වේ.

රාගය ඇතිවන්නේ හෝ එය වර්ධනය වන්නේ සුබ නිමිති දෙස නුවණින් තොරව මෙනෙහි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. (අයෝනිසෝමනසිකාර) සුබ හෝ අසුබ නිමිති පුද්ගලායට බලපාන්නේ ඒවා මෙනෙහි කරන ආකාරය අනුවය. මේ අනුව සුබ නිමිති දෙස බලා ඒවායේ පවතින ආශ්වාස හා ආදීනව නුවණින් දකින (යොනිසො මනසිකාර) තැනැත්තා රාගය නිසා සිදුවීමට තිබෙන අකුශල චර්යාවන්ගෙන් වැළකෙයි. මෙම විග්‍රහය අනුව ලොව සුබ නිමිති නොව පුද්ගලයා ඒ දෙස බලන ආකාරය හා ඒවා පිළිගන්නා ආකාරය මත එහි බලපෑම තීරණය වේ. මේ පදනම යටතේ රාගය නිසා ඇතිවෙන දුශ්චරිත වැළක්වීම පිණිස අසුබ භාවනාව නිර්දේශ කොට තිබේ. එහෙත් එය අප හිතන තරම් පහසු කාර්යක් නොවේ. එය දීර්ඝකාලීන පුහුණුවක් යටතේ සිදුවන්නකි. බුදුරජාණන් වහන්සේ රාගයේ ආදීනව මැනවින් දකිමින් පුද්ගලයා විරාගය පිණිස යොමුකරවන්නේ රාගය ගින්නක් මෙන් පුද්ගලයා අභ්‍යන්තර හා බාහිර වශයෙන් පීඩාවට පත්කරන හෙයිනි. (නත්ථි රාග සමො අග්ගි)

 
මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk