UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වාරණ රජ මහා විහාරය

ස්වභාවධර්මයක අරුමය චිත්තාකර්ෂණයට පත් කළ පර්වත කූටාශ්‍රය පුදබිමක් බවට පත් වන්නේ නම් එය ස්වභාව සෞන්දර්යට ආභරණ පැළඳවීමක් වැනිය.

එවන් ආකර්ෂණීය තැන් ඒ සඳහා තෝරා ගැනෙන්නේද මෝහනයට පත් සිතට සැනසීම උදාකිරීම වඩාත් පහසුවන නිසා යැයි සිතෙයි.

ගත සිතට වාරණ පැනවීමට නොව නිවාරණය උදෙසාම සැකැසුණු පුණ්‍ය භූමියක් වන ‘වාරණ’ වෙත ඔබ සමඟ මම යන මෙම වන්දනා චාරිකාව ජීවිත මතක පොතට නොමැකෙන පරිච්ඡෙදයක් එකතු කරලනු නියතය.

ඒ තරමට සොඳුරු, සැදැහැති, සැනසිලිදායක නොගිලිහෙන මතකය සිතේ සිතුවම් ඇඳ තැබීමට නම් මෙම ඉඟි ඔස්සේ ඔබ එහි යා යුතු වෙයි.

කොළඹ නුවර මාර්ගයේ කි.මී. 37 ක පමණ දුරක් ඇති තිහාරිය හන්දියෙන් හැරී තවත් කිලෝ මීටර් 3 ක පමණ දුරක් ගිය විට දකුණු පසින් දිස්වන කඳු මෙවුලක ඇති මෙම පුදබිම වෙත ඔබට ළගාවිය හැකි වෙයි.

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මංගලතිරිය ග්‍රාමයේ පිහිටා ඇති වාරණ රජමහා විහාරස්ථානය පෙරදී හඳුන්වා දී ඇත්තේ මංගල මහා විහාරය නමිනි. මංගලතිරිය යනු විහාරස්ථානයට මංගල තූර්ය වාදනයට පැමිණි ශිල්පීන් පදිංචි වූ ග්‍රාමය බව මතයක් පවතියි.

අප නිතර වාරණ යැයි ව්‍යවහාර කළද එවැනි නමක් ගමක නොමැත. වාරණ යනු හස්තියාට නමකි.මේ පර්වතය හස්තියකු සේ පෙනෙන බැවින් වාරණ වශයෙන් පට බැඳුණා විය හැකිය. වා නැමැති වෘක්‍ෂයන්ගෙන් බහුල වූ අරණක් වූ නිසා වා අරණ වාරණ වූවාද විය හැකිය. බුද්ධාගම ලක්දිවට හඳුන්වා දුන් මුල් වකවානුව නොහොත් ක්‍රි.පූර්ව තුන්වන ශත වර්ෂයේදි මෙතැන ආරණ්‍යයක් ගොඩ නැගෙන්නට ඇතැයි බහුතර වියතුන්ගේ විශ්වාසයයි.

පිහිටි භූමියෙන් නැඟී සිටිනා ගල් පර්වතයක් ආශ්‍රයේ නල හතරකට පමණවෙන්ව ඒ මත ගොඩනැගෙන විහාරස්ථානය ස්වභාව ධර්මය තැනු මෝහනීය ආකෘතික රටාව නිසා විචිත්‍ර විවිධත්වයකින් පරිපූර්ණ වී තිබෙයි. ඒකාකාරිත්වයෙන් මිදෙන සිත ආනන්දනීය ඉසව් වෙත රැගෙන යාමට මේ හැඩ තල පොහොසත් වී ඇත. ඒ චමත්කාරය සුන්දරත්වය වින්දනය කරන සිතට අවසාන ඵලය ලෙස සැදැහැති බව රැඳි බෞද්ධාගමික ආරාමයක සුවඳ එකතු කරන්නේ නම් මේ කඳු මෙවුල මත සැරිසැරීම නිශ්ඵල ව්‍යායාමයක් නොවනු ඇත. සොඳුරු ඉසව් වෙත දිවෙන ගමන වන්දනා චාරිකාවක් බවට පරිවර්තනය වීම එයට හේතුවය.

