UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරපුර ම්‍රම්මවංසාභිධජ සිරි සද්ධම්ම යුක්තික මහා නිකායේ අභිනව මහා නායක ධුරයෙන් පිදුම් ලබන දර්ශනපති කණුමුල්දෙනියේ චන්දවිමල මහා නා හිමි

අමරපුර ම්‍රම්මවංසාභිධජ සිරි සද්ධම්ම යුක්තික මහා නිකායේ අභිනව මහා නායක ධුරයෙන් පිදුම් ලබන දර්ශනපති

කණුමුල්දෙනියේ චන්දවිමල මහා නා හිමි

අක්තපත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු 14 වන දා සවස ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ

දක්‍ෂිණ ලංකාව කවදත් උගත් – බුද්ධිමතුන්ට මෙන් දේශහිතෛෂී ජාතික වීරවරයන්ට ද නිජබිමක් විය. එපමණක් නොව සම්භාවනීය ගිහි, පැවිදි උතුමන්ගෙන් ද නොහිස් භූමියක් විය. කලාකරුවන් මෙන්ම ඉතිහාසඥයන් පුරාවිද්‍යාඥයන් සාහිත්‍යධරයන් අගනා දේශපාලන නායකයන් රැසක් ද දකුණුලකින් සිරිලක ඒකාලෝක කළෝ ය.

එබඳු උරුමයකට නෑකම් කියන මහ තෙරනමක් ලෙස ගාල්ල කළුවැල්ලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ හා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ශාස්ත්‍රපති ශාස්ත්‍ර විශාරද දර්ශනපති කණුමුල්දෙනියේ චන්දවිමල හිමිපාණන් ගෞරවයට හා ජන ප්‍රසාදයට පාත්‍රව සිටිති.

ප්‍රසන්න ඇවතුම් පැවතුම් වලින් ද දයා - කරුණා ගුණාංගයන්ගෙන් ද සමාජ සේවය බෙහෙවින් පි‍්‍රය කරනු ලබන මහතෙරනමක් වශයෙන් ද චන්දවිමල මහ නාහිමියෝ ප්‍රසිද්ධය. උන්වහන්සේ දැන උගත්කමෙන් ද පොහොසත් ය. පරාර්ථ සේවය බෙහෙවින් අගය කරමින් ගිහි, පැවිදි බොහෝ දෙනාට හිත වැඩ සලසති. ආචාර සමාචාර වශයෙන්ද භික්‍ෂූන් වහන්සේ නමක් සතුවිය යුතු සම්ප්‍රදාය ගරුක බවින් ද චන්දවිමල හිමියෝ පිරිපුන්ය. ගුරු ගෞරවයෙන් ද යුතුකම් ඉටු කිරීමෙන් ද කාය – වාග් සංවර භාවයෙන් ද උන්වහන්සේ සමන්විතය. භාරධූර කාර්යයන් සමූහයකට දායකත්වය දෙන චන්දවිමල හිමිපාණන් ඒ කිසිවකින් අධිතක්සේරුවකට පැමිණ ඒවායින් කිත් පැසසුම් අපේක්‍ෂා නොකරති. කවර කාර්යයක නිරත වුවද ඉන් භික්‍ෂූත්වයට අල්පමාත්‍ර අඩුවක් හෝ බාධාවක් කර නොගැනීම පැසසිය යුතු උදාර ගුණාංගයකි. කාර්යය බහුල දිවියක් ගත කළ ද ඒ සියල්ල විධිමත්ව හා කාර්යක්‍ෂමව සිදු කිරීම නාහිමියන්ගේ සිරිතයි. තරුණ අවධියේ සිටම උන්වහන්සේට නායකත්වය හිමිවූ අවස්ථා බොහෝ ය. ඒ සියල්ල උන්වහන්සේ වෙත ආයාසයකින් තොරව හිමි විය. බොහෝ දෙනා උන්වහන්සේගේ අනුශාසකත්වය, මග පෙන්වීම අපේක්‍ෂා කරති.

දකුණුලක හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රදේශයේ කණුමුල්දෙනිය චන්දවිමල හිමිපාණන්ගේ ගම් ප්‍රදේශයයි. ගිහි කල ඉගෙනුම ලැබුයේ උතුරු කණුමුල්දෙනිය ප්‍රාථමික විද්‍යාලයෙනි. 1961 ජූනි 07 වන දා උපත ලබා වයස 13 කට ආසන්න වූ කල එනම් 1973 ජනවාරි 11 වන දා ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවිදි දිවියට ඇතුළත් විය. ආචාර්ය පාදයාණන් වහන්සේලා වූයේ මුල්ලෙවත්තේ චන්දිම අනුනායක ස්වාමීන් වහන්සේ හා මුල්ලෙවත්තේ චන්දසිරි අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ය. උපසම්පදාව ලැබුයේ 1987 ජූනි 07 වනදා ය. ඒ ගාල්ල මහමෝදර ගිංනදී උදකුක්ඛේප සීමා මාලකයේදී ය.

