UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 24 පරම ලාභය නිරෝගි සැපත ය

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 24

පරම ලාභය නිරෝගි සැපත ය

රේරුකානේ චන්දවිමල මහ නා හිමියෝ වසර සියයක් පමණ ජීවත් වූහ. එය දීර්ඝායුෂ විඳීමකි. පරම ලාභය නම් නීරෝගි සැපතය. චන්දවිමල මහා නා හිමියන් දීර්ඝායු ලද්දේ පරම ලාභයද වින්දනය කරමිනි.

තම ජීවිතයේ ශතවර්ෂාධික දීර්ඝ කාලය තුළදී උන්වහන්සේ කිසිදු බරපතළ රෝග පීඩාවකින් නොපෙළඹුණු බව සත්‍යයකි.

ඒ පිළිබඳව මහා නා හිමියන් පවසන්නේ මෙසේය. ‘මා හුඟක් වෙද පොත් කියවලා තියෙනවා. ඒ වුණාට මං වෙදකම් කරන්නේ නෑ. මට අවශ්‍ය පුංචි පුංචි බෙහෙත් ඉඳල හිටල කාට හරි කියල හදාගෙන පාවිච්චි කරනවා. මට බොහෝ දෙනාට තියෙන සීනි අමාරුව, ලේ ගමනේ අඩු වැඩිකම වැනි රෝග නෑ. හිත හුඟක් සැහැල්ලු තරමට ලෙඩ රෝගත් අඩුවෙනවා. මට යම් කිසි අමාරුවක් ඇති වුවහොත් ඒකට ප්‍රතිකාරයකුත් මටම හිතෙනවා. මගේ ජීවිත කාලයේ දී තද බල අසනීප වෙලා වැඩිදින ගණනක් ඉස්පිරිතාලවල ඉඳලා නෑ. මං කවදත් ආහාර ගත්තේ ටිකයි “

චන්දවිමල මහා නා හිමියන් වහන්සේ යම් තරමකට වෙදකමද හදාරා තිබෙයි. එහෙත් එවැනි විෂයක් වුව කිරීම සැබෑ භික්‍ෂූන් වහන්සේට කැප නොවෙන බව චන්දවිමල හිමියන් පවසන්නේ සම්බුද්ධ දේශනාවට අනුකූලවය.

භික්‍ෂූන් වහන්සේගේ නිවැරදි භූමිකාව නිසි අයුරෙන් දැන සිට පරමාදර්ශී චරිතයක් වශයෙන් හඳුනාගත හැකි අප මහා නා හිමියන් වහන්සේ යුග යුග පවතින මහා භික්‍ෂු චරිතයක් බවට පත් වී අදත් ගෞරව බහුමානයට පූජනීයත්වයට පත්ව ඇත්තේ කය දිරූවද නාමය නොදිරන ලෙස තම ජීවිතයේ පවිත්‍රත්වය නොකෙලෙසන ලෙස උත්තරීතර භික්‍ෂු ජීවිතයක් ගත කළ නිසාය. උන්වහන්සේගේ ශතවර්ෂයක් පමණ වූ ඒ අසහාය ජීවන මඟ සරලය. අධ්‍යාත්මය සුපෝෂිත වූ නිසාම සැහැල්ලුය. ධනය – බලය පදවි –තානාන්තර ගරු නම්බු නාම පසුපස හඹා නොගිය බැවින් අල්පේච්ඡය. එසේ සරල සැහැල්ලු, අල්පේච්ඡ උතුම් භික්‍ෂූත්වය ඒ පරමාදර්ශී බව යහපත් මිනිස් දිවියකට අවැසි උපදෙස් කාව්‍යයක් සේය. ආශාවන් පසුපස හඹා නොයමින් රසනහර නොපිනවමින් තණ්හාවෙන් වියුක්ත වෙමින් සරල ආහාරයකින් යැපෙමින් ගෙවු සැහැල්ලු ජීවිතය නිසාම මේ ජීවන මගේ සියවන සැතැපුම් කනුව දක්වා ජයග්‍රාහීව යෑමට චන්දවිමල හිමියෝ සමත් වූ සේක. එසේම මේ පිරිපුන් භික්‍ෂු ජීවිතයෙන් ගත හැකි ආදර්ශයන් අති මහත්ය.

භික්‍ෂූන් වහන්සේට බරක් වන්නේ සිරුර දරන චීවරය පමණි. එය උපමා කර ඇත්තේ ගගනත සරණ පක්‍ෂියකුගේ පියාපත හා සම කරමිනි.

