UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 31 යසදත්ත මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 31

යසදත්ත මහරහතන් වහන්සේ

බුදුගුණ වැයීමෙන් ඔහු රැස්කළ ඒ පින සසර ගමනේ බොහෝ සැප විඳීමට හේතු වුණා. නමුත් යළිත් ඔහුට උතුම් බුදු සසුනක් මුණ ගැසීමට කල්ප ලක්‍ෂයක අතිදීර්ඝ කාලයක් පුරා සසරේ පැමිණීමට සිදුවුණා. ඒ අපගේ ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ යුගය යි. හෙතෙමේ එකල මල්ල රට, මල්ල රජ පවුලක ඉපදී යසදත්ත කුමරු නමින් ප්‍රසිද්ධ වුණා. නිසිවයසේ දී ශිල්ප උගෙනීමට මේ කුමාරයා තක්සලාව කරා ගියා. ශිල්ප හදාරමින් සිටි යසදත්ත කුමාරයාට සභිය නම් පිරිවැජියෙකු හමුවුණා

ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුසසුනේ අග්‍රඵලය වූ ඒ උතුම් අරහත්වය සාක්ෂාත් කළ යසදත්ත නම් උතුම් මහරහතන් වහන්සේ ගැනයි අද අප ඉගෙන ගන්නේ.

යසදත්ත තෙරුන් වහන්සේටත් මීට කල්ප ලක්‍ෂයකට පෙර යුගයේ පහළ වූ පදුමුත්තර නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණා. පදුමුත්තර බුදුසසුන පවතින කාලයේ ඔහු ඉපදුණේ බමුණු පවුලක. කුඩා කල පටන් බමුණාගේ ඉගැන්වීම් හැදැරූ මොහු තරුණවියට එළඹෙන විට බමුණන්ගේ ඉගැන්වීම් පරතෙරටම ඉගෙන ගත්තා. කාමයන් පරිහරණය අත්හළ ඔහු සෘෂිවරයෙකු බවට පත්ව මහවනයේ වාසය කළා. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වී සිටිනා වගක් මේ සෘෂිවරයා දැන සිටියේ නැහැ.

හරිම අසිරිමත් ! එදා වනයේ සැරිසරමින් සිටි ඔහුට දිව්‍ය සිරුරක් බදු ස්වර්ණවර්ණ ඡවි පැහැයක් ඇති ශ්‍රමණයෙක් භාවනා කරමින් සිටිනු දැකගන්නට ලැබුණා. ලක්ඛණ ශාස්ත්‍රයෙහි පරප්‍රාප්ත මේ සෘෂිවරයාට පදුමුත්තර සම්මා සම්බුදු රජාණන් වහන්සේ හඳුනා ගැනීමට වැඩි වේලාවක් ගත වුණේ නෑ. ඔහු පී‍්‍රතියෙන් ප්‍රමුදිත වූ සිතින් ඒ දෙතිස් මහා පුරුෂ ලකුණින් සෝභමාන සම්බුදු සිරුර දෙස නෙත් විදහා ටික වේලාවක් බලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඒ අභිනීල දෙනෙත් යුග විවර කොට ඔහු දෙස බැලුවා.

හිත තුළ වූ පැහැදීම ඉවසාගත නොහැකි වූ මේ සෘෂිවරයා බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නට පටන් ගත්තා. ‘කිණිහිරි රුකක් මෙන් පැහැයෙන් බබලන, පහන් ගසක් සේ රශ්මි මාලා විහිදුවන, බුදුරජාණන් වහන්ස, මහා මුනීන්ද්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේ මෝහ ජාලයෙන් අත්මිඳී, අවිද්‍යා ගණඅඳුර නසාලමින්, සසර සමුදුරින් එතෙර වී ඥානාලෝකය ලබා ගත් සේක. අනුත්තර වූ බුදුරජාණන් වහන්ස! සියලු ලෝ සතුන්ද මේ සසර සමුදුරින් ගොඩ ගන්නා සේක්වා! මේ තුන්ලෝකයේම ඔබ වහන්සේගේ නුවණ ගැන කීමට උපමා නැත. ඒ අනූපම වූ ඥානයෙන් සමන්විත ඔබ වහන්සේ ‘බුද්ධ’ වන සේක. මහා වීරයාණන් වහන්ස! ඒ අනාවරණ ඤාණයට ඒ සර්වඥතා ඤාණයට මම සාදර ගෞරවයෙන් වන්දනා කරන්නෙමි.’ සම්බුදු රජුන් අභියස දණින් වැටී සතුටු කඳුළු වගුරුවමින් මේ සෘෂිවරයා හඬනඟා මේ අයුරින් බුදුගුණ පැවසුවා.