අප මුලින්ම පිවිසෙන විට නැගී සිටිනා උස් බිමෙහි ආරම්භක තලය අක්කරයකට වැඩි ප්‍රදේශයක් තුළ පැතිරී පවතියි. ඉඩම් ගල නමින් හැඳින්වෙන මෙය අඩි සියයකට වැඩිය.

තුන් පැත්තකින් ඇත්තේ ලෙන් ය. නැගෙනහිර දෙසට තවත් ගල්තලාවකි. එය නමින් දිග්ගල ලෙස හඳුන්වයි. මෙම දිග්ගලෙහි කෙටු සෙල් ලිපිය මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ Inscription of Ceylon නම් ඉතා වටිනා සෙල්ලිපි සංග්‍රහයට ඇතුළත් වීමට තරම් විශේෂිත වීමට වාරණ පිළිබඳ ඓතිහාසිකත්වයට පිදෙන සහතිකයක් වැනිය. ‘බතමමශ බතිත බත තිශතදනෙ’ දැනුදු නොමැකී පවතින පැරණි බ්‍රාහ්මීය අක්‍ෂරයෙන් ගලේකෙටූු අකුරු නිසා ගලේ කෙටූ අකුරුමෙන් නොමැකෙන සුළු වූ වාරණ ඓතිහාසික ආරණ්‍ය පිළිබඳ ඉතිහාස මඟට පිවිසෙන ප්‍රවේශය විවර කර දෙනු ලබයි.

මජ්ජිම ස්වාමීන් වහන්සේගේ සහෝදරයා වූ තිස්ස දත්ත ස්වාමීන් වහන්සේට දෙනලද...යන්න එහි සඳහනයි. තිස්ස දත්ත තෙරුන් වහන්සේ නමින් හැඳින්වෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවර අරිට්ඨ මහ රහතන් වහන්සේගේ සද්ධී විහාරිකයන් වහන්සේ බව සමන්තපාසාදිකා නම් අටුවා ග්‍රන්ථයකට අනුව සනාථ කර ගත හැකිබව බොහෝ ඉතිහාසඥයන්ගේ අදහසවේ.

මෙය ලියැවී ඇත්තේ ක්‍රි.පූර්ව තුන් වන ශත වර්ෂයේ මුල් යුගයේ බව පිළිගැනෙන අතර දෙවන පෑතිස් රජතුමා යොදුනක් යොදුනක් ගණනේ විහාර සෑදූ බව සදහන් කරන මහාවංශයට අනුව මෙම ඓතිහාසික විහාරස්ථානයද දෙවන පෑතිස් රජතුමාගේ අනුග්‍රහයෙන් ගොඩ නැගුණු බව සැකයේ සාධාරණ වාසිය අනුව පිළිගැනීමට මැලිනොවිය යුතුවෙයි.

මෙහි ප්‍රාරම්භය ආරණ්‍යයකි. ඉදිකිරීම් තාක්‍ෂණය නොදියණු එවන් සමයක ආවාස ගෘහ ලෙස භාවිතයට ගැනුනේ ස්වභාව ධර්මයේ දායාදයන් වූ ලෙන්කුටිය.

ක්‍රි.පූර්ණ තෙවන සියවස යනු මිහිඳු මහ රහතන් වහන්සේගේ සම්ප්‍රාප්තියත් සමග මව්බිම ආලෝකවත් කළ මහ රහතන් වහන්සේගෙන් සුදිලුණු පුණ්‍යවන්ත යුගයකි.

එසේ නම් නික්ලේෂී භික්‍ෂූන් විසූ ආරණ්‍ය සේනාසනයක් යනු රහතන් වහන්සේගේ පිවිතුරු සුගන්ධයෙන් සුපෝෂිත වු පින්සර භූමියක්ම විය යුතුය. ඒ අනුව වාරණ සකල ක්ලේෂයන් නිවාරණය කිරීමට පැමිණියාවූද නො පැමිණියාවු ද මතුවට පැමිණෙන්නා වූද භීක්‍ෂූන් වහන්සේට ඉඩ හසර සැලසු පුණ්‍යවන්ත භූමියක් වශයෙන් පැවැති බව හඳුනා ගැනීමට පුළුවන. වාරණ වංශකතාවේ දෙවන පෑතිස් යුගය නිමාවිය.