ශාසනික සේවාවෙහිලා ශාසනාරක්‍ෂක මණ්ඩල මඟින් සිදුවනුයේ අපරිමිත මෙහෙයකි. ඊට උරදී ක්‍රියාකිරීමට චන්දවිමල හිමිපාණන්ට අවස්ථාව උදාවිය. අවුරුදු පහළොවකටත් වඩා අධික කාලයක් ගාල්ල කඩවත් සතර ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධූරය හොබවන ලද මේ හිමියෝ දැනට වසර ගණනාවක් ගාලු කඩවත් සතර මෙන්ම ගාලු දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරය දරමින් සිටිති. දහම් පාසල් අධ්‍යාපනය නැංවීම ඇතුළුකොට එමඟින් බෞද්ධ අධ්‍යාපනයේ හා ශාසනයේ උන්නතිය සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටුවේ. මේ සඳහා අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම හා අවබෝධය ද ආදර්ශ ද චන්දවිමල හිමියන් වෙත පැවිදි අධ්‍යාපනයේ දී ගාල්ල ශ්‍රී විද්‍යාරාජ පිරිවෙණින් හා ඉන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය වෙතින් ගෞරව ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, ශාස්ත්‍ර විශාරද, පණ්ඩිත, දර්ශනපති උපාධි ලබා ගැනීමෙන් හිමිවිය. ඊට අමතරව කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයෙන් හා කැලණිය පරමධම්ම බෞද්ධ ආයතනයෙන් ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලැබීය.

පාලි - සංස්කෘත - සිංහල භාෂා ශාස්ත්‍රඤාණය හා විවිධ උපාධි හා පශ්චාත් උපාධි මඟින් ලැබූ දැනුම් සම්භාරය වසර කිහිපයක් රජයේ පාසල් ගුරුවරයෙකු වශයෙන් ද සේවයේ යෙදෙමින් දැයට ප්‍රදානය කළේ ය.

ඊට අමතරව දිගුකලක් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් ධර්ම ශාස්ත්‍රීය සේවයේ නිරතවූහ. රුහුණ විශ්වවිද්‍යාලයේ ද චන්දවිමල හිමියෝ කථිකාචාර්ය ධූරයක් දැරූහ. දැනට ද උන්වහන්සේ බාහිර උපාධි අධ්‍යාපන සේවයේ යෙදෙමින් උසස් අධ්‍යාපනයේ යෙදෙති. උපාධිධාරීන් රැසක් බිහිකරලීම වෙනුවෙන් කරන මෙහෙය අපමණය.

කණුමුල්දෙනියේ මහනාහිමියෝ ගිහි – පැවිදි බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍රව වෙසෙති. සිය ගුරු දේවයන් වහන්සේලාගේ ද ආභාසයෙන් සමාජ සත්කාර මෙහෙය උන්වහන්සේ බෙහෙවින් පි‍්‍රය කරති. ගාලු නගරය කේන්ද්‍රකොට ගෙන කරාපිටිය මහ රෝහල ඇසුරු කරගෙන පිහිටවා ඇති පිළිකා රෝගීන්ගේ සුවය උදෙසා සංවිධාන පිහිටුවාගෙන ඒවායේ නිලතල දරමින් ගිලානෝපස්ථාන සේවය සඳහා අවස්ථාව කරගෙන තිබේ.

බෞද්ධ ප්‍රබෝධයෙන් ගාලු පුරවරය ඒකාලෝක කිරීම පිණිස පිහිටුවා ඇති ‘ගාලු පුර බොදු සවිය’ සංවිධානයේ නිර්මාතෘවරයන් චන්දවිමල හිමිපාණන් වහන්සේ ය. එමඟින් වෙසක්, පොසොන්, ඇසළ සමයේ ගාලු නගරය බුදුසිරියෙන් බැබළේ.

