කසළ ගොඩෙන් මතු වූ පියුම
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය
ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
බුදුදහම තේරුම් ගත හැකි වන්නේ ප්‍රඥාවන්තයන්ට ය. ප්‍රඥාවන්තයා පියුමක
ස්වභාව දරන්නෙකි. එක් පසෙකින්රුවද, අනෙක් පසින් සුගන්ධයද
ඇත්තෙකි.
යථා සඞ්කාරධානස්මිං උජ්ඣිතස්මිං මහාපථෙ
පදුමං තත්‍ථ ජායෙථ සුචිගන්ධං මනොරමං
එවං සඞ්කාරභූතෙසු අන්ධභූතෙ පුථුජ්ජනෙ
අතිරෝචති පඤ්ඤාය සම්මාසම්බුද්ධසාවකො
ඉහතින් මාතෘකා කළ ගාථාව ඇතුළත් වනුයේ ධම්මපදයේ මල් පිළිබඳ කතා කෙරෙන
පුප්ඵ වර්ගයේය. එහි අදහස මෙසේය. මහ මඟ පැත්තක දමා තිබෙන කසළ ගොඩක් වතුර
පිරී, පල් වී ඇති විටෙක නෙළුම් ඇටයක් වැටීමෙන් එහි නෙළුම් පැළයක් හැදී
නෙළුම් මලක් පිපුණහොත් ඒ මල කුමක් මෙන් වේද?
සුචිගන්ධං - සුවඳවත් වූ
මනොරමං - අලංකාරවත්වූ
එවං සඞ්ඛාරභූතෙසු - එසේම කුණු ගොඩක් වන් සමාජයේ
අන්ධභූතෙ පුථුජ්ජනෙ - අඳුරෙන් වැසී ඇති පෘථග්ජන ලෝකයේ
අතිරොචති පඤ්ඤාය සම්මාසම්බුද්ධසාවකො - සම්මා සම්බුද්ධ ශ්‍රාවකයා
ප්‍රඥාවෙන් සියල්ල අභිබවා සිටියි.
මේ භයංකාර සසර කතරේ අතරමංව සිටින, අවිද්‍යාවෙන් වැසී සිටින්නන් අතර
තථාගත ශ්‍රාවකයා සෙස්සන් අභිබවා ගුණ සුවඳින් බබළන බව එම ගාථාවේ අදහස
වේ.
බුදුපියාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වී දහම් දේශනා කිරීම පිළිබඳ
තරමක් පසුබටවීමට මන්දෝත්සාහී බවට පත් වූහ. ඒ බැව් ත්‍රිපිටකයේ මෙසේ
සඳහන්ව ඇත.
අප්පොස්සුක්කතාය චිත්තං නමති - මන්දෝත්සාහී බවට සිත නැමේ
අධිගතො ඛො ම්‍යායං ධම්මො ගම්භීරෝ දුද්දසො දුරනුබොධො - මා විසින් අවබෝධ
කළ ධර්මය ගැඹුරුය. සාමාන්‍ය ජනතාවට දැකීම අපහසුය. අවබෝධ කිරීම අපහසුය.
මෙවන් ගැඹුරු ධර්මයන් දේශන කිරීමෙන්
තමොක්ඛන්ධෙන ආවටාති - අඳුරු පටලයෙන් වැසී සිටින්නන්ට දේශනා කිරීමෙන්
මමස්ස වෙහෙසා -මම වෙහෙසට පත්වෙමි
යනුවෙන් කල්පනා කළහ.
එහෙත් සමාජය පියුම් විලක් සේ දුටු උන්වහන්සේ පිපුණ මල්වලට වඩා නො
පිපුණු කුණු වූ දියෙන් මතුපිටට නෑවිත් පරවෙන පියුම් පොහොට්ටු ඇතිමුත්,
දියෙන් මතුපිටට ඇවිත් පිපෙන මල් ඇති හෙයින් එම පිපෙන්නට ආසන්න මල්
ප්‍රඥාවන්ත පුද්ගලයන්ට සමකොට තමන් වහන්සේ අවබෝධ කොට ගත් ඒ ගැඹුරු දහම
දේශනා කිරීමට අධිෂ්ඨාන කළ සේක. ඒ අනුව දියෙන් මතු වූ පිපෙන පියුමට
හෙවත් ප්‍රඥාවන්තයාට ධර්මය නමැති සූර්යාලෝකය ලබාදීමට තීරණය කළහ.