දෙවන යුගය එළඹෙන්නේ වළගම්බා රජතුමාගේ සම්බන්ධතාවයත් සමඟය (ක්‍රි.පූ. 103-89) ලෙන් ආශි‍්‍රත ස්වභාවික පිහිටීම ආරක්‍ෂාවට කදිම පිළිතුරක් සැපැයූ නිසා එදවස ජන ශූන්‍ය වු මේ බිම මායා රටට පලා ආ රජතුමාට සුරක්‍ෂිත තැනක් විය. වසර 13 ක් තිස්සේ සැඟවෙමින් ආක්‍රමණික සතුරා පලවා හැරීමට පෙරුම් පුරමින් පෙර සූදානමින් පසුවූ වළගම්බා රජතුමාට ආරක්‍ෂිත යුද කඳවුරක් වූ වාරණ එතුමා රජවීමෙන් පසුව නොසලකා හැරියේ නැත. එයට කෘතගුණ පිදීය. වළගම්බා රජතුමා සැඟව සිටි සැම ස්ථානයකටම එතුමා තම කෙලෙහිගුණ සැලැකුවේ තම බල ව්‍යාප්තිය සඳහා තවදුරටත් ඒවා තුළ යුද්ධ කඳවුරු හෝ ආයුධ ගබඩාවක් හෝ ගොඩනැගීමෙන් නොව වියවුල් යුද මානසිකත්වය එක හෙළා පිළිකුල් කරන, සාමය, හික්මීම, අධ්‍යාත්මයට අපමණ වු සුවය සැනසීම උදෙසා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමය. මේ ගුණයන්ට පිළිතුරු සපයන නිවැරදි වූ උත්තරය ඇත්තේ ආගමික සිද්ධස්ථානයකය. ඒ නිසා වළගම්බා රජතුමා වාරණයටද කිසිදු වාරණයකින් තොරව සාධාරණත්වය ඉටු කළේය. පහත මළුවේ සිට පිය ගැට සියයක් නැග ගිය පසු හමුවන කඳු මේඛලාවේ මැද මළුවේ ඇති ගල්ලෙන කටාරම් කොටා කදිමට සකසා බුදු මැදුරක් බවට පත් කරවන්නේ එතුමාගේ අනුග්‍රහයෙනි.

මැදුර තුළ ශෛලමය ප්‍රතිමා වහන්සේ නමක් නිම කරවීමෙන් මෙසේ මේ ලෙන් කුටිය මැදමළුවේ විහාර මන්දිරය බවට ද වාරණ ප්‍රධාන බුද්ධ මන්දිරය නොහොත් මහා විහාර මන්දිරය බවට ප්‍රවර්ධනය වී තිබෙයි. මෙය අද කොටස් දෙකකින් සමන්විතය. පළමු කොටසෙහි වු දහ අට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටියි. දෙපස විෂ්ණු, සමන් නාථදේව රූප ආනන්ද මහ රහතන් වහන්සේගේ රුව නිර්මාණය කර ඇත.

දෙවන කොටසෙහි සූවසි විවරණ සත්සති ප්‍රතිමා විෂ්ණු දේවරුව දිස්වේ. වියන් සිතුවම් පැරැණි ලක්‍ෂණ පිළිබිඹු කරයි. බුද්ධ චරිතය, ලාංකික ආගමික ඉතිහාස ගමන් මඟ සිතුවම් මගින් අපගේ දැනුම, මතකය අවදි කරවයි. විහාර මන්දිරයට දකුණෙන් ලෙන තුළම ඉදිකළ කුඩා ස්තූ®පයකි. මෙම සැකැස්ම ආකර්ෂණීය දර්ශනයකි.

එතැනින් නික්මි දොළොස්මහේ පහන අසලින් ඉහැත්තෑවට විහිදී යන පිය ගැට 125 ක් නැග ගිය තැන මළුවට පිවිසිය හැකිවේ.