ගාල්ල කළුවැල්ලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ධුරය හොබවමින් එම විහාරස්ථානයේ හා ශ්‍රී ලංකා ධර්මදූත පිරිවෙණ ඇතුළු සමිති සංවිධාන රාශියක් පිහිටුවා සසුනේ උන්නතියට හා සමාජ ශුභ සාධනය සඳහා කරනු ලබන සේවය අති විශිෂ්ටය. සිය ගුරු දේවයන් වහන්සේ ආරම්භ කළ “සිරිලක මහා අභයදානමය” පින්කමට මරණයට කැපවූ ගවයන්ගේ ජීවිත දානය දීමට චන්දවිමල හිමියෝ අද නායකත්වය ගෙන සිටිති. ඒ උදාර මහා පින්කමට වසර ගණනාවක සිට චන්දවිමල නාහිමියන් සිය කාලය, ශ්‍රමය, ධනය කැප කරමින් සිටී.

ස්වකීය විහාරස්ථානය ගාලු නගර මධ්‍යයේ පිහිටීම නිසා බොහෝ දෙනාගේ විවිධ අවශ්‍යතාවයන්ට නිරන්තරයෙන් දොරටු විවර කර තැබීමට උන්වහන්සේ සූදානම් ය. විවිධ සමිති සංවිධානවල කවර හෝ රැස්වීමක්, උත්සවයක් නොමැති දිනක් එම විහාරස්ථානයේ නොමැති තරම් ය. ශාසනයේ උන්නතිය සඳහා වන භික්‍ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනය නංවාලීම උදෙසා ධර්මදූත පිරිවෙන පවත්වාගෙන යෑම පමණක් නොව ගාලු දිස්ත්‍රික්කයේ පිරිවෙන් ආචාර්ය, කෘත්‍යාධිකාරී, පරිවේණාධිපති වැඩමුළු, සැසි හා සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා බෙහෙවින්ම මධ්‍යස්ථානය කරගන්නේ චන්දවිමල නාහිමියන්ගේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයයි. ඒ සඳහා අවශ්‍ය වෙනත් පරිත්‍යාග සඳහා ද නාහිමියන් හැම විටම සැදී පැහැදී සිටිති.

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය හා ඒකාබද්ධ බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රබෝධයට ජාතික වශයෙන් අභිනව මහානාහිමියෝ උරදී ක්‍රියා කරති. සමස්තලංකා අමරපුර සංඝ සභාව හා අනුගතව නිකායාභිවෘද්ධියට ක්‍රියාකාරීව වෙසෙති. අමරපුර විද්වත් සංඝ සභාවේ සභාපති ධූරය දරන චන්දවිමල නාහිමියන් ධර්ම ශාස්ත්‍රීය සේවයට කැපවී ක්‍රියා කරති. ගාල්ල සමස්ත අමරපුර තරුණ භික්‍ෂු සංගමයේ ආරම්භයට හා පැවැත්ම උදෙසා නාහිමිපාණන් සුවිශාල අනුග්‍රහයක් ලබා දෙති.

විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යතුමන්ලා ඇතුළු විද්වතුන් සමීපව ඇසුරු කරමින් ක්‍රියා කරන චන්දවිමල මහනාහිමියෝ විවිධ ජනමාධ්‍ය ඔස්සේ ධර්ම ශාස්ත්‍රීය දෙසුම් හා ලිපි රචනා පළකළ අවස්ථා බොහෝ ය. ඒ සඳහා විවේකී බුද්ධිය නිර්මාණාත්මක චින්තනය හා පරිපාකය ද නාහිමියන් සතුව පවතී.

ගාලු නගරය හා දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ගෙන අධ්‍යාපන, සමාජ, සංස්කෘතික හා ශාස්ත්‍රීය සේවයට චන්දවිමල හිමිපාණන්ගෙන්ද ලැබෙන දායකත්වය අපමණය. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, හා ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට අනුබද්ධ විවිධ සංස්කෘතික හා අධ්‍යාපනික සමාජ සේවා අනුමණ්ඩල රැසක විවිධ තනතුරු හොබවන චන්දවිමල හිමිපාණෝ රාජ්‍ය හා රාජ්‍යානුබද්ධ හා ස්වේච්ඡා සංවිධාන රැසකට අනුශාසකත්වය හා නායකත්වය සපයති.

ස්ව නිකායික කාරක සංඝ සභාව මහානායක ධුරය පිරිනමා ඇත්තේ සියලු ආකාරයෙන්ම සුදුසුකම්වලින් හෙබි මහතෙරනමක් වෙතය. සාකල්‍යායෙන්ම චන්දවිමල හිමියෝ ඒ සඳහා සුදුසු වෙති. වසර ගණනාවක්ම උන්වහන්සේ සිය නිකායේ වැඩබලන මහානායක ධුරය හොබවමින් මහානායක පදවියට අවශ්‍ය කාර්ය භාරය පිළිබඳ අද්දැකීම් සමුදායක්ද හිමිකර ගෙන ඉන් අනතුරුව මහා නායක පදවියට පත්වීම සිය වගකීම් මැනවින් ඉටුකිරීම පිණිස බෙහෙවින් ඉවහල් වනු ඇත.