සංසාර විමුක්තිය උදෙසාම පැවිදි දම් මිනිසාගේ යහපැවැත්ම වෙනුවෙන් සසරදුක නිවීම වෙනුවෙන් අවවාද අනුශාසනා කරනා ආදර්ශවත් භික්‍ෂූන් වහන්සේට තම දිවි පැවැත්මට නොසරිලන සියලු වස්තූන් භික්‍ෂු ජීවිතය ඈත් කරවන බාධා වැටකඩොලු බව බොහෝ අවස්ථාවලදි දහම ගුරුකොට ගනිමින් උන්වහන්සේ පවසා තිබේ.

බැඳිම් වරපට ලිහා දැමූ විට දැනෙනා අපමණ සුවය සැබෑ නිදහස වින්දනය කළ මේ සංඝ පීතෘ වහන්සේ මේ භවයේදී දීර්ඝ චාරිකාවක යෙදුනේ දිගු සංසාර ගමන කෙටි කර ගැනීමේ පරම පවිත්‍ර වූ චේතනාවෙන් මය. උන්වහන්සේ දන් පින් කළේ අධ්‍යාත්මික සුවය සඳහාමය.

තණ්හාවෙන් වියුක්තවීමෙන් පරිත්‍යාග සිදු කළ යුත්තේ ඒ බව ලෝකයට හැඟවීමට නොව හදවතින් තණ්හාවෙන් මඳකට හෝ ඈත්වීම සඳහාය. හැර දමන සිතකට තමා පරිත්‍යාග ශීලියකු බව හඬනගා කීමට බෝඩ් ලෑලි අවශ්‍ය නොවේ. අප අද පන්සලකට ගොඩ වැදුනොත් දකින්නේ ඉදිකිරීමකට වඩා වියදම් කර සාදා ඇති නම්ගොත් වග වාසගම් සහිත නාමපුවරුය.

යමකුගේ ජීවිතයේ යහපැවැත්ම වෙනුවෙන් සකසා ගත යුතු බොහෝ තැන් උදෙසා මෙවන් උතුම් භික්‍ෂූන් වහන්සේලාගේ චරිතාපදානයන් මතින් නිසි පිළිතුරු සොයාගත හැකිව තිබේ.

චන්දවිමල හිමියෝ මුදල් පරිහරණයෙන්ද සම්පූර්ණයෙන්ම වැළකුණූ සේක. මහා නා හිමියන් පවසන්නේ ‘මා රැස්කළ විශාල ධනය පිරිසුදු පැවිදි ජිවිතය ‘ බවය.

මහා නා හිමියන්ගේ පශ්චිම යාමයේ ප්‍රධාන උපස්ථායක වූ කිරිඔරුවේ ධම්මානන්ද හිමියෝ මහා නාහිමියන් පිළිබඳ මතකය අවදි කරමින් මෙසේ පවසති. ‘අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තුළ තිබූ විශේෂ ගුණයකි සියල්ලන්ටම එකසේ සැලකීම. දුප්පතාටත් පොහොසතාටත්, පාලකයාත් එකසේ පිළිගත් සේක. ඒ ඒ පුද්ගලයන්ට තරාතිරම බලා කතා කළා මිස කිසිම විටෙක විශේෂ සැලකිල්ලක් නො දැක්වූ සේක. යමකුට යමක් කිව යුතු අවස්ථාවේදි නිර්භීතව ඉදිරියේදි කීහ. අනුන්ගේ නැති ගුණ කියමින් ස්තුති නො කළහ.එසේම අනුන්ගේ අගුණ සොයා ඒ ඒ අය වෙන්කිරීමක් ද නොකළ උන්වහන්සේ යමකු තුළ තිබෙන එක ගුණය වුණද එය අගය කොට සලකා ක්‍රියා කළ සේක”

දන් දෙන අයට අනුශාසනා කරන්නේ කා හට හරි යමක් දෙන විට ඒ තැනැත්තාගේ තිබෙන දුර්ගුණ නො සිතා තියෙන එක ගුණයක් හෝ සලකා හිත පහදවාගෙන දෙන ලෙසය’ අනුන්ගෙන් යමක් ඉල්ලීම අතිශයින්ම පිළිකුල් කළ උන්වහන්සේ දීමට අතිශයින්ම පි‍්‍රය වූහ “

ඒ ගැන මහා නා හිමියන් පවසන්නේ ‘මම පැවිදි කළ මගේ ගුරුවරයාගෙන් වත් මා මොකුත් ඉල්ලා ගෙන නෑ ‘

‘උන්වහන්සේ දිනපතා දන් දුන් අතර ජන්ම දිනයෙදි විවිධ මාදිලියේ පින්කම් කළහ.අන් අයටත් තමාගේ උපන් දිනයේදි කුමක් හෝ කුසල ක්‍රියාවක් කරන ලෙස අනුශාසනා කළ සේක. ‘උන්වහන්සේ දන්දෙන අවස්ථා වලදි කාගෙන්වත් ඉල්ලා දීම සිදු නොකළහ. ඒ මොහොතේ තමන් වහන්සේට තිබෙන දෙයක්ම දුන් සේක. උන්වහන්සේ පෞද්ගලිකව දන්දෙන අවස්ථාවක හො දන්දීමක් සංවිධානය කරන අවස්ථාවකදි කවුරුන් හෝ පැමිණ ‘නායක හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දානයට මොනවද අඩු? කියා ඇසුවොත් ‘දානයට මොකුත් අඩුවක් නෑ දානය කියන්නේ තමාට තියෙන හැටියට දීමයි’ යනුවෙන් එයට පිළිතුරු දුන් සේක.

ධම්මානන්ද හිමියන් චන්දවිමල මා හිමියන්ගේ ඒ පිළිවෙත දකින්නේ මෙසේය. ‘උන්වහන්සේ දන්දීම පිළිබඳ කරන ප්‍රකාශය ඉතා වැදගත්ය. දුප්පතුන්ට දන්දීමේ වැදගත්කම පහදා දී තමාට තියෙන හැටියට දන්දීමක කිරීමට අනුශාසනා කරන හැටි අපි දුටුවෙමු’ ධම්මානන්ද හිමියෝ තවදුරටත් මෙසේ පවසති. රේරුකානේ චන්දවිමල මහා නා හිමිපාණන් වහන්සේ, උන්වහන්සේට අවශ්‍යකරන දේ ඒ ඒ අවස්ථාවට ලැබීමේ පුදුම භාග්‍යයක් තිබූ උතුමෙකි. උන්වහන්සේ ලියූ පොත් වලින් එකම සතයක්වත් උන්වහන්සේ ප්‍රයෝජනයට අරගෙන නැහැ. එය පරම සත්‍යයකි. එනමුත් උන්වහන්සේට සිව් පසයෙන් කිසිම අඩුවක්ද නොවීය. මේ පිළිබඳව ධම්මානන්ද හිමියන්ට මතක ඇති අපුරු සිද්ධි කීපයක් සිහිපත් කිරීම වටියි.

එක් දිනක දවල් දානය වැළඳීමට ආසන්න මොහොතක මහා නා හිමියන්ගේ දකුණු අතේ ඇඟිල්ලක් පිහියකට කැපීම නිසා දානය වැළඳීම අපහසු විය. ඒ නිසා උන්වහන්සේ සිතුවේ පාන් වැළඳීමට ඇත්නම් එය පහසුවක් බවය.

ඒ මොහොතේ කවදාවත් නො දැකපු මනුෂ්‍යයෙක් පාන් ගෙඩියක් රැගෙන විත් එය මහා නාහිමියන්ට පූජා කළේය.

තවත් දිනයක මලබද්ධයට ප්‍රතිකාරයක් වශයෙන් අමු ගස්ලබු ලැබුණොත් තම්බා වැළඳීමට හොඳ බව ධම්මානන්ද හිමියන් සමඟ පවසන විට ඊට සුදුසු අමු ගස්ලබු ගෙඩි කීපයක් රැගෙන පැමිණි සිල්මාතාවක් උන්වහන්සේ වෙත ඒවා පූජා කළාය.

මහා නාහිමියන් වියපත් වීම නිසා කන් ඇසීම දුර්වල විය. දිනක් උන්වහන්සේ මෙසේ පැවසූහ. ධම්මානන්ද කන් ඇසීමත් දැන් දුර්වල නිසා ඇසීම වැඩිකරන උපකරණයක් ගත්තොත් හොඳයි නේද? ඒකට ලොකු මුදලකුත් ඕනෑවෙයි ‘ කියාය

එදාට පහුවෙනි දින හිටපු අග්‍ර විනිශ්චකාරවරයෙකු වු පාලින්ද රණසිංහ මහතා පැමිණියේ නායක හාමුදුරුවන්ගේ සුවදුක් බැලීමේ අපේක්‍ෂාවෙනි. ඒ මහතා සුවදුක් විමසා යන්නට සූදානම් වී නායක හාමුදුරුවන්ට අවශ්‍ය දෙයක් ගන්න කියා ධම්මානන්ද හිමියන්ට මුදලක් පරිත්‍යාග කළේය. ඒ නිසා ශ්‍රවණ උපකරණය ගැනීමට එම මුදලින් හැකි විය.

තවත් කොටසක් මාර්තු 16 වන දා පත්‍රයේ පළ වේ


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 23 අනූපමේය භික්‍ෂු ජීවිතයක පවිත්‍රත්වය

 
මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk