UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
ත්‍රිපිටකයේ සඳහන් වන බුද්ධ දේශනාවන් අතුරෙන් ප්‍රමාණයෙන් වැඩිම දේශනාවන් දේශනාකොට ඇත්තේ කුමන ස්ථානයක සිට ද?

පිළිතුර
බුදුරජාණන් වහන්සේ දේශිත ධර්මයෙන් වැඩිම සූත්‍ර සංඛ්‍යාවක් දේශනා කොට ඇත්තේ සැවැත්නුවර ජේතවනාරාමයේ සිට ය.

ප්‍රශ්නය
ශාසනික ඉතිහාසයේ ජීවත්ව සිටි විවිධ කාන්තාවන් අතරෙන් “බුද්ධ මාතාව” නමින් ප්‍රසිද්ධ වූ කාන්තාවගේ නම කුමක්ද?

පිළිතුර
මහා ප්‍රජාපතී ගෝතමීය

ප්‍රශ්නය
“පංච සතික” නමින් ශාසනික ඉතිහාසයේ සටහන් වන ඓතිහාසික කරුණ කුමක්ද? ඒ සඳහා දඹදිව විසූ අජාසත් රජතුමා එම ඓතිහාසික සිදුවීමට කෙසේ දායක වූයේද?

පිළිතුර
පන්සියක මහ රහතන් වහන්සේලා සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු රජගහ නුවර පැවැත් වූ සංගායනාව මේ නමින් හැඳින් වෙයි. මගධ රට පාලනය කළ අජාසත් මහ රජතුමා සංගායනා ශාලාව සහ අවශ්‍ය සියලු පහසුකම් සපයා දුන්හ.

ප්‍රශ්නය
ශිලා ලේඛන මඟින් මහජනතාවගේ මෙලොව පරලොව දියුණුව උදෙසා අශෝක අධිරාජයා විසින් ඉදිරිපත් කළ ධර්මය සියලු ධර්මයන්ගේ එකතුවක් සේ සැලකිය හැකිය. මෙබදු නිගමනයකට සාධකවූ ශිලා ලිපිය කුමක්ද?

පිළිතුර
අශෝක රජතුමාගේ 12 වන ලිපියෙහි මෙසේ සඳහන් වෙයි.

“නරනිඳු හැම ආගමික පක්ෂයකටම සම්මාන දක්වන්නේය. ශ්‍රමණයනට වේවා ගෘහස්ථයනට වේවා විවිධ පුද පඬුරු හා සම්මාන මගින් බුහුමන් දක්වන්නේය. සිය සමයට ඇති ඇල්ම නිසා එහි කීර්තිය දියුණු කරනු පිණිස අනුන්ගේ ආගම් හෙලා දැකීම නුදුසුදුය. එයින් සිදුවන්නේ තමන්ගේ ආගමික කටයුතුවලට හානි සිදුවීමය. ජීවිතයෙහි පාරිශුද්ධභාවය මූලික ආගමික පිළිවෙත බව ඔහු පිළිගත්තේය.

ප්‍රශ්නය
අනුරාධපුර ථූපාරාමය හැර තවත් බොහෝ වෙහෙර විහාර දේවානම් පියතිස්ස රජතුමා විසින් කරවන ලදී. ඉන් කිහිපයක් නම් කරන්න.

පිළිතුර
තිස්සරාමය , කාලප්‍රාසාදය, සුණහාථ පිරිවෙන, දීඝචංකමණ පිරිවෙන, ඵලග්ග පිරිවෙන, මහ බෝගෙය, ලහබත්ගෙය ආදි ස්ථාන රාශියක් මහ විහාර භූමියෙහි සහ මිහින්තලෙහි ඉදිකර ඇත.

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ නොසිටි අවස්ථාවල උන්වහන්සේ වෙනුවට වැඳ පුදා ගැනීම සඳහා රෝපණය කොට තිබූ බෝධීන් වහන්සේ ගේ නම කුමක්ද?

පිළිතුර
සැවැත්නුවර ආනන්ද බෝධීන් වහන්සේ

ප්‍රශ්නය
බහුශ්‍රැතයන් අතරින් අග තනතුර ද සිහි කල්පනා ඇති ශ්‍රාවකයන් අතරින් අග තනතුරු ද ඉක්මන් අවබෝධය ලැබීමේ අග තනතුරද දිරිමත් ශ්‍රාවකයන් අතර අග තනතුර ද ලැබූ ශ්‍රාවකයාණන් වහන්සේ කවුද?

පිළිතුර
ආනන්ද මහ රහතන් වහන්සේ

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදායයන් විස්තර කරමින් “බුත්සරණ” රචනා කළ පඬිවරයාගේ නම කුමක්ද?

පිළිතුර
විද්‍යා චක්‍රවර්ති පඬිවරයා ය.

