2011 නොවැම්බර් 24 වනදා බ්‍රහස්පතින්දා
යහ ගුණ වඩමු
මිනිසත් භවයක් ලැබීම සැබවින් ම දුලබ ය. එසේ කලාතුරෙකින් හෝ
අපහසුවෙන් ලබා ගත් මිනිසත් භාවයෙන් උපරිම ඵල නෙලා ගැනීම තම
තමන්ගේ ම වගකීම් වනු ඇත.
ජීවිතය, කුඩා කාලය, තරුණ කාලය, මහලු කාලය යැයි කොටස් කර බෙදා
වෙන් කර ගෙන සමස්ත ජීවිතය පුරාම තම තමන් කළ යහපත අයහපත පිළිබඳ
මෙනෙහි කර නිසි මඟට පැමිණීමෙන් තමන් වෙත නිරන්තරයෙන් සැනසීම
උදාකරගත හැකි ය. එබඳු ජීවිතය සැබවින්ම වාසනාවන්ත විය හැකි ය.
තමන්ට මෙන්ම අනුන්ට ද සැනසීමක් විය හැකි ය.
කුඩා කාලය දැනුමට මුල් තැන දෙමින් මවුපිය අවවාද අනුශාසනා යටතේ
බොහෝ දෙනා කාලය ගත කිරීම සමාජයේ සාමාන්‍ය සිරිතය.
එහෙත් ඒ කුඩා කාලය ගත කරන බොහෝ දරුවන් කුඩා කල පටන්ම තමන්ගේ
ජීවිතය වාසනාවන්ත කර ගැනීමට උනන්දු වෙති. ඒ අධ්‍යාපනය ලැබීමෙන්
ම පමණක් නොවේ. ගුණ යහපත් බවෙන් ද යුක්ත වන හෙයිනි.
අපි කුඩා කල තම මවට, පියාට, ගුරුවරයා,ට වැඩිහිටියාට, පිදිය
යුත්තාට ගරු බුහුමන් දැක්වීමට පුරුදු වූ පුහුණු සමාජයකට වසර
දෙදහස් ගණනක පුරා ඉතා දිගු ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන
පිරිසක් වෙමු.
ඒ උරුමය අපේ මුතුන් මිත්තන් පරපුරෙන් පරපුරට රැකගෙන හා බොදු
උරුමයයිකි.
ඒ බොදු හැදියාවට මූලික වූයේ අපේ කමය. බෞද්ධකමය. මිනිස් කමය.
කුඩා කල ගෙවීයත්ම තුරුණු විය උදාවෙයි. ඇතැම් අයෙක් කුඩා කල, තම
දිවිපෙවෙතට ළං කර ගත නොහැකි වූ බොහෝ ගුණ දම් බුද්ධිය මුහුකුරා
යත්ම ඒ තුරුණුවියේ දී තම දිවිපෙවෙතට ළඟා කර ගනිති.
කුඩා කල මෙන්ම තුරුණු වියද ඉක්ම වූ කල වියපත් වීම ස්වභාවයෙන්
පැමිණේ. වියපත් වූ දා ට ඇතැම් විට තම ජීවිතය පිළිබඳ ආපස්සට
හැරී බලා සතුටු විය හැකි නම් සැබැවින් ම ඒ ජීවිතය තමන්ටත්
අනුන්ටත් සැනසීම පිණිසම හේතු වේ.
වියපත් වූ දාට ඇතැම් අයකුට තම ආගම දහම සිහිපත් වනවා යැයි ඇතැම්
විට සමාජයෙන් ඇසෙන පොදු විවේචනයක් ද පවතී. ඊට සාධාරණ හේතු ද
ඇතැම් විට තිබිය හැකි ය.
එහෙත් එම පොදු විවේචනය සෑම කෙනකුටම සාධාරණ නොවනු ඇත. ගමත්,
විහාරස්ථානයත් දෙස වත්මනෙහි දී බලන විට බොහෝ තරුණ දූ පුතුන්
සමඟිදාමයෙන් ඒකරාශී වී බොහෝ පොදු කටයුතුවලදී ක්‍රියාකිරීම සතුට
දනවන්නකි. එමෙන්ම පෝදාට පන්සලේ ධර්ම ශාලාවේ එදා නොවු තරුණ
පිරිස අද බොහෝ පින්දහම්වල නිරත වනු දැකීම සතුටට හේතුවකි.
ඒ ජීවිතය පිළිබඳ යහපත්ව සිතන දකින බොහෝ දෙනා තම ජීවිතයෙන් නිසි
ඵල ලබා ගැනීමට උනන්දු වන අවස්ථාවක් සේ සැලකිය හැකි ය.
කෙසේ වූවද මවු පිය වැඩිහිටියන්ගේ ක්‍රියා හැම විට දූ පුතුන්
ආදර්ශයට ගැනීම සිරිතක් ව පවතී. එබැවින් වෙසෙසින්ම මවුපියන්
වැඩිහිටියන් ගුරුවරුන් දෙන ආදර්ශය නිවැරැදිව ලබාදීමට කටයුතු
කිරීම ඔවුනොවුන්ගේ යුතුකම හා වගකීම වනු ඇත.
තම අත පය තමන්ටවත් වාරු නැති කල ගත සිත පිනට දහමට නැඹුරු කරවීම
එතරම් පහසු නොවනු ඇත. එබැවින් ශක්තිය ඇති නිසි වයසේ දී ඒ
ගුණදහම් වෙත යොමු විය හැකි නම් නිරන්තරයෙන් ම තම ජීවිතයෙන්
තමාට යහපත් ප්‍රතිඵල උදාකර ගත හැකිවනු නියත ය.
ගෙවී ගිය ජීවිතයක තමන්ට තමන් පිළිබඳව සිතා බලා සතුටුවිය හැකි
නම් සැබැවින්ම ඒ ජීවිතය අර්ථවත් ජීවිතයක් වූවාට නිසැකය.
ජීවිතයෙහි ඇති අනිත්‍යතාවය පිළිබඳ ව හෝ සිතා භවගාමී ජීවිතය
යහපත වෙත යොමු කර විය හැකි නම් ලබන්නේ මහත් සැනසීමකි.
ඒ සැනසීම, මිල මුදලට හෝ වෙනත් කිසිවකට තමන් වෙත ළඟා කර ගත
නොහැකි ය.
මිනිස් ලොව යනු මිනිසුන් වශයෙන් ඉපිද ඉතා කෙටිකාලයක් තාවකාලිකව
ජීවිතය ගත කරන නවාතැන් පලක් බඳු ය. දුර ගමනක යෙදුණු තැනැත්තා ඒ
ගමන් විඩාව දුරු කර ගැනීමට ගිමන් හැරීමට තාවකාලික අම්බලකමට
ගොඩවූවා වැනි ය.
එසේ නම් අස්ථිර වූ මේ භව ගමනේ දී සසර පුරා අපට මඟ වියදම්
අවශ්‍ය ය. සසරට අවශ්‍ය මඟ වියදම් ඒ යහගුණ නම් ඒ ගුණ දම්
මිනිසත් භවය වෙත ළඟා කර ගැනීමට කල්පනා කරමු. |