පින්වත් දරුවනේ
පිනැති ගුණැති
නැණැති දරුවෙක් වෙන්න
බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ
සිරි සුදස්සනාරාම, සදහම් සෙනසුනේ
ප්‍රධාන අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
මෙම ලිපියෙන් පෙන්වා දෙන්නට බලාපොරොත්තු වන්නේ ළමා වයසේ සිට තරුණ
දරුවන් දක්වා වූ දියුණු කරගත යුතු ගුණාංග තුනක් පිළිබඳවයි. බෝධිසත්ව
උතුමන්ගේ වීර්ය පිළිබඳව ඔබ අසා ඇත. එනම් චතුරංග වීර්ය පිළිබඳවයි.
බෝධිසත්ව උතුමෝ යම් අරමුණක් සිත්හි ඇතිකරගත් පසුව, එම අරමුණ ඉටු
කරගන්නා තෙක්ම උත්සාහය අත් නොහරිති. “ඇට, ලේ, මස්, නහර සිඳී වියැකී
ගියත් තම උත්සාහය අත් නොහරිමියි.” සිතාගෙන සිදුහත් බෝධිසත්වයන් වහන්සේද
ඇසතු වෘක්‍ෂ මූලයෙහි හිඳගත්හ. ඒ සම්මා සම්බුද්ධත්වයම අධිෂ්ඨාන කරගෙනය.
බෝධිසත්වයන් වහන්සේලා සම්පූර්ණ කරන පාරමිතා ධර්ම දසය අතර වීර්ය සහ
අධිෂ්ඨානය ද ඇතුළත්ය. මම ඔබට ආරාධනා කරන්නේ, එම පාරමිතා ගුණ අර්හත්වය,
පච්චේක බෝධිය හා සම්මා සම්බුද්ධත්වය උදෙසා වුවද, මෙලොව අභිවෘද්ධිය
පිණිසද පුරුදු කරන ලෙසය. එම පාරමිතා සපිරීමේ දී, හැබෑවටම දෙලොවම මනා
අභිවෘද්ධිය ඇතිවේ.
යම් දෙමාපියන් සහ පාසල් ගුරුතුමන්ලා සහ ගුරුතුමියන්ලා නිතර පවසන අදහසක්
ඔබට සිහිපත් කරමි. එනම්, “දරුවනේ, උත්සාහ කරන්න. උනන්දු වෙන්න. එක
අරමුණක අධිෂ්ඨානයෙන් වැඩ කරන්න. මෙයට වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්න
පුළුවනි.” එම වදන් පෙළ නැවත නැවතත් සිහිපත් කරන්න. සමහර දෙමව්පියෝ මේ
ආකාරයෙනුත් නිතර පවසන බව පෙනේ.
“මෙයට අවුරුදු තිහකට හතළිකට පෙර මේ රට මේ තරම් දියුණු නැහැ. මේ වගේ
අරුමෝසම් බඩු කිසිවක් තිබුණේ නැහැ. හැම දෙයක්ම අත් දෙකෙන්ම තමයි
කරගත්තේ. අද වගේ යන්ත්‍ර සූත්‍ර එදා තිබුණේ නැහැ. මුළු ගමටම එක
‘ටෙලිෆෝන්’ එකයි තිබුණේ. ඒකත් තිබුණේ තැපැල් කන්තෝරුවේ. ඒ කිසිම
පහසුකමක් නැතිව අපි හැම දෙයක්ම කරගත්තනේ. දරුවනේ, නුඹලට මේ තරම්
පහසුකම් තිබිලත්, උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරන්නේ නැහැනේ.” මේ අදහස්
පෙළ කියවා ඔබ මේ විදියට අසන්නට එපා. “ඉතින් අපට කියන්නේ, එදා මොකවත්
තිබුණේ නැහැ කියලා. අපටත් එහෙම දුක් විඳින්නද කියලා,” ඔබට එම අතීතය
මතක් කරමින් පෙන්වා දෙන්නේ, වර්තමානයේ දියුණුවී තිබෙන පහසුකම් ද,
ප්‍රයෝජනයට ගෙන වඩාත් උනන්දුවෙන්, අධිෂ්ඨානයෙන් වැඩ කරන්නට කියලයි.
දරුවන් හැකි උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙන් කටයුතු කළාම, ලැබෙන ප්‍රතිඵලය
කුමක් වුවත් පිළිගන්නට දෙමාපියන් සහ ගුරුවරුන් කැමති වේවි. මේ අතර,
නිවසේදීත්, පාසලේදීත්, දහම් පාසලේදීත්, කීකරුවත්, උත්සාහයෙන් හා
අධිෂ්ඨානයෙන් ද යුතුව වැඩ කරමින්, ඉහළ ප්‍රතිඵල ලබන හා හොඳින් හැදෙන
වැඩෙන දරුවන් ද අපමණ සිටිති. එම දරුවන් ගැන අසන විට හා දකින විට ගුරු
දෙමාපියන්ට මොනතරම් සැනසිල්ලක් ද?
ඔබට මම දහම් කතාවක් සඳහන් කරමි. නුවණින් කියවා බලන්න. බුදුරජාණන්
වහන්සේ වැඩ විසූ දවස බරණැස් නුවර මහාධන සිටුවරයෙක් විය. ඒ සිටාණන්ට ධනය
අසූ කෝටියකි. කහවණු අසූ කෙළක් යනු විශාලම ධනයකි. ඔවුන්ට සිටියේ එකම
පුතෙකි. මේ පුතා ඉගෙන ගත්තේ ද නැත. නැටුම්, ගැයුම්, වැයුම් ආදියෙහි
යෙදෙමින් විනෝදයෙන්ම උස මහත් වූයේ ය. මේ තරුණයා විවාහ වූයේ ද එවැනිම
නූගත්, එනමුත් අරවගේම අසූ කෙළක් ධනය තිබුණු පවුලක එකම දුව සමගය. මේ
සියලු ධනය එකතු වූ විට එකසිය හැට කෝටියක් තරම් රන්මසු කහවණුය. කලෙකදී
දෙදෙනාගේම දෙමව්පියෝ මිය ගියහ. මේ නුගත්, කිසිදු ශිල්ප ශාස්ත්‍රයක්
නොදත්, දෙමාපියන්ගෙන් නිකම්ම ලැබුණු ධනය පිළිබඳ කිසිදු වටිනාකමක් නොදත්
මේ ස්වාමිපුරුෂයා සහ බිරිඳ පුරුදු පරිදි නැටුම්, ගැයුම්, වැයුම් ආදී
කෙළිදෙලෙන් ද, සුරාවට පුරුදු වීමෙන් ද කාලය ගත කරන්නට වූහ. මෙවැනි
පිරිස සමීපයට එකතුවන අය පිළිබඳව ඔබට සිතාගන්නට පුළුවනි. සුරාවට,
සල්ලාලකමට, අලසකමට පුරුදුව යහළුවෝ එකතු වූහ. වැඩි දවස් ගතවෙන්නට
මත්තෙන් සියලු ධනය අවසන් වී පදිංචිව සිටි මාලිගාද විකුණා ඒවා ද අහිමිව
පාරට බහින්නට සිදුවූහ. දිනක් මේ දෙදෙනා සිඟමනේ ඇවිද ගෙන යන්නේ ආහාර
ටිකක් ඉල්ලාගෙන වෙහෙරට පැමිණියහ. කුඩා ස්වාමීන් වහන්සේලා ආහාර දුන්හ.
බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනා දැක ආනන්ද තෙරුන්ට මෙසේ වදාළහ. කෙළ කෝටි
ගණන් ධනය තිබූ දෙදෙනා, ඒ සියල්ලම විනාශ කරගෙන, මේ ජීවිතයේම සිඟාකාගෙන
ඇවිදින හැටි බලන්නට යයි පවසමින් ගාථා දෙකක් වදාළහ. ඉන් එක් ගාථාවක්
මෙහි සඳහන් කරමි.
“අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණකොඤ්චාව ඣායන්ති
ඛීණමච්ඡේව පල්ලලේ”
“සුදුසු කල බඹසර නොහැසිර, ධනයද උපයා සහ මනාව රැක නොගෙන, මහළු කාලයේ,
මාළුවන් නැති දිය සිඳුණු විලක් සමීපයෙහි සිටින කොස්වාලිහිණියන් මෙන්
පසු තැවෙති.”
මෙහි සරල අදහස මෙසේයි. කුඩා සහ තරුණ කාලයෙහි පවින් වැළකී, යහපත් දේ
පුරුදු නොකළ අය වැඩිහිටියන් බවට පත්වන්නේ ද, බොහෝ විටෙක පුරුදු
දුශ්චරිතයන් සමඟය. ශිල්ප ශාස්ත්‍ර, ඉගෙනුම් මනාව පුරුදු නොකළ අයට
දෙමාපියන්ගෙන් ලැබුණු දේ පවා දියුණු කරගන්නට නොදැන විනාශ මුඛයට ඇද
වැටෙති. දෙමාපියන් සියලු දේවල් ඉටු කර දෙන විට ඒවායේ වටිනාකමක් බොහෝ
දරුවන්ට නොතේරෙයි.
සමහර දූරදර්ශී දෙමාපියන් විසින් තමන් අපහසුවෙන් ඉගෙනගත් ආකාරයත්, ඉතාම
අපහසුවෙන් ධනය ඉපයූ ආකාරයත් පෙන්වා දී ඒවා රැක ගන්නට යයි පවසන විට,
සමහර තරුණ දරුවෝ කේන්ති ගනිති. “දරුවනේ මේවා කියන්නේ නුඹලාගේ හොඳට.
මේවා හරිහම්බ කළේ නුඹලා ගැන සිතලා අපි මේවා යනකොට කරගහගෙන යන්නේ නැහැ.
නැතිනම් මේවා විනාශවෙලා නුඹලාට පාරට බහින්න වේවි.” දෙමව්පියන්ගේ
පිළිතුරු එවැනි අදහසක් වේවි. උත්සාහයක්, ඕනෑකමක්, ධෛර්යක් නැති යම්
දරුවන්ට යම්තැනක අම්මා කෙනෙක්, පියෙක් මෙහෙම පවසාවි. “මොකද කරන්නේ, අතට
මිටිමොලවලා දුන්නත්, ඒක අතුරුදහන් වෙනවානම්, කටට බත්පිඩ අනලා දැම්මත්
ගිලගන්නට බැරිනම්, ඒ පවට නම් කරන්න දෙයක් නැහැ.” දරුවනේ එවැනි පාපයකට
හසුවෙන්නට එපා. උත්සාහය, අධිෂ්ඨනාය, අරමුණක් දිගටම පවත්වාගෙන යාම සමඟ
පෙර කරන ලද පුණ්‍ය ශක්තියද, ඉගෙනීමෙන් හා ධර්මයෙන් ලද ප්‍රඥාවද එකට
එකතු වුණාම, ඔළුව අල්ලා ගලක ගැහුවටත් කාටවත් ඒ ජීවිතයට කරදරයක් කරන්නට
ලෙහෙසි වෙන්නේ නැහැ.
උත්සාහය සහ මෙලොව අභිවෘද්ධිය පිළිබඳව භාග්‍යයවතුන් වහන්සේ විසින් දේශනා
කරන ලද දහම් කරුණු කීපයක් මම ඔබට සිහිපත් කරන්නෙමි. ව්‍යග්ඝපජ්ජ සූත්‍ර
දේශනාවේ දී උත්සාහය පිළිබඳ මෙසේ දේශනා කරති.