බුද්ධ ශ්‍රාවකයන් ලෙස ඔබ අප තුළ මහත් ගෞරවාන්විත බවක් අධ්‍යාත්මය තුළ
තිබිය යුතුය. සමාජය විද්‍යාවට වඩා අවිද්‍යාවෙන් පිරී ඇත. එහි
අවිද්‍යාවට පෙළැඹවීම් වැඩිය. ලොව ඇති බොහෝ ආගම් භාවිත කරනුයේ මෙම
දුර්වලතාව බව පැහැදිලිව දැකිය හැක. ඇතැම් ආගම්වල ඇති ප්‍රධාන ලක්ෂණය
නම් ඒ වටා පිරිසක් රැස්කර ගැනීම ය. එය ආගමික ශාස්තෘවරුන්ට අයත්
කාරණාවක් නොවන අතර දේශපාලනඥයන්ගේ් ක්‍රියාපටිපාටියකි. එවන් ආගමික
ශාස්තෘවරුන් මැටි කුණ්ඩලාභරණ මෙනි. රන් ගෑ ලෝහ කාසි මෙනි. අලංකාර මැටි
කුණ්ඩලාභරණ මෙන් වු පිටතින් සෝභාමත් වූ ශාස්තෘවරු එදා භාරතයේ ද සිටියහ.
මෙසේ පිටතින් අලංකාරවත් ඇතුළතින් අපිරිසුදු පිරිස් වටකරගෙන සිටීම
අවැදගත්ය. ශාස්තෘවරයකුට අභ්‍යන්තරික පාරිශුද්ධිය අත්‍යවශ්‍ය ලක්ෂණයකි.
බුදුදහම තේරුම් ගත හැකි වන්නේ ප්‍රඥාවන්තයන්ට ය. ප්‍රඥාවන්තයා පියුමක
ස්වභාව දරන්නෙකි. එක් පසෙකින්රුවද, අනෙක් පසින් සුගන්ධයද ඇත්තෙකි.
බෞද්ධයා තුළ බුද්ධ දර්ශනයට අනුව හැඩ ගස්වා ගත් අභ්‍යන්තරයක් හා බෞද්ධ
ප්‍රතිපදාවට අනුකූ®ල පිළිවෙතක් තිබිය යුතුය.
දිනක් මහානාම නමැති ශාක්‍යයා බුදුරදුන් වෙත පැමිණ විමසුවේ ‘ස්වාමීනි
උපාසකයා උපාසකයා යනුවෙන් කියනු ලැබේ. කෙතෙකින් උපාසකයෙක් වේද? යනුවෙනි.
එවිට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනුයේ ‘මහානාමය, යමෙක් බුදුරදුන් සරණ
ගියේ වෙයිද? ධර්මය සරණ ගියේ වෙයිද, සංඝයා සරණ ගියේ වෙයිද ඔහු එපමණකින්
උපාසකයෙක් වේ. යනුවෙනි.
උපාසකවරුන් දෙවර්ගයකි. එක් උපාසකයකු උපාසක චණ්ඩාල නම් වේ. තෙරුවන් සරණ
යන මුත් ශීලාදී ගුණ ධර්මයන්ගෙන් නොපිරුණු තැනැත්තා උපාසක චණ්ඩාල නම්
වේ. අනෙක් උපාසකයා සිල්වත්ය. ඔහු පිරිපුන් පුද්ගලයෙකි. උපාසක රත්නයකි.
උපාසකයා කළයක් මෙනි. කළය හිස්ව නොතිබිය යුතු අතර කළය පිරී තිබිය යුතුය.
ඒ අනුව බෞද්ධ උපාසකයකුª වුවොත් ඔහු සීලාදී ගුණධර්ම වැඩූ, ගුණ දහමින්
සපිරි පුද්ගලයකු විය යුතු අතර එසේ වූ කල්හි උපාසකත්වය අර්ථවත් වනු ඇත.
බෞද්ධයාගේ ප්‍රතිපදාව හෙවත් පිළිවෙත බුදුදහමට අනුව තේරුම් ගනිමු.
බුදුදහම දර්ශනයෙන් හා පිළිවෙතින් යුතුවේ.
දර්ශනය යනු විජ්ජා
පිළිවෙත යනු චරණ
එහෙයින් දර්ශනය හා පිළිවෙත ලොවට හඳුන්වා දුන් බුදුන් වහන්සේ ‘විජ්ජාචරණ
සම්පන්නො’ යනුවෙන් අපි හඳුන්වමු.
බෞද්ධයාගේ් විද්‍යාව කුමක්ද? මේ කරුණ ඔබ හොඳින් තේරුම් ගත යුතුවේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ, ලෝකය පිළිබඳ වැදගත් අවබෝධය චතුරාර්ය සත්‍ය
අවබෝධයයි. දුක්ඛ සත්‍යය පිළිබඳ පෙර නොඇසු ලෙස ඥානය පහළ වූ බවත් ඉන්පසු
දුකට හේතුව පිළිබඳ ඥානය පහළ වූ බවත්, ඉනික්බිති දුක්ඛ නිරෝධය - නිවන
පිළිබඳව ඥානය පහළ වූ බවත් ප්‍රතිපදාව පිළිබඳව ඥානය පහළ වූ බවත් වශයෙන්
උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ
ප්‍රකාශයක් කර ඇත. එම චතුරාර්ය සත්‍යයද බුදුදහමේ ඉගැන්වෙන ත්‍රිලක්ෂණය,
ආර්ය අෂ්ටාංගික මාර්ගය, කර්මය සහ පුනර්භවයද විස්තර කළ යුතු වන්නේ එක්
දාර්ශනික ක්‍රමවේදයක් ඔස්සේය. එම දාර්ශනික ක්‍රමවේදය අන්කිසිවක් නොව
පටිච්ච සමුප්පාදයයි.
වත්මන් සමාජය තුළ අප වටා ඇති දේ කවුරුන් හෝ ලවා වෙනස් කිරීමට කරන
උත්සාහයන් දැකිය හැකිවේ. විසිඑක්වන ශතවර්ෂයේදී බුදුදහම පවා වෙනස්
කිරීමට විවිධ සංවිධාන, විවිධ පුද්ගලයෝ ඉදිරිපත්ව සිටිති. රැකියා වැනි
අවස්ථාවන් ලබා ගැනීමට බොහෝ දෙනා යන්ත්‍ර මන්ත්‍රවල පිහිට පතති. යන්ත්‍ර
මන්ත්‍ර ආදියෙහි යම් බලවේගයක් නැතැයි කිව නොහැක. නමුත් එහි බෞද්ධකමක්
නොමැත. අදවන විට බුදුදහම සම්බන්ධයෙන් විවිධ පුද පූජාක්‍රම හා චාරිත්‍ර,
ශ්‍රාවක චරිත වන්දනාව ආදිය හඳුන්වා දී ඇත.
එදා සාංචි ස්ථූපය වටා බුදුදහම සංකේතවත් කළේ බෝධිය සිතුවම් කරමිනි.
තවුතිසා ලොව දහම් දෙසා වඩින බුදුන් වහන්සේ සිහිපත් කිරීම වශයෙන් සාංචි
ස්ථුපයේ ඉනිමඟ මුදුනේ හා පහළ බෝධීන් වහන්සේ මූර්තිමත් කර ඇත.
බුද්ධ පරිනිර්වාණයෙන් සෑහෙන කලකට පසු බුදුගුණ අනුව බුදුපිළිමය නෙළන
ලදී. පසුව සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක රූපද, මෛත්‍රී බෝධි සත්ත්ව
රූපය නාථ පිළිමය ආදී රූපද නෙළා ඇත. අදවනවිට මහාමායා, යශෝධරා, සුද්දෝධන
ආදී උතුමන්ගේ පිළිම නෙළීම ද සිදුවෙමින් පවතී.
මෙසේ බෞද්ධයාට නව හඳුන්වාදීම් සිදු කෙරෙන ආකාරය මැනැවින් සිදුවේද යන්න
ගැනත් නොයෙක් පුද පූජා ක්‍රමවලට යට වී ඇති බෞද්ධ පිළිවෙත් පිරිසුදු කොට
පැහැදිලි කිරීම සම්බන්ධයෙනුත් සලකා බැලීමට කාලය එළැඹ ඇත. ලාභ සෙවීම
එක්පැත්තක් වන අතර නිවන් සෙවීම තවත් එකකි. නිසරු දේ බැහැර කොට සරු දේ
ජීවිතයට එක්කර ගැනීමට බුද්ධ ශ්‍රාවකයා කටයුතු කළ යුතුය.
|