UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අජානීය අශ්වයා අන් අයට කරදර කරන්නේ නැහැ. එලෙසම අජානීය පුරුෂයත් සමගියෙන්, ඉවසීමෙන්, කරුණාවෙන් කටයුතු කරනවා. ඔබත් එලෙස කටයුතු කරන්න. අජානීය අශ්වයා අන් අශ්වයන් වැඩ කලත් නොකළත් වැඩ කරනවා. තම වගකීම නිසි ලෙස ඉටු කරනවා. එමෙන්ම අජානීය පුරුෂයාත් අන් අය කළ නොකළ දේ නොසොයා තම වගකීම, යුතුකම ඉටුකරනවා. ශීල සමාධි ප්‍රඥා දියුණු කරනවා.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
හිරි නිසොධො පුරිසො කෝච් ලෝකසමිං විහරති
යො නිනදං අප්පබෝධති අසො භද්‍රෙ කසාමිවාති

වාසනාවන්ත පින්වතුනි

බුදුබණ කියවනු කැමැති බුදුබණ අසනු කැමැති ධර්මය සාකච්ඡා කරනු කැමැති ඔබ ධර්මානු ධර්ම ප්‍රතිපත්ති අනුව කටයුතු කරන්නේ නම් මෙලොව සැප, පරලොව සැප හා නිවන් සැපත ද ළඟා කර ගැනීමට හේතුවේ.

ධර්ම දේශනයේ මාතෘකාව වශයෙන් මා තෝරා ගනු ලැබුවේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ සඳහන් වන හිරි සූත්‍රයයි. එක්තරා දේවතාවුන් කෙනෙකු විසින් අසන ලද පැනයකට බුදුරජාණන් වහන්සේ දෙන ලද පිළිතුරක් එම සූත්‍රය තුළින් පැහැදිලි කරනු ලැබේ.

හිරි නිසෙධෝ පුරිසො කෝච් ලෝකසමිං විජ්ජති

අජානිය අශ්වයා කස පහර වළක්වන්නාක් මෙන් නින්දාව වළක්වාලයිද එලෙසම ලජ්ජාවෙන් පව් බැහැර කරන අය ලොව ඇද්ද?

හිරි නිසොධා තනුයා යෙ චරන්ති සදා සතා යනුවෙන් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනු ලබන්නේ ලජ්ජාවෙන් පව් වළකන ලද අය සැමදා සිහි ඇතිව වාසය කරනු ලබයි. දුකෙහි කෙළවරට පත්ව විෂම ලෝකයේ සමව වාසය කරනු ලබන අය ස්වල්ප දෙනෙකු බව පැහැදිලි කළ සේක.

මෙම දෙසුම ධම්මපද පාලියේ දණ්ඩ වර්ගයේ පිළොතික තෙරුන්ගේ කථාවෙන් පැහැදිලි කරන්නට ද විය. එහි සඳහන් වන පරිදි ආනන්ද හිමියන් මග වඩිනා විට සිඟමන් යදින ළමයෙකු දැක මොහුගේ වාසනා ගුණය දැක පැවිදි වන්නට කැමැතිදැයි විමසූ විට අප වැන්නන් සසුනේ පැවිදි නො කරන බව ප්‍රකාශ කළා. එවිට ආනන්ද හිමියන් ප්‍රකාශ කරනු ලැබුවේ බුදුන් වහන්සේ කුල ගෝත්‍ර සොයන්නේ නැහැ. ඔබට පැවිදි වන්න පුලුවන්.ආනන්ද හිමියන් මේ අසරණ ළමයා පැවිදි කළා. තමාගේ කිලිටි ඇඳුම් සහ සිඟමන් යදින ලද පිඟාන ගසක් උඩ එල්ලා තැබුවා. කාලය ගෙවී යත්ම මෙම පිලොතික හිමියන්ට ගෙදර යන්නට අවශ්‍ය විය. එවිට පරණ ඇඳුම් එල්ලා තබන ලද ගස ළඟට ගොස් කල්පනා කරනවා මේ පරණ ඇඳුම් ඇඳ මේ පිඟාන රැගෙන සිඟමන් යදිනවාට වඩා මට මොනතරම් ප්‍රත්‍ය පහසුව සෙසු පහසුකම් පැවිදිව සිටිනවිට ලැබෙනවාද? කිහිප විටක් ඒ ගැන සිතා වීර්යය උපදවා රහත් විය. ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ මාතෘකා ගාථාව දේශනා කරමින් ලජ්ජාවෙන් පව් බැහැර කොට කුසලයට සිත යොමා රහත් භාවයට පත්වීම උතුම් බව පැහැදිලි කළ සේක.

අජානීය අශ්වයෙකු කස පහර වළක්වාලන්නා සේ අජානීය පුරුෂයාද ලජ්ජාවෙන් පව් බැහැර කරනු ලබනවා. අජානීය අශ්වයා පිළිබඳ විස්තරයක් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ උදාර සූත්‍රය තුළින් පැහැදිලි කර දක්වා තිබෙනවා. ඒ අනුව අජානීය අශ්වයා අජානීය ඇතා අජානීය පුරුෂයා මංගල වස්තු ලෙසයි සලකනු ලබන්නේ. අජානීය අශ්වයා ස්වාමියාට කීකරුයි. ඔහුගේ වැඩ කර දෙනවා. අජානීය අශ්වයාගේ මවුපියන් පිරිසුදුයි. චාරිත්‍ර ශීලය රැකිය යුතු උසස් ගුණ ධර්ම රැකීම ය. බැහැර කළ යුතු දේ බැහැර කිරීම වාරිත්‍ර ශීලයයි. මේ දෙක මව පියා වගෙයි. අජානීය අශ්වයා උපදින්නේ හින්දු නදී තිරයේ පමණයි. එලෙසම අජානීය පුරුෂයා උපදින්නේ බුද්ධ ශාසනයේ පමණයි. අජානීය අශ්වයා තණකොල කඩල යව බුදින විට පිළිවෙලකට කනු ලබයි. අජානීය පුරුෂයන් යෝනිසෝමනසිකාරයෙන් යුතුව සිහි කල්පනා ඇතිව සේඛීයාවල එන පරිදි න සුරු සුරු කාරකං භුඤජ්ස්සාමි සිකඛා කරණියා න හත්ථ නිල්ලේහකං න පත්ත නිල්ලේහකං න ඔට්ඨනිල්ලේහකං සුරු සුරු හඬ ඇතිව වලඳන්නේ නැහැ. අත ලෙව කන්නේ නැහැ. පාත්‍රය ලෙව කන්නේ නැහැ. දිව තොල ලෙව කන්නේ නැහැ. මේ ආදී වශයෙන් සංවරව ආහාර ගන්නවා. මෙම ආහාර ගනු ලබන්නේ න මදායන මණ්ඩනාය න විභූසනාය යනුවෙන් දක්වන පරිදි පැහැය පිණිසවත්, විනෝදය පිණිසවත්, මදය පිණිසවත් නොවේ. ශරීර පැවැත්ම පිණිස බ්‍රහ්මචර්යාව රකිනු පිණිසයි. එලෙස ම අජානීය පුරුෂයෙකු වන්න ඔබත් උත්සුක වන්න. අජානීය අශ්වයා කවදාවත් කුණු ගොඩේ මඩ ගොඩේ ලගින්නේ නැහැ. එලෙසම අජානීය පුරුෂයා පවට ලජ්ජාවෙන් අකුසල් සිදු කරන්නේ නැහැ. එසේ නොකරන්නේ සසර දුකට විපතට පත්වන නිසයි. ඔබත් අජානීය පුරුෂයෙකු වන්න.

අජානීය අශ්වයා අන් අයට කරදර කරන්නේ නැහැ. එලෙසම අජානීය පුරුෂයත් සමගියෙන්, ඉවසීමෙන්, කරුණාවෙන් කටයුතු කරනවා. ඔබත් එලෙස කටයුතු කරන්න. අජානීය අශ්වයා අන් අශ්වයන් වැඩ කලත් නොකළත් වැඩ කරනවා. තම වගකීම නිසි ලෙස ඉටු කරනවා. එමෙන්ම අජානීය පුරුෂයාත් අන් අය කළ නොකළ දේ නොසොයා තම වගකීම, යුතුකම ඉටුකරනවා. ශීල සමාධි ප්‍රඥා දියුණු කරනවා.

අජානීය අශ්වයා ඇදේට යන්නේ නැහැ. එලෙසම අජානීය පුරුෂයා අරි අටඟි මඟට අනුව නිවැරැදිව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරනු ලබනවා. ඒ නිවන් මගයි. ඔබත් එය අනුගමනය කරන්න. අජානීය අශ්වයා යුද්ධයේදී පසු බසින්නේ නැහැ. එලෙසම අජානීය පුරුෂයා චතුරංග සමන්වාගත වීර්යයෙන් ඇට නහර ඉතිරි වී ඇග, මස්, ලේ වියලි ගියත් වීර්යය අත පසු කරන්නේ නැහැ. තම කාර්යය සපල වන තුරු ඔබත් එලෙස කටයුතු කරන්න.

ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධ සාසනෙ අජානීය පුරුෂයා කවදාවත් දස අක්‍රෝස වස්තුන්ගෙන් අපහසයට නින්දාවට ලක්වන්නේ නැහැ.

ජීවිතය හරිම වැදගත්. පවට බිය වී ලජ්ජාවෙන් හොඳ සිරිත් සත් සිරිත් සුරකින්න. උතුම් මිනිසකු වන්නට උත්සුක වන්න. එය ඔබේ මෙලොව පරලොව සැනසීමට හේතු වේ. ඔබ සැමට තෙරුවන් සරණයි.

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු 06 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.41 ට පෝය ලබයි.
07 වන දා ඉරිදා පූර්වභාග 03.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 13 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]