බුදුගුණ වැයීමෙන් ඔහු රැස්කළ ඒ පින සසර ගමනේ බොහෝ සැප විඳීමට හේතු වුණා. නමුත් යළිත් ඔහුට උතුම් බුදු සසුනක් මුණ ගැසීමට කල්ප ලක්‍ෂයක අතිදීර්ඝ කාලයක් පුරා සසරේ පැමිණීමට සිදුවුණා. ඒ අපගේ ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ යුගය යි. හෙතෙමේ එකල මල්ල රට, මල්ල රජ පවුලක ඉපදී යසදත්ත කුමරු නමින් ප්‍රසිද්ධ වුණා. නිසිවයසේ දී ශිල්ප උගෙනීමට මේ කුමාරයා තක්සලාව කරා ගියා. ශිල්ප හදාරමින් සිටි යසදත්ත කුමාරයාට සභිය නම් පිරිවැජියෙකු හමුවුණා.

සභිය පිරිවැජියා ශ්‍රමණ වාදයන් හැටතුනක් ඔහුගේ ඤාති පිරිවැජියෙකුගෙන් ඉගෙනගෙන ඒ වාදයන්ට ප්‍රති පිළිතුරු සැපයීමට හැකි කෙනෙකු සොයමිනුයි සිටියේ. යසදත්ත කුමරු මේ සභිය පිරිවැජියා සමඟ සමීපව මිතුරුදමක් ඇතිකරගෙන ඔහුත් සමඟම ඒ ප්‍රශ්න වලට පිළිතුරු සොයමින් ගමින් ගමට ගියා. මේ අතරතුරයි ඔවුන්ට ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන දැන ගන්නට ලැබුණේ. සභිය හා යසදත්ත භාග්‍යවතුන් වහන්සේ සොයාගෙන සැවැත්නුවරට පැමිණුනා. ජේතවනාරාමයේ දී සභිය පිරිවැජියා ඒ හැටතුනක් වූ වාදයන් භාග්‍යවතුන් වහන්සේට ඉදිරිපත් කළා. ඔහුගේ ප්‍රශ්නවලට ලබාදුන් පිළිතුරු තමයි සුත්ත නිපාතයේ ‘සභිය සූත්‍ර දේශනාවේ” සඳහන් වන්නේ. ඒ දේශනාවෙන් සභිය පිරිවැජියා බුදුසසුන කෙරෙහි සම්පූර්ණයෙන්ම පැහැදී බුදුසසුනේ පැවිදිව අරහත්වය ද සාක්ෂාත් කළා.

එනමුත් යසදත්ත කුමරු ඒ දේශනාවට සවන්දුන්නේ ‘මේ ශ්‍රමණයාගේ කතාබහේ අඩුපාඩු, වැරැදි මොනවාද? කියා විමසන අදහසින්. ඒ නිසා ඔහුගේ සිතට ධර්මය ඇතුළු වුණේ නෑ. මේ කරුණ බුදුනෙතින් දුටු භාග්‍යවතුන් වහන්සේ ගාථා පහකින් යසදත්ත කුමරුට ගර්හා කළා. වැරැදි සොයන අදහසින් ධර්මය අසා තමාට සිදු වූ විපත ගැන යසදත්ත කුමරු බොහෝ සංවේගයකට පත්වුණා. හෙතෙමේ බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගෙන පැවිදි උපසම්පදාව ඉල්ලා සිටියා. පැවිදි උපසම්පදාව ලැබූ යසදත්ත ස්වාමීන් වහන්සේ වීරියෙන් ධර්මයේ හැසිරී සුළුකලකින්ම උතුම් අරහත්වයට පත් වී වදාළා.

අරහත්වයට පත් වූ යසදත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේට දහම් මඟ විවර කරදෙමින් භාග්‍යවතුන් වහන්සේ විසින් ගැරහීමක් ලෙස වදාළ උතුම් ගාථාවන් ප්‍රකාශ කොට අන් භික්‍ෂූන් වහන්සේලාට ද අවවාද කොට වදාළා.

උපාරමිභචිත්තෝ දුම්මේධෝ - සුණාති පිනසාසනං
ආරකා හෝති සද්ධම්මා - නභසෝ පඨවී යථා

මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරැදි හොයන අදහසින්මයි. ඔහු ධර්මයෙන් ඈත ඉන්න කෙනෙක්. අහසට පොළොව වගෙයි.

උපාරම්භචිත්තො දුම්මේධෝ - සුණාති පිනසාසනං
පරිහායති සද්ධම්මා - කාලපක්ඛේම චන්දිමා

මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි හොයන අදහසින්මයි. ඔහු පිරිහිලා යන කෙනෙක් කළුවරවීගෙන යන හඳක් වගේ.

උපාරම්භචිත්තෝ දුම්මේධෝ - සුණාති පිනසාසනං
පරිසුස්සති සද්ධම්මේ – මච්ඡෝ අප්පෝදතේ යථා

මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි හොයන අදහසින්මයි. ඔහු සද්ධර්මයෙන් ඈත් වුණ වේලි ඉන්න කෙනෙක්. දිය සිඳුණ තැනක ඉන්න මාළුවෙක් වගේ.

උපාරම්භචිත්තෝ දුම්මේධෝ - සුණාති ජිනසාසනං
න විරූහති සද්ධම්මේ - චෙත්තේ බීජංච පූතිකං

මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නේත් වැරැදි හොයන අදහසින්මයි. ඔහු ධර්මය තුළ වැඩෙන කෙනෙක් නොවේ. කුණුවෙච්ච පැළයක් කුඹුරක හිටෙව්වා වගේ.

යෝ ච කුට්ඨෙන චිත්තේන - සුණාති පිනසාසනං
චෙපෙත්වා ආසවේ සබ්බේ - සච්ඡිකත්වා අකුප්පතං
ප්පුය්‍ය පරමං සන්තිං - පරිනිබ්බානි අනාසවෝ

එහෙත් නුවණැති කෙනා සතුටු සිතිනුයි බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නේ. ඔහු ආශ්‍රවයන් නැති කරල දානවා. අමා නිවන සාක්ෂාත් කරනවා. පරම ශාන්තියට පැමිණෙනවා. නිකෙලෙස් සිතින් පිරිනිවන් පානවා.

මේ සුභාෂිත වූ දහම් පද කොයිතරම් නම් අරුත්බරද? මේ ගාථා බුද්ධ භාෂිතයෙන්. අරහන්ත භාෂිතයි. මේ උතුම් ගාථා පහ යසදත්ත කුමාරයා යසදත්ත මහරහතන් වහන්සේ බවට ම පත්කළ අයුරු කොතරම් විශ්මයජනකද? අපත් ඒ සියුම් ප්‍රඥා ඇති මහරහතුන් ගැන සිත පහදවා ගනිමු. සාරවත් පැළයක් කුඹුරක හිටෙව්වා වගේ අපේ ජීවිත මේ ධර්මය තුළ වැඩේවි. යසදත්ත කුමාරයාට වගේම අපටත් ආශ්‍රව ක්ෂය කරමින් අමා මහ නිවනට පැමිණ පිරිනිවන් පාන්නට වාසනාව උදාවේවි.

සටහන: නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 30 විජිතසේන මහරහතන් වහන්සේ

 

 
මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk