UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලබන බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නා හිමි

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලබන බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නා හිමි

පැල්මඩුල්ල රාජමහා විහාරය, කරන්ගොඩ පොත්ගුල් රාජමහා විහාරය යන උභය විහාරාධිපති, රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කර්මවාගාචාර්ය, ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රී රතනපාල ධම්මදින්නාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලැබීම ‘පූජා ච පූජනීයානං’ යන බුදුවදන සිහිපත් කරවන සිදුවීමකි.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන් වහන්සේ අවසාන වරට පැවිද්ද ලබා දුන් අපවත් වී වදාළ සාහිත්‍යශූරි සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පැල්මඩුලු රාජමහා විහාරාධිපතිව වැඩ විසූ කීර්ති ශ්‍රී සුමංගල බුද්ධරක්ඛිත හාල්දඬුවන ධම්මරක්ඛිත නා හිමියන් ප්‍රමුඛව, අපවත් වී වදාළ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක මීගහගොඩ පුරාණ විහාරාධිපති වේහැල්ලේ සිරි අත්‍ථදස්සි ධම්මපාල නාහිමිපාණන් පැල්මඩුලු රාජමහා විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක මුද්දුවේ පඤ්ඤාශේකර හිමියන් මහණ උපසම්පදාවෙන් ගුරු කොට ගෙන ද පොත්ගුල් රාජමහා විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ කරංගොඩ ජිනරතන නාහිමිපාණන් වහන්සේ උපසම්පදාවෙන් ගුරු කොට ගෙන ද පැවිදි ජීවිතයේ ඉමහත් වූ සාසනික හා ආගමික වු මහ මෙහෙවරක් බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ සිදු කරති.

ප්‍රදේශයේ සමාජසේවා සමිති රැසක අනුශාසක පදවි උසුලන මුන් වහන්සේ සමස්ත ලංකා ශාසනාරක්‍ෂක කෘත්‍යාධිකාරි සංගමයේ සාමාජිකයෙකු වශයෙන් ද දිසා ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපති වශයෙන් ද අනූ ගණන්වල සිට පැල්මඩුල්ල සමථමූල මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන්ද ශ්‍රී‍්‍ර ලංකා විහාර දේවාල භාරකාර පදනමේ ආරම්භයේ සිට සාමාජිකයෙකු වශයෙන් ද සබරගමු ස්‍යාම නිකායික ශ්‍රී සුමංගල සංඝ සභාවේ ප්‍රධාන සංවිධායක වශයෙන්ද පුරාවිද්‍යා උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වශයෙන්ද, සබරගමු ශ්‍රී පාද නාහිමිගේ ප්‍රධානත්වයෙන් ඇරඹූ විහාර දේවාල භාරකරුවන්ගේ ලේකම් වශයෙන්ද ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ සාමාජිකයෙකු වශයෙන්ද ක්‍රියා කරමින් සිදු කරන ආගමික හා සමාජ සේවාව ප්‍රශංසනීයය.

විශේෂයෙන් සබරගමු පළාතේ විහාරස්ථාන දියුණු කිරීම පිණිස ධම්මදින්න නාහිමිපාණන් වහන්සේගෙන් මහා සංඝරත්නයට ලැබෙන අනුග්‍රහය උන් වහන්සේලාට විශාල ශක්තියකි. ප්‍රදේශයට මුන් වහන්සේගේ ඉදිරිපත්වීමෙන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛා බෝධි දහ නමක් පමණ වඩමවා දී ඇත. විහාරස්ථාන වැඩිදියුණු කර ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කිරීම පමණක් නොව විහාරස්ථානවලට විදුලි ජනක යන්ත්‍ර ලබාදීම, වතුර පොම්ප ලබාදීම,රැලි පාලම් කොඩි ලබාදීම, පිත්තල පහන් ලබාදීම ආදිය ද සිදු කර ඇත. විහාරස්ථාන 14 කට පමණ චෛත්‍ය රාජයාණන් වහන්සේලා ගොඩනැගීමට උපදෙස් දෙමින් ඒ සඳහා මුදල් පරිත්‍යාග කර ඇත. විහාරස්ථානවල සංඝාවාස ගොඩනැගීම සඳහා වහලට අවශ්‍ය දෑ සපයාදෙමින් සහයෝගය දක්වා ඇත. බෞද්ධයිනට වටිනාම වස්තුවක් වන සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කිරීම පිණිස විහාරස්ථානවලට පරිත්‍යාග කර ඇති ධම්මදින්න නාහිමි අප විහාරස්ථානයේ තනවා ඇති දහඅට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ද නිධන් කිරීමට කළ පරිත්‍යාගය කෘතවේදීව මෙහිදී සිහිපත් කරමි. විහාරස්ථානවල ඉදි කෙරෙන චෛත්‍ය රාජයාණන් වහන්සේලාගේ පැළඳවීම පිණිස චූඩා මාණික්‍ය හතළිහකට වඩා පරිත්‍යාග කර ඇත. දිසාපති මැදුරේ සිට පාසල් පොලිසි හා දුෂ්කර ගම්මානවල බෝධින් වහන්සේලා අභියසට වැඳ පුදා ගැනීම පිණිස බුද්ධ ප්‍රතිමා වහන්සේලා පරිත්‍යාග කර වඩමවා ඇත.

විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමකගේ අපවත්වීම යනු බලාපොරොත්තු නොවන අවස්ථාවක විශාල වියදමක් දැරීමට සිදුවන අවස්ථාවකි. එවැනි අවස්ථාවක චිතකය සහ දේහය තැන්පත් කිරීමට අවශ්‍ය කෙරෙන පෙට්ටිය ලබාදීමට කෙනෙකු ඉදිරිපත් වන්නේ නම් යන වියදමෙහි භාගයකටත් වඩා අඩුවීමකි. අප නාහිමිපාණන් වහන්සේ එවැනි ආධාර ලබාදිය යුතු ස්ථානවලට දෙවරක් නොසිතා ඉදිරිපත්ව ආධාර කෙරෙති. දැනට උන් වහන්සේ අපවත් වු ස්වාමින් වහන්සේලාගේ ආදාහන උත්සව සඳහා දරසෑය සහ චිතක 17 ක් පමණ ඉදිකරවා දී ඇත.දේහය තැන්පත් කිරීමට 25 නමකට පමණ පෙට්ටි පරිත්‍යාග කර ඇත.

සර්ව පරිෂ්කාර මහා පූජා පවත්වා දැනට දොළොස් දහසකට වැඩි සංඝරත්නයට දන් පිළිගන්වා ඇති මුන් වහන්සේ ගිලන් වු ස්වාමින් වහන්සේලාට ආධාර උපකාර කරමින් විශාල ශාසනික සේවාවක් සිදු කරති. සාම්ප්‍රදායික ශාසනික චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ විශාල ගෞරවයක් සහ ලැදියාවක් ඇති උන්වහන්සේ ඒවා සුරැකීම සඳහා විශාල වෙහෙසක් දරති.

සීමා සම්මත විනය කර්මවල උපදේශකත්වය ලබාදෙමින් ඒවා විනයානුකූ®ලව සිදු කිරීමට ප්‍රධානත්වය ගෙන කටයුතු කෙරෙති. වසර 25 ක් පමණ මල්වතු මහා විහාරයේ උපසම්පදා විනය කර්මවල කර්මාචාර්යවරයෙක් වශයෙන් සහභාගි වී දේශනා කරති.

නවක මජ්ක්‍ධිම ථෙර මහ සඟරුවනට අනුපිළිවෙල පවත්වා ගෙන ඒම සඳහා පොහොය කර්ම සිදු කිරීමට මූලිකව කටයුතු යොදා ඇත. ධම්මදින්න නාහිමියෝ ශාසනික සම්ප්‍රදායන් පිරිත් අනුශාසනා දේශනා, ප්‍රාතිමෝක්‍ෂ දේශනා, යුගාසන දේශනා ආදිය පැවැත්වීමට මනා පටුත්වයක් දරති. ඓතිහාසික පැල්මඩුලු රාජමහා විහාරස්ථානයේදී සුවාසුදහසක් ධර්මස්ඛන්ධය ඇතුලත් ත්‍රිපිටක ධර්මය පස් මසක් තුළ පුද සිරිත් පවත්වමින් සම්පූර්ණයෙන්ම සජ්ඣායනය කරවා ඇත. උන් වහන්සේ ද දෛනිකව අත්‍යවශ්‍ය සූත්‍ර විනය පාඨ කටපාඩම් කරමින් තෙවරක් ත්‍රිපිටකය කියවා ඇත. එපමණක් නොව විහාරස්ථාන සඳහා ත්‍රිපිටක ග්‍රන්ථ පරිත්‍යාග කරමින් ත්‍රිපිටකය කියවීමට මහා සංඝ රත්නය පොළඹවති. අපේ මූලස්ථානය සහ ස්වනිකායික මූලස්ථාන ස්වාමින් වහන්සේලා සමග සුහදව කටයුතු කරමින් ස්වනිකායික ප්‍රධාන ස්වාමින් වහන්සේලාට තනතුරු තානාන්තර ලබාදීමට ඇප කැපව ක්‍රියා කර ඇත. මුන් වහන්සේගේ තවත් ගුණාංගයක් වනුයේ නිකාය භේදයකින් තොරව තම විහාරස්ථානයට වැඩම කරන සියලු ස්වාමීන් වහන්සේලා සුහදව පිළිගෙන ඉතාම ඉහළින් ආගන්තුක සත්කාර කිරීමයි. උන්වහන්සේලා බලාපොරෙත්තු වන සහයෝගය නොපැකිලව ඉටු කිරීමට ද ඉදිරිපත් වෙති.

සම්ප්‍රදායානුකූ®ල සසුන්ගත කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ මනා අවබෝධයක් ඇති උන්වහන්සේ එම කටයුතුවලදි මූලිකත්වය ගෙන කටයුතු කෙරෙති. සාමණේර භික්‍ෂූන් වහන්සේලා ශාසනානුලෝමිකව හදා වඩා ගැනීමේ, නොතිත් ආශාවෙන් නාහිමිපාණෝ අලුතෙන් පිරිවෙණක් ද ආරම්භ කර ප්‍රාචීන අධ්‍යාපනයට මූලිකත්වය දී පවත්වා ගෙන යති. අධ්‍යාපන ක්‍ෂේත්‍ර කෙරෙහි ද විශේෂ අවධානය යොමු කර ඇති ධම්මදින්න නාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළ ගුරුදේව නාහිමිපාණන් වහන්සේලා සිහිපත් කරමින් උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යාධාර පිරිනමති.

උන්වහන්සේ තම විහාරස්ථානයේ කැපකරු දායක මහත්වරුන්ගේ ද සමීප අනුශාසකවරයෙක් වශයෙන් එම දායක මහත්වරුන් ද ආගමික, ශාසනික කටයුතුවලට මෙහෙයවමින් පොදු මහජනතාවට සේවය කිරීමට පොළඹවා ඇත. විහාරස්ථානයේ කැපකරු දායක මහතෙක් වනු එවකට ආරක්‍ෂක ඇමති තිලක් මාරපන මැතිතුමා ලවා ශ්‍රී පාද රජ මාවත වූ පලාබත්ගල මාවත පිළිසකර කර පඩි බැඳීම සඳහා උපදෙස් ලබා දී ඉටු කරවා ඇත. එසේම සිරිපා මළුවට ජල පහසුව සහ විදුලිජනක යන්ත්‍ර සැපයීම සිදුවූයේ මුන් වහන්සේගේ අනුශාසනා පරිදියි. විහාරස්ථානයේ ප්‍රධාන කැපකරු දායක සමන් උපසේන මැතිතුමා බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධා බුද්ධි වර්ධනය සඳහා නිවෙස්වල තැන්පත් කොට වැඳුම්පිදුම් කිරීමට බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙදහසකට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කරනු ලැබුයේ මුන් වහන්සේගේ මග පෙන්වීමෙනි.

කළණ මිතුරන්ගේ කළණ මිතුරෙක් වන මෙම නාහිමිපාණන් වහන්සේ තමන් ඇසුරු කරන්නන්ගේ දුක සැප, දෙක්හිදීම නොවෙනස්ව කටයුතු කෙරෙති. පිහිට විය යුතු තැන පිහිට වෙති. සියලු බලතල නිලතල තිබුණද, උන් වහන්සේගේ නිහතමානිත්වය වෙසෙසින් ඇගයිය යුතුය. මෙවන් ශාසනික හැඟීම් සහ නිහතමානි ඇවතුම් පැවැතුම් ඇති නාහිමිපාණන් වහන්සේට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය ලැබීම තනතුරෙන් නාහිමිපාණන් වහන්සේ බැබලීම නොව නාහිමිපාණන් වහන්සේගෙන් ආයතනය බැබලෙයි.

කුලපති පදවියෙන් පිදුම් ලබන නාහිමිපාණන් වහන්සේට තව තවත් ආගමික, සමාජයීය සේවාවන් සිදු කිරීමට රත්නත්‍රයේ පිහිටෙන් නිරෝගී සම්පත්තිය සහ දීර්ඝායුෂ ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 02 වැනිදා සඳුදා පූර්ව භාග 08.54 ට ලබයි. 03 වැනි දා අඟහරුවාදා පූර්වභාග 05.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 09 වැනිදා සඳුදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]