UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තිස් වසරක අසිරිය සමරන බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනම

බෙල්ලන්විල රජමහා විහාරය මුල්කරගෙන ආරම්භ කොට ඇති ශ්‍රී ලංකා ප්‍රජා සංවර්ධන පදනම නම් වූ මෙම සුබසාධන ස්වේච්ඡා සංවිධානය මුළුමනින්ම තරුණ තරුණියන්ගේ අනාගත සුබ සිද්ධිය පිණිස අත්වැලක් වන සංවිධානයක් ලෙස සඳහන් කළ යුතුය. වසර තිහක් මුළුල්ලේ දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ ජීවිත ගමන් මගට පදනමක් වූ මෙම සංවිධානයේ තිස්්වැනි සංවත්සරය මේ මස 26 වැනි දිනට යෙදී ඇත.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වූ හෝ උසස් පෙළ විභාගයෙන් අසමත්වූවන් සඳහා කිසියම් ක්‍රමික වැඩසටහනක අවශ්‍යතාවය දිනෙන් දිනම උග්‍ර වෙමින් පැවතිණ.මේ හැරෙන්නට අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට තම අධ්‍යාපන කටයුතු කරගත නොහැකිව පාසල්වලින් ඉවත්ව අසරණව සිටි ආකාරය ද අමතක කළ නොහැක.

මෙම කාලීන අවශ්‍යතාව ඉතා හොඳින් තේරුම් ගෙන සිටි බෙල්ලන්විල රජ මහා විහාරාධිකාරි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ගරු බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් තමන් වහන්සේගේ සමීපතමයන් වූ විවිධ ක්ෂේත්‍රයන්හි නිපුණතා ඇති කීප දෙනෙකු එක් රැස් කොට ගෙන මෙම සමාජ සුබ සාධන ආයතනය 1982 වසරේදී බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී ආරම්භ කරන ලද්දේ එවකට බෙල්ලන්විල රාජමහා විහාරාධිපතිව වැඩවිසූ ගරු බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක හිමිපාණන් වහන්සේගේ ද පූර්ණ ආශිර්වාදය මතය.

පුහුණු පාඨමාලා සඳහා බඳවා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුහුණු කාලය මාස 06 සිට අවුරුදු 01 –02 දක්වාය. ගෘහ විදුලි ස්ථාපනය, ශීතකරණ වායු සමීකරණය , ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පය, මෝටර් කාර්මික ශිල්පය, ගුවන්විදුලි රූපවාහිනී , ඡායාරූප, මල් සැකසුම් සහ මනාලියන් හැඩගැන්වීම , කළමනාකරණ , වෙල්ඩිං හා ටිංකරින් , ලියවනපට්ටල් මෙන්ම පෙරදිග සංගීතය, නැටුම් ආදී සෞන්දර්ය පාඨමාලා මුල් කාලයේ සිටම මෙම ආයතනය මගින් සිසුන් සඳහා සංවිධානය කර තිබේ. මේ හැරෙන්නට විවිධ ක්‍රීඩා තරග සහ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් ද ක්‍රියාත්මක කරමින් ආධුනිකයන්ට බුද්ධිමය සංවර්ධනයක් ක්‍රියාත්මක කරන ලදී. මෙම පාඨමාලාවන් හදාරමින් එදා මෙදා තුර දෑතේ හුරුවක් ලබාගනිමින් ජීවිතය ජයගත් පිරිස දහස් ගණනක් බව ද සඳහන් කළ යුතු ය. මෙහිදී සිදු කෙරෙන්නේ හුදෙක් පාඨමාලාවන් සඳහා පුහුණුවක් ලබාදී සහතිකයක් ලබාදීම පමණක් නොවේ. මෙම පාඨමාලා හදාරණ සියලු සිසු, සිසුවියන් ආධ්‍යාත්මික වශයෙන්ද කිසියම් සාධනීය බවක් සඳහා යොමු කිරීම මෙමගින් සිදුකෙරේ. ඒ සඳහා පොහෝ දිනයන්හි දහස් සංඛ්‍යාත උපාසක උපාසිකාවන් උදෙසා ආහාර පාන සපයමින් උවටැන් කිරීමේ පෝය සේවාවකට යොමු කොට තිබේ. එමෙන්ම තම නිවෙස්වලම හුදකලාවී සිටින මහලු දෙමව්පියන් ප්‍රජා සංවර්ධන පදනම මගින් පවත්වාගෙන යනු ලබන වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත කැඳවා දිවා කාලයෙහි ආහාර පානාදියෙන් සංග්‍රහ කරමින් කිසියම් මානුෂික සේවාවක ද නිරත කරන අතර රෝහල්වල පමණක් නොව විහාරස්ථානයේ ද විවිධ ශ්‍රමදාන කටයුතු සඳහා ද යොදවනු ලැබේ. මේ හැරෙන්නට වාර්ෂික බෙල්ලන්විල ඇසළ පෙරහැර කාල සීමාවෙහි විවිධ වගකීම් පවරමින් පෙරහැර සේවාවන් සඳහා ද යොමු කරනු ලැබේ.

මාසික වෛද්‍ය සායන සංවිධානය කොට ඇස් කණ්ණාඩි ආදිය ලබාදීම, තෛ‍්‍රමාසිකව විශේෂඥ වෛද්‍ය සායනයක් සංවිධානය කරමින් විශාල රෝගීන් පිරිසක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම නොමිලයේ බෙහෙත් ලබාදීම. රෝදපුටු, අත්වාරු ආදිය ලබාදීම ආදි වශයෙන් විවිධ සේවාවන්ද ප්‍රජා සංවර්ධන පදනම මගින් සංවිධානය කරන ලදී. විශේෂයෙන්ම සුනාමි විපත් නායයාම් ගංවතුර විපත් ආදි වශයෙන් අනපේක්‍ෂිතව සමාජය පීඩාවට පත් හැම විටෙකම විවිධ ආකාරයෙන් ශ්‍රී ලංකා ප්‍රජා සංවර්ධන පදනම සිය යුතුකම් හා වගකීම් ඉටුකර ඇත. මේ සියලු කටයුතු සඳහා මූල්‍යමය ශක්තිය සපයා ඇත්තේ බෙල්ලන්විල විහාරස්ථානයට දිනපතා පැමිණෙන දහස් සංඛ්‍යාත පිරිස් ශ්‍රද්ධා භක්තියෙන් පුරවනු ලබන පිංකැටවලින් වීම සුවිශේෂ ලක්‍ෂණයක් ලෙස සඳහන් කළ යුතුය. මෙසේ විහාරස්ථානයේ සම්පත් හා තම පෞද්ගලික සම්පත් යොදවමින් වසර තිහක් මුළුල්ලේ ගරු මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන් වහන්සේ විසින් මෙම සංවිධානය සඳහා ලබාදෙන අයෝමය ශක්තිය නොවන්නට මෙවන් සංවිධානයක් අද දිනයෙහි පැවැත්විය නොහැකි වනු ඇත. වර්තමාන භික්‍ෂුවගේ කාර්ය භාරය කුමක් විය යුතුද යන්න සඳහාත් ප්‍රජාසංවර්ධන පදනමෙහි මගපෙන්වීම සියල්ලන්ගේ අවධානයට ලක්විය යුත්තකි. දසක තුනක් මුළුල්ලේ සමාජයට කිසියම් නැවුම් පණිවුඩයක් ලබාදුන් ශ්‍රී ලංකා ප්‍රජා සංවර්ධන පදනමට තවත් දසක කීපයක් පුරා දැයට හිතැති පෙරමුණ ගත හැකි පුරවැසියන් පිරිසක් බිහිකිරීම සඳහා ශක්තිය ලැබේවායි ආශිංසනය කරමු.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 24 වන බ්‍රහස්පතින්දා අපර භාග 03.03 ට ලබයි.
25 වන දා සිකුරාදා පූර්ව භාග 11.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 02 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]