“සුදුස්සාට සුදුසු තැන හිමිවීම” යන ගිහි පැවිදි හැමගේ අපේක්‍ෂාවයි. එය ලොව පිළිගත් ආචාරාත්මක ඇගයුමකි. ඒ සඳහා බුදු දහමින් හා බුදුරදුන්ගෙන් ලැබෙනුයේ සුවිශේෂ ආදර්ශයකි. බුදුරදුන් ස්වකීය ශාවක ශ්‍රාවිකාවන්ට විවිධ තනතුරු පිරිනමා ඇත. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම ඇතුළුව අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් බොහෝ රහතන් වහන්සේලාට අගතනතුරු ප්‍රදානය කිරීමට බුදුරදුන් ක්‍රියා කළහ. එහිදී උන්වහන්සේලාගේ සාංසාරික ප්‍රාර්ථනා අනුව එම තනතුරු හිමි වූ අවස්ථා විය. එමෙන්ම උන්වහන්සේලා සතු විවිධ දක්‍ෂතා කුසලතා මෙන්ම නායකත්වයට ඉවහල් වන ගුණාංග ද මනාව ප්‍රකටව පෙනේ. විවිධ තනතුරු දැරූ උන්වහන්සේලාගෙන් භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිස් කෙරෙහිම සිදුවූයේ අපමණ මෙහෙයකි. බුදුදහමේ බුදු සසුනේ චිරස්ථිතිය සඳහා ලැබුණු නායකත්වය අති විශිෂ්ටය.

වත්මන් භික්‍ෂු පරම්පරාවටද එමඟින් ගතහැකි මඟ පෙන්වීම හා ආදර්ශ බොහෝය. අභිනව මහ නාහිමිපාණන් වහන්සේට සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා මෙතෙක් කරගෙන ආ කාර්යයන් වඩාත් පුළුල් ලෙස ඉටුකිරීමට මඟ සැලසෙනු ඇත. කවදත් තමන් වහන්සේ වෙත ලැබුණු නිලතල තනතුරු හා වගකීම් සියල්ල චන්දවිමල හිමියෝ යොදා ගනු ලැබුවේ ඉන් බොහෝ දෙනාගේ යහපත සැළසීම උදෙසාය. එසේ නොමැතිව තනතුර ආභරණයක් කර ගැනීමට හෝ එමඟින් අත්තුක්කංසනයට හෝ පරවම්භනයට එනම් තමා උසස් යැයි අධිතක්සේරුවකට පැමිණ අන් අය අවතක්සේරු කිරීමට කිසි දිනක චන්දවිමල හිමියන් ක්‍රියා කර නොමැත. මහානායක පදවියෙන් වුවද උන්වහන්සේ ක්‍රියාකරනුයේ එපරිද්දෙනි.

කණුමුල්දෙනියේ චන්දවිමල මහ නා හිමියන්ගේ ආචාර්ය, උපාධ්‍යායන් වහන්සේලා මේ වන විට අපවත් වී සිටියද උන්වහන්සේලා ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා තනා සසුනේ වගකීම් ඉටු කිරීම කෙරෙහි තිබූ අපේක්‍ෂා හා ප්‍රාර්ථනා මස්තකප්‍රාප්ත කිරීමට චන්දවිමල හිමියෝ සමත් වූහ. මෙවන් බුද්ධ පුත්‍රයන් වහන්සේලා මෙලොවට බිහිකළ දෙමාපියන්ට හිමිවනුයේ මහත් ගෞරවයකි. අදවන විටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ලේ කණුමුල්දෙණියේ පදිංචිව සිටින එඩ්වින් ගීගනගේ උපාසක මහත්මාණන් වන පියාණන් හා හේවගේ හීන්හාමි උපාසිකා මාතාව වන මෑණියන් ද සහෝදර සහෝදරියන් ද උදාර ශාසනික දායාදයක් හිමිකර ගන්නෝ වෙති. ස්වකීය පුත්‍රරත්නය සසුන්ගත වී සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කරන දෙනෙතින් දැක අපමණ සතුටකින් දෙමාපියෝ පසුවෙති.

කළුවැල්ලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය භෞතික වශයෙන් ගැටලු රාශියකට මුහුණ දුන් ස්ථානයකි. වෙසෙසින්ම 2004 වර්ෂයේ ඇතිවූ සුනාමි ඛේදවාචකයේ දී හානියට ලක් වූ ස්ථානයක් විය. ගාල්ල නගරයේ සමුද්‍රාසන්නයේම පිහිටීම ඊට වඩාත් හේතු විය. එහෙත් සිදු වූ හානිවලින් කිසිදු පසුබෑමක් ඇති නොවන්නට විහාරාධිපතිත්වය දරන චන්දවිමල හිමිපාණන් වගබලා ගන්නට යෙදුණි. තමන් වහන්සේ, ශිෂ්‍ය සමූහයා හා දායක, දායිකාවන් සමඟ එකාවන්ව නැඟී සිටිමින් ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අදවන විට විහාරස්ථානයකට අවශ්‍ය සකලාංගයන්ගේ සමන්විත අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරලීමේ ගෞරවය නිතැතින්ම චන්දවිමල හිමිපාණන් වහන්සේට හිමි වේ.

බෞද්ධ ප්‍රබෝධය උදෙසා ප්‍රමුඛතාවය දෙමින් ක්‍රියා කිරීමට සිය විහාරස්ථානය පාදක කරගනිමින්ම අන්තර් ආගමික සහජීවනයෙන් ක්‍රියාකිරීම පිණිසද චන්දවිමල මහනාහිමියෝ උත්සුක වෙති. ගාල්ල නගරය හා සිය විහාරස්ථානය ආසන්නයේම පිහිටි ප්‍රධාන අන්‍ය ආගමික මධ්‍යස්ථාන කිහිපයකි. එම ආගමිකයන් සමඟ මෙන්ම පූජක පක්‍ෂය සමඟ ද හිතෛෂීව හා මිත්‍රශීලීව ක්‍රියා කරමින් ලබා දෙන ආදර්ශය ප්‍රශංසනීයය. චන්දවිමල මහා නායක හිමිපාණන් වහන්සේට ඔවුනගෙන් ද මහත් ගෞරවයක් හිමි වේ. ‘ආගමික සහජීවනය යනු සියලු ආගම් එක හා සමාන යැයි සැළකීම හෝ සියලු ආගම්වල චාරිත්‍ර වාරිත්‍ර “සියලු ආගමිකයන් විසින් ම කළ යුතුය” යන මිථ්‍යාව චන්දවිමල හිමියන්ගෙන් ප්‍රදර්ශනය නොවේ. මහ නා හිමියන්ගේ පිළිගැනීම වනුයේ ඒ ඒ ආගම් හා ආගමිකයන් තම තමන්ගේ අනන්‍යතාව අනුව කටයුතු කරමින් විසීම හා අන්‍යයන් සමඟ මිත්‍රශීලීව වගකීමෙන් ක්‍රියා කළ යුතු ය” යන්නයි. එය නිවැරදි ආගමික සහජීවනයයි.

මහා නායක පදවියෙන් සම්මානිත අතිපූජ්‍ය චන්දවිමල හිමිපාණන් වහන්සේට උපහාර පිදීම සඳහා ගාලු නගරය කේන්ද්‍රකොට ගෙන සියලු දෙනා එකාවන්ව පෙළගැසී සිටිති. බෞද්ධ සමිති, සංවිධාන, සමාජ සේවා සංවිධාන, අධ්‍යාපන ආයතන, රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා, ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසිය, ස්වේච්ඡා සංවිධාන, දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනා සැදී පැහැදී දායකත්වය හා අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී සිටිති.

විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික් හා කඩවන්සතර ශාසනාරක්‍ෂක මණ්ඩලය, විවිධ භික්‍ෂු සංවිධාන, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, මෙන්ම ශ්‍රී ලංකා ධර්මදූත පිරිවෙණ, ධර්මදූත දහම් පාසල දායක සභාව හා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ සමිති සංවිධාන මෙන්ම ගාල්ල නගරය විවිධ බහුජන සංවිධාන උපහාර උත්සවය සඳහා උරදී ක්‍රියා කරති.

මහා නායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානයට සමගාමීව උපහාර පිදීමේ මහෝත්සවය මාර්තු මස 14 වන දා සවස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත භාෂාන්තර විශාරද අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ගේ විශේෂ සහභාගිත්වයෙන් කළුවැල්ලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. අතිපූජ්‍ය චන්දවිමල මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට දිගාසිරි වේවා!.

 
මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු මස 08 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 06.07 ට ලබයි.
09 වැනි දා ඉරිදා පූර්වභාග 07.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 08 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය මාර්තු 16 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk