දෙරූ
දෙනගම
සිරිවර්ධන
ඇය පෙනුණේ දුරින් වුවද ඇගේ දෙකොපුල් හි ඇත්තේ රෝස මලේ පෙත්තක සිනිඳු බව
යයි මට සිතිණ. අත්, පා දිදුළු දෙන රන්ලතාය. සිහිනිග, සායට තෙරපුණු
දෙවටොර, මගේ දෑසට ඉවසුමක් නැත. ලොව අසිරිමත්ම මැවීම ඇය.
මදින් මඳ ළං වූ ඇයගෙන් මසිත මත්විය.
ඒ සොඳුරු තුරුණු ලලනාව සමග එන්නී මැහැල්ලකි. ඇගේ සුදු කෙස් හිසට ම ඇලී
භාවනාවකය.
“ දුවේ, මට මහන්සියි” මැහැල්ලගෙන් කියැවිණි.
අහෝ ! මගේ දෑස ඒ මහලු වතට ඇදිණ.
එය එකම සුදුමැලි රැළිගොඩකි. ඇස් තිබුණේ වළකය. කම්මුල් ඇට මතුව පෙනිණ.
ගෙලෙහි සම් කඩ එල්ලෙයි. පෙරහන් කඩක් සේ පියයුරු එල්ලා වැටේ.
යළි මගේ දෑස තුරුණු ළඳගේ මුහුණට
යළි මහලු මවගේ මුහුණට
මගේ සිතේ විදුලි කෙටීමක් ඇතිවිය.
මේ මැහැල්ල ද වසර තිහ හතළිහකට පෙර මේ තුරුණු රුවින්ම බැබළෙන්නට ඇත.
තුරුණු ඇස් මත්කැරවන්නට ඇත. මේ තුරුණු රුව ද තව වසර තිහ හතළිහකින් මේ
මහලු රුව බවට පත්වනු ඇත.
මොහොතින් මොහොත,
දවසින් දවස,
සතියෙන් සතිය,
මාසයෙන් මාසය
වසරින් වසර තුරුණු ඇගේ රුව ගෙවී ගෙවී ගොස් මහලු රුවක් වනු ඇත.
මම දෑස පියා ගතිමි.
එක් රුවක් නිසා සිත මත් කළේ ඇසය. තවත් රුවක් නිසා සිත කලකිරීමට
හසුකළේද ඇසය. මගේ සිත සැරසුණේ ඒ තුරුණු රුව බදා ගැනීමටය. එය බදාගත
නොහැකිය. මන්ද?
මොහොතින් මොහොත එය මහලුවන හෙයිනි. ජරාවට පත්වන හෙයිනි. අනිත්‍ය වූ
දෙයක් බදාගෙන, රඳවාගෙන, උපාදාන කරගෙන සිටිය නොහැකිය.
මම දෑස හැරියෙමි
මට දැන් තුරුණු, මහලු දෙ රූ පෙනනුයේ එකසේය. රෝස පෙති දෙකොපුලේ එම රැළි
සමග කම්මුල් ඇට දකිමි. නිල් නුවන්හි අඳුරු වළ දකිමි. ඇත් දළ ගෙලෙහි
එල්ලා වැටෙන හම්කඩ දකිමි.
යළි දෑස පියා ගතිමි.
අනිත්‍යයි! අනිත්‍යයි !! අනිත්‍යයි !!!
- |