“ව්‍යග්ඝපජ්ජය උත්සාහ සම්පත්තිය නම් කුමක්ද? මේ ලෝකයෙහි යම්
කුලපුත්‍රයෙක් කෘෂිකර්මයෙන් හෝ වෙළඳාමෙන් හෝ ගවයන් රැකීමෙන් හෝ
දුනුශිල්පයෙන් හෝ රාජ සේවයෙන් හෝ වෙනත් ශිල්ප ශාස්ත්‍රයකින් හෝ යම්
බඳු ජීවිතය පවත්වා ගැනීමක් කරන්නේ නම්, එහි අනලස්ව, යහපත් වූ
උපායශීලීව, විමසා වැඩකිරීමෙන් හෙවත් දක්‍ෂ නුවණින් යුතුව කටයුතු කරන්නට
සමත් වූයේ කටයුතු සංවිධානයට දක්‍ෂ වෙයි.”
අවුරුදු දහස් ගණනාවකට පෙර භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම කරුණු දියුණු
යයි සම්මත වර්තමානයට පවා මොනතරම් හොඳින් ගැළපේද? ඉගෙනගත්තත්, රැකියාවක්
කළත්, කම්මැලි නැතිව, උපායශීලීව, විමසුම් නුවණින් යුතුව, පිළිවෙලකට,
ක්‍රමවත්ව කළ යුතු නොවේද? එය එම පුද්ගලයාගේ, පවුලේ රැකියාවේ, ආයතනයේ
දියුණුවයි. සිඟාලෝවාද සූත්‍ර දේශනාවෙහි සඳහන් කරන අයුරින් “දැන්
සීතලයි, දැන් ඉතා රස්නෙයි, ඉතාම හවස්ය පවසමින් කර්මාන්ත හෙවත් රැකියා ද
ඉගෙනීම් ද අතපසු කරන හෝ අත්හරින අයට ධනයක් හෝ යමක් ලැබෙන්නේ නැත.
එහිම සඳහන් කරන අයුරින් යමෙක් ශීතලයි හෝ උෂ්ණයි කියා හෝ තෘණ පතක්
තරම්වත්, ඒ ගැන නොසළකා පුරුෂ ධෛර්යයෙන් පුරුෂ කාර්ය කරන පුද්ගලයා
සැපතෙන් පිරිහෙන්නේ නැත.
අධ්‍යාපනයේ ද, රැකියාවේ ද, මෙලොව කුමක් හෝ යමක දියුණුව පිණිස කටයුතු
කරද්දී පහත සඳහන් කරන කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න.
1. ආරම්භ ධාතු (පටන් ගැන්ම)
2. නික්ඛම ධාතු (කරගෙන යාම)
3. පරක්කම ධාතු (බාධා මැඩගෙන කරගෙන යාම)
4. ථාම ධාතු (බලවත් වීර්ය)
5. ඨිති ධාතු (ස්ථාවර වීර්ය)
6. උපක්කම ධාතු (උපක්‍රම හෝ උපායශීලී ශක්තිය)
“උට්ඨාන වීර්යයෙන් යුතු අලස නොවූ තැනැත්තේ ආපදා හෙවත් විපතේ දී
නොසැලෙයි. යම් කාර්යයක් නොනවත්වා දිගටම කරගෙන යන, ස්ථානෝචිත ප්‍රඥා
හෙවත් තැනට සුදුසු නුවණින් යුතු, එබඳු තැනැත්තා දියුණූවට පත්වෙයි. යසසට
පැමිණෙයි.” පින්වත් දරුවනේ, ආධ්‍යාත්මික හා බාහිර දියුණුව වෙනුවෙන්
කටයුතු කොට පිනැති, ගුණැති, නැණැති දරුවෙක් වෙන්න. උතුම් ධර්මාවබෝධයම
වේවා. තුණුරුවන් සරණයි. |