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මය දම්සක් පැවැතුම් සූත්‍රයෙහි සඳහන් වේ. එම ධර්මය ඇතුළත් බෞද්ධ දර්ශනය විදහා දක්වන සංකේතය කුමක්ද?

පිළිතුර
ධර්ම චක්‍රයයි

ප්‍රශ්නය
ලංකා ශාසනික වංශයෙහි වළගම්බා රාජ සමයෙහි සිදුවූ සුවිශේෂවූ ශාසනික කාර්ය කුමක්ද?

පිළිතුර
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර ත්‍රිපිටකය ආරක්‍ෂා කිරීම සඳහා උපකාර කිරීම.

ප්‍රශ්නය
රහතන් වහන්සේලාගේ පරිභෝජනය සඳහා කරවන ලද “අට සැටක්” ලෙන් පිහිටා තිබෙන ස්ථානය කුමක්ද?

පිළිතුර
මිහින්තලා පුද බිමෙහි “අට සැට ලෙන්” පිහිටා ඇත.

ප්‍රශ්නය
ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදයට බෙහෙවින් උපකාරක වූ කොළඹ පරම විඥානාර්ථ සමාගමේ නිර්මාතෘවරයාගේ නම කුමක්ද?

පිළිතුර
සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමා

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ විසින් ආදිත්ත පරියාය සූත්‍රය දේශනා කරන ලද්දේ කවුරුන් උදෙසාද?

පිළිතුර
තුන්බෑ ජටිලයෝ තවුස් පිරිකර ගඟ දිය දමා බුදුරජාණන් වහන්සේ දැක බණ අසා සෝවාන් ව ඒහි භික්‍ෂු භාවයෙන් පැවිදිවූහ. එහිදී බුදු රජාණන් වහන්සේ ‘ආදිත්ත පරියාය’ සූත්‍රය දේශනා කොට ඔවුන් හැම රහත් ඵලයට පැමිණ වූහ.

ප්‍රශ්නය
බහුශ්‍රැත ශ්‍රාවිකාවන් අතරෙන් අග තනතුර ලැබූ ශ්‍රාවිකාව කවුද?

පිළිතුර
දිනපතා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ ඛුජ්ජුත්තරාවෝ. සාමාවතී ප්‍රධාන පිරිසට බණ කියති. එහෙයින්ම තුමූ බණ ඉගෙන බහුශ්‍රැත බවට (බෝ ඇසූ පිරූ තැන් ඇති) පැමිණියහ. බුදුරජාණන් වහන්සේ ඛුජ්ජුත්තරාවන් බණ කියන උපාසිකාවන් අතරෙන් අගතැන්පත් කළහ.

ප්‍රශ්නය
පස්වන සියවසේ මහානාම රජු දවස ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික දේශාටක භික්ෂූන් වහන්සේ කවුද?

පිළිතුර
චීන ජාතික පාහියන් භික්ෂූන් වහන්සේ

ප්‍රශ්නය
නාම රූප දෙකින් යුක්තවූ සත්ත්වයා චතු සත්‍ය කෙරෙහි පවතින නොදැනීම ධර්මයෙහි සඳහන් වන්නේ කුමන නමකින්ද?

පිළිතුර
මිත්‍යා දෘෂ්ටිය ලෙසය.

ප්‍රශ්නය
දසපාරමිතා ධර්ම අතරින් “සීලපරමත්ථ” පාරමිතාව පැහැදිලි කරන්න.

පිළිතුර
බෝසතාණන් වහන්සේගේ සීල පාරමිතාව අති උදාර වූ “දාන පාරමිතාව“ සමගාමීව පවතින්නකි. “ශීල” යන පාලි වචනයේ සරල තේරුම හික්මීම යන්නය.

එහි කළයුතු ප්‍රගුණ කළයුතු චාරිත්‍ර ශීලය මෙන්ම හළ යුතු, නොකළ යුතු දේ ‘වාරිත්‍ර’ ශීලය වශයෙන් ද හඳුන්වා ඇත. කළයුතු චාරිත්‍ර නම් දෙමාපියන්ට දරුවන්ට ස්වාමිපුරුෂයාට, බිරිඳට, ගුරුවරුන්ට, සිසුන්ට, කුල දේවතාවුන්ට, ස්වාමි සේවකයන්ට ආදී හැමට ඉටුකළයුතු යුතුකම් සිඟාලෝවාද සූත්‍රයෙහි සවිස්තරව දක්වා තිබේ. ජීවිත පරිත්‍යාගයෙන් ශීලයෙහි පිහිටීම ද බෝසත් ගුණයකි. ජාතක කථා විස්තර අනුව ජීවිත පරිත්‍යාගය කළ අවස්ථා බෝසත් සිරිතේ දක්නට ලැබෙයි.

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 13 වන දා සෙනසුරාදා පූර්ව භාග 09.01 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 11.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 13 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් මස 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]