UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශත වර්ෂයකට පෙර වේලාපුර – කළුතර ආගන්තුක ආවාසය ලෙස හැඳින් වූ දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්ම විජය මහා පිරිවෙන

ශත වර්ෂයකට පෙර වේලාපුර – කළුතර ආගන්තුක ආවාසය ලෙස හැඳින් වූ දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්ම විජය මහා පිරිවෙන

මහනුවර යුගයේ දී උඩරට, පහතරට සම්බන්ධ කළ මුහුදුබඩ මාර්ගයේ ගමන් කළ සාමණේරවරුන්ගේ ද, සිල්වතුන්ගේ ද විශ්‍රාම ස්ථාන නවාතැන්පලක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබූ වේලාපුර කළුතර ආගන්තුක ආවාසය යැයි එදා මහජනයා ව්‍යවහාර කළ පූජනීයස්ථානය වත්මන් කළුතර ප්‍රදේශවාසී බොදු ජනතාවගේ වන්දනාමානයට බඳුන් වන ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ දී මහණ උපසම්පදාව ලැබීම පිණිස පහතරට සිට උඩරටට ආ ගිය සාමණේරයනටද සිල්වතුනටද ගමන් විඩා නිවාගන්නට අතරමඟ තිබූ වඩාත්ම ආරක්‍ෂිත කදිම තාවකාලික වාසස්ථානය වූ කළුතර ආගන්තුක ආවාසය පසුව නිත්‍ය ආවාසික භික්‍ෂුන්වහන්සේලාගෙන් යුත් සංඝාරාමයක් වූ පසුව වේලාපුර කළුතර පූර්වාරාමය ලෙස ව්‍යවහාර විය. කළුතර කන්දේ පන්සල, වේලාපුර පන්සල යන අපර නාමයන්ද එකල පූර්වාරාමයටම ව්‍යවහාර කෙරුණි.

ධර්මශාලාව, සංඝාවාසය,පුස්තකාලය, ධාතු මන්දිරය සහිත ගොඩනැගිල්ලට මංගල ශිළා ප්‍රතිෂ්ඨාපනය කරමින්

ඉන් පසුව වේලාපුර කළුතර පූර්වාරාම ශාස්ත්‍රශාලාව නමින්ද, වේලාපුර කළුතර පූර්වාරාම පිරිවෙන නමින්ද වර්ෂ 1907 පටන් කළුතර ශ්‍රී පූර්වාරාම පිරිවෙන නමින්ද වර්ෂ 1907 පටන් කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන නමින්ද ව්‍යවහාර විය. එදා මෙදා තුර ශතවර්ෂයකට අධික කාලයක් ධර්මවිජය පිරිවෙන කළුතර නගරය කේන්ද්‍ර කොට ගෙන සිදු කරමින් පවත්නා ආගමික, අධ්‍යාපනික, ශාසනික හා සාමාජික සේවාව අති විශාලය. කලක් කළුතර අලි පෙරහර නමින් සිරිලක පුරා ප්‍රසිද්ධියට පත් වූ අලි ඇතුන්ගෙන් පමණක් නොව විවිධ දේශීය සංස්කෘතිකාංගයන්ගෙන් පිරිපුන් වූ මහ පෙරහර කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන මඟින් වසර ගණනාවක් මෙහෙයවනු ලැබීය. කුඩා ලේල්වල ධම්මානන්ද මාහිමි, මද්දේගම සුමංගල මා හිමි, නවුත්තුඩුවේ සිද්ධාර්ථ මාහිමි, අංගාගොඩ මේධංකර මා හිමි, ඕමන්තේ සුමනතිස්ස මාහිමි, මුල්ලේරියාවේ ගුණරතන මාහිමි යන තෙරවරුන් ධර්මවිජය පිරිවෙන අඛණ්ඩව පවත්වාගෙන ආ අතර, ඉක්බිති පරිවේණාධිපති ධූරයට පත් වූයේ ආඳාවල ශ්‍රී සාරානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. ස්‍යාමරාජ ත්‍යාගලාභී පඬිරුවනක් වූ උන්වහන්සේ පූර්වාරාම ධර්ම විජය පිරිවෙන තුළින් බොහෝ පැවිදි ශිෂ්‍ය සමූහයකට ධර්ම ශාස්ත්‍ර උගන්වමින් සුවිශාල මෙහෙවරක් ඉටු කළහ. කළුතර බෞද්ධ පාඨශාලාව නමින් ඉරිදා පාසලක්ද මෙම ස්ථානයේ 1907 වසරේ දී විවෘත කර තිබුණි. විවිධ සමිති සමාගම් ඇතිකරමින් කළුතර පුරවරය තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමටත් පූර්වාරාම ධර්මවිජය පිරිවෙනේ මාර්ගෝපදේශකත්වය හිමි වී ඇත.

කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරනුයේ වත්මන් විහාරාධිපති දෙදියවල දෙවසුමන නාහිමිපාණෝ ය. ධර්මශාලාව, සංඝාවාසය, පුස්තකාලය සහිත සිවුමහල් ධාතු මන්දිර ගොඩනැඟිල්ල ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනේ ප්‍රෞඪත්වය ඉහළටම ඔසවා ඇත. පැරණි රජවරුන් විසින් නිර්මාණය කළ ධර්මශාලාවක් සේ රත්කඩ, නයිපෙන, හස්තිලතා ලියවැල් ආදී විවිධ කැටයම් වලින් යුක්ත ධර්මශාලාව සැබැවින්ම විශ්මිත නිර්මාණයකි.

අද වන විට ශිෂ්‍ය හිමිවරු 60 නමක් පමණ කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනේ භික්‍ෂු අධ්‍ය්‍යාපනය ලබති. කළුතර පමණක් නොව වෙනත් ප්‍රදේශවල දිවිගෙවන ප්‍රභූ දායක දායිකාවන් රාශියක් පිරිවෙනේ අභිවෘද්ධියට නිර්ලෝභී වූ දායකත්වය දක්වති.

පෞරාණික පිරිවෙනක් වන දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන කළුතර පුරවරයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාදීපයටම ඉමහත් අභිමානයක් වේ. කළුතර නගරය සියලුම ආගමික කාර්යයන්හිදී පෙරමුණ හිමිව පවත්නා මෙම ස්ථානය මනහර කඳුගැටයක පිහිටි රමණීය පින්බිමක් වේ. එහි වසර දෙසීයකට වඩා පැරණි පිරිවෙන්ශාලාව සංරක්‍ෂණය කොට ඊට සමීපයේ නව දෙමහල් ධර්ම ශාලාවක් ද ඉදිකොට ඇති අතර, එම ධර්මශාලාව දෙදියවල දෙවසුමන නායක හිමියන් නමින් නම් කොට විවෘත කිරීම පසුගියදා උත්සවාකාරයෙන් සිදු විය.

 
මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]