අසිරිමත් මහ ගලයට නැගෙනහිරට වූ ලෙන්කුටිය උඩ මළුවේ විහාරය වෙයි. එහි සිද්ධාර්ථ සන්සිද්ධී විදහාලන සිතුවම් පෙළකි.

ඇතුළත ලෙන ඉදිරියෙන් දහ අට රියන් වූ සැතපී සැනසෙන බුද්ධ ප්‍රතිමා වහන්සේය. දකුණින් ඔත් පිළම වහන්සේ තෙනමකි. උතුරට මල්තොරණින් විසිතුරුවු තවත් ඔත් පිළිම වහන්සේ මෙන්ම නැඟී සිටින පිළිම වහන්සේයි.වළගම්බා රජතුමාගෙන් පසුවද වාරණට රාජ්‍ය අනුග්‍රහය නොනවතින්නේ එහි වූ සුවිශේෂීත්වය සහ එය ලක්දිව පුරා පෑ කීර්ති කදම්භය නිසා විය හැකිය. පොළොන්නරුවේ රජ පැමිණි කීර්ති ශ්‍රී නිශ්ශංක රාජ්‍ය අනුග්‍රහයෙන් විහාරය මන්දිරය විශාල කරවා දහ අටරියන් මහ පිළිම වහන්සේ මෙන්ම සිතුවම්ද කරවූ බව කියැවෙයි.

දඹදෙණියේ රජ පැමිණි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා ගේ අධීක්‍ෂණයෙන් තවත් නවකම්ද කළ බව සඳහන් වෙයි.

කෝට්ටේ රාජ්‍ය සමයේ සවැනි පරාක්‍රමබාහු රජතුමා මෙහි පුනරුදයට මහත්සේ වෙහෙසී ඇත. ඒ බව සනාථ කිරීමට අල්පිටිගේ පාරම්පරික තඹ සන්නස සාක්‍ෂි දරයි. ඒ පුනරුදය නැවත අඳුරු වූයේ සීතාවක රාජ්‍ය සමයේදීය. සීතාවක රාජසිංහ සමය ආගමික පසුබිමට ව්‍යසන ඇති කළේය. මෙය වාරණටද බලපෑම් ඇති කළ නිසා එහි සිටි භික්‍ෂූන් වහන්සේ සත් කෝරළයට පලා ගියහ. පසුව මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කෙත්වතු සමඟ වටිනා පුද පූජා පැවැත්වු බවත් පිළිගත හැක සාක්‍ෂි පවතියි.

අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණිය ,කෝට්ටේ, මහනුවර ආදි වූ සියලුම යුග නියෝජනයක සන්ධිස්ථානයක් වූ වාරණ රජ මහා විහාරයේ අද අපට දකින්නට ලැබෙන්නේ විශේෂයෙන් මහනුවර යුගයේ කලා සම්ප්‍රදායයේ ලක්‍ෂණයන්ය.

එහෙත් මේ යුග නියෝජනය විමර්ශනය කරන්නන්ට මේ ගල්ලෙන් තුළ අවට පරිසරය මධ්‍යයේ දොර කවුළු, වාහල්කඩ තවමත් විවරව පවතී.

මෙසේ ක්‍රි.පූර්ව යුගයේ සිට අද දක්වා වූ යුග සුබ නිමිති පහසු අපහසුතා මධ්‍යයේ ඓතිහාසික වාරණ ඉතිහාස ගමන් මඟ දිගේ අපව ඈතටත් මෑතටත් ගමන් කරවයි.

ගිරි ඉහ මතදී පවනැල්ල සිඹිමින් සැලෙනා බෝ පත් සිළිසිලිය වත්මන් සෑ රදුන්ගේ කොත්කැරැල්ලේ හැපී රැගෙන එන සුවය වින්දනය අතික්‍රමණය කළ අධ්‍යාත්මික සුවයකට අවැසි පසුබිම සකසා දෙන සෙයකි.

වාරණ දී දුක් ගැහැට පිරිපත නිවාරණය වන සෙයක් දැනෙන්නේ මේ ස්වභාව සෞන්දර්යය දායාද කළ අපූරු නිර්මාණයට සද්ධා සම්ප්‍රයුක්ත පසුබිමක් නිර්මාණය කර දී ඇති නිසාය.

 
මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk