ජීවිත කඩඉම ජයගත් අම්පාරේ සුධම්මිකා සිල් මෑණියෝ
නිලූෂා නිරංජලා
විභාග ශාලාවේ අසුන්ගෙන සිටින සිසු සිසුවියන් සියලු දෙනාගේම උනන්දුව
රැඳී ඇත්තේ තමන් අත වන ප්‍රශ්න පත්‍ර කෙරෙහිය. පූර්ණ අවධානය ඒ වෙතම
රඳවා පිළිතුරු ලියමින් සිටින ඔවුන්ගෙන් දිස්වන්නේ තරමක කලබලකාරි බවකි.
මෙවර සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රය මඳක් අසීරු හැඩයි.
මේ අතර එක් දැරියක් කලින්ම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා අවසන් කර ඇත.
ඉතිරි කාල වෙලාව තුළ දැන් ඈ ලියමින් සිටින්නේ ලිපියකි. කෙටියෙන්ම
කියතොත් ‘බුදුසරණ’ පුවත්පතේ පළ වූ දැන්වීමකට ඈ පිළිතුරු ලිපියක්
ලියන්නීය. පැවිදි වීමට කැමැති දැරියනට ඒ සඳහා ඉල්ලුම් කරන ලෙස වූ
දැන්වීමකට ඈ මෙලෙස උත්තර ලියයි. විභාගය නිමවී ආපසු නිවෙසට යන අතරතුරදී
ලිපිය තැපැල් කළ යුතුය.
‘පාසල් යන කාලේ පටන්ම මගේ හිතේ මහණවෙන්න ආශාවක් තිබුණාම විභාගෙ
වෙලාවෙදි ලිපියක් ලියන්න මම පෙළඹුණේ ඒ ආශාව නිසාමය. ඒත් ගෙදරින් නම් මට
පැවිදි වෙන්න කැමැත්තක් තිබුණේ නැහැ.මගෙ අම්මා පී.ජී. ඩිංගිරි මැණිකේ,
තාත්තා ජයසිංහ සෙනෙවිරත්න, ඒදෙන්නම මම මහණ වෙනවට කැමැත්තක් පෙන්නුවෙ
නැහැ. මම ඉපදුණේ 1964 අගෝස්තු 9 වැනිදා.අපේ පවුලෙ සහෝදරයො හතර දෙනයි.
සහෝදරියො හතර දෙනයි. මම පස්වැන්නා ගෙදරට නොදන්වා මේ වගේ ලිපියක් තැපැල්
කරන්න සිද්ධ වුණේ වැඩිහිටියන්ගෙ අවසරය පැවිදි වෙන්න නොලැබෙන බව
කල්තියාම දන්න නිසයි” අම්පාරේ සුධම්මිකා සිල් මෑණියන් කටහඬ අවදි කළේ
එසේය. කොළොන්නාව සාලමුල්ල ගමගේවත්ත සුන්නන්දාරාමයේ අධිපතිනිය ඇයයි. සෙසු
සිල් මෑණිවරුන් සහ දායක දායකාවන්ගේ සුහදශීලි සහයෝගය මත අතිමහත් ශාසනික,
සමාජීය වැඩ කොටසක් ඉටුකරන එතුමියට ප්‍රදේශයේ ස්වාමින් වහන්සේගේ කාරුණික
ආශිර්වාදයද නොඅඩුව ලැබේ.
‘මහණවෙන්නට තිබුණ වුවමනාව දන්වලා ලිපියක් ලිව්වේ කොත්මලේ ධීරා සුධර්මා
සිල්මැණියන්ටයි. සිල්මෑණියන් මට පිළිතුරු ලිපි හතරක්ම එවා තිබුණත්, මගේ
අතට ලැබුණෙ හතරවැන්නයි. අනෙක් ලිපි තුනක්ම වැඩිහිටියන් මට දුන්නේ
නැහැ. අන්තිමට හතරවැනි ලිපිය මටම ලැබුණා. ගෙදරින් අකමැත්තෙන් වුණත්
කොහොමින් හෝ ආශිර්වාදය ලබාගෙන කෝට්ටේ මාදිවෙල සංඝමිත්තාරාමයේ කොත්මලේ
ධීරා සුධර්මා ගුරු මෑණියන් යටතේ පැවිදි වෙන්න මම තීරණය කළා. ඒ වන විට
මට වයස 17 යි. අවුරුදු දෙකක් විතර, පැවිදි ජීවිතයට අවශ්‍ය පිළිවෙත්
පිරුවා. 1984 මැයි 19 වැනිදා දසසිල් වුණා. ඒ වයසෙදි පැවිදිවීමට ලැබීම
ගැන මට හුඟක් සතුටුයි. ආරාමයේ වැඩ කටයුතු කරන අතරතුර මම උසස්පෙළ
විභාගයටත් පිළිතුරු ලිවුවා. සුධම්මිකා සිල් මෑණියන් වහන්සේ නුගේගොඩ
සුභද්‍රාරාම පිරිවෙනෙහි වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇත. බාහිර උපාධිය සඳහා
බෞද්ධ සංස්කෘතිය පාලි සහ සිංහල විෂයන් ඉගෙනගත් අතර ප්‍රාචීන ප්‍රාරම්භ
විභාගය සඳහා සූදානම් වූයේ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන ඇසුරෙහිය.
කොළොන්නාවත් ඒ අවටත් ගම්වැසියන් අතර නොමද ගෞරවයට පාත්‍රව සිටින එතුමිය
ඒ ප්‍රදේශයට පැමිණියේ 1987 දීය. ගම්වැසියන් විසින් පූජාකරන්නට යෙදුණු
ඉඩමක අංග සම්පූර්ණ ආරාමයක් ගොඩනංවා ප්‍රදේශයට සේවය කිරීමේ වගකීම
එතුමියගේ දෑත් මත රැඳිණි. සහායට සිටියේ රඹුක්කන දීපා අමරනන්දා මෑණියන්
වහන්සේය. ආරාමය ගොඩනගද්දී ඉඳිකිරීම් සඳහාද තමන් දෙපළ අත්උදව් දෙමින්
උපකාර කළ හැටි සුධම්මිකා මෑණියන් සිහිපත් කරන්නේ මහත් සතුටිනි.
සිමෙන්ති බදාම පවා අනාදෙමින් සිය ශ්‍රමය ඊට කැප කළ හැටි ගැන එතුමිය
මතකය අවදි කළාය.
‘දායක පිරිස් සමඟ මේ ආරාමය ගොඩනගන්න අපි හුඟක් මහන්සි වුණා. ඒක අපේ
වගකීමක් කියායි සිතන්නේ. මේ ප්‍රදේශයේ අය අපෙන් බලාපොරෙත්තු වෙන්නේ ඒ
අයගේ ජීවිතවලට, සිල් මෑණිවරුන් වශයෙන් ලබාදෙන නිවැරැදි මඟපෙන්වීමයි “
මේ වන විට සුනන්දාරාමයේ මෑණියන් වහන්සේ හත්නමක් වැඩ වෙසෙති. ඉන් තුන්
නමක් එතුමිය හා රඹුක්කන දීපා අමරනන්දා මෑණියන් වහන්සේ විසින් පැවිදි
කරන්නට යෙදුණු අයයි.මේ ශිෂ්‍ය මෑණියන් වහන්සේ මනාකොට අධ්‍යාපනය හදාරා
පිළිවෙත් පුරමින් සසුනට වැඩ සලසනු ඇතැයි සුධම්මිකා මෑණියන් වහන්සේ
උදක්ම අපේක්‍ෂා කරති. ඊට මඟ පෙන්වීමද නිසි ලෙස ලබාදෙති.
අටවිසි බුද්ධ පූජා, පින්කම්, අසූහාර දහසේ පහන් පූජා පින්කම් ආදි පුණ්‍ය
කටයුතු සිදු කිරීමට එතුමිය මහත් සමත්කම් දක්වන්නීය. පොහෝදා සිල් සමාදන්
වන උවසු උවැසියන්ට බණ දහම් කියාදෙමින් භාවනා සඳහාද මඟපෙන්වති. තම
අධ්‍යාත්මික පෝෂණය කෙරෙහිද විශේෂයෙන් අවධානය යොමුකරන එතුමිය සැබැවින්ම
මිත්‍රශීලි බවින් කටයුතු කිරීමට දක්ෂතා දක්වන්නීය.
තමන් විසින් ඉටු කරනු ලබන සමාජ සේවා වැඩකටයුතු ගැන බොහෝ කරුණු පැවසීමට
සුධම්මිකා සිල් මෑණියන් වහන්සේ එතරම් උනන්දු වන්නේ නැත. එහෙත් අපට
දැනගන්නට ලැබුණු ආකාරයට, දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන සඳහා එතුමිය
මහත්සේ උපකාරවත් වී තිබේ. සිය දායක පිරිසගේ සහයෝගය ලබාගෙන, පහසුකම් අඩු
විහාරසථානවලට බුදුකුටි තනාදීම, ත්‍රිපිටක පොත් වහනසේ පූජා කිරීම, සහ
ජලපහසුකම් සපයාදීම ආදි පුණ්‍ය ක්‍රියා එතුමිය අතින් ඉටුවෙයි. |