ඉල්පුර අටවක 2010-11- 13
උගත් පාඩම් අනුව ප්‍රතිසංධානය
ආගමේ නාමයෙන් එකිනෙකා මරා ගැනීම ලෝකයෙන් තුරන් වී නැති බව ඇත්ත
ය. එහෙත්, සාමය ඇති කිරීම සඳහා ආගම් සතු ශක්තිය අඩුවෙන්
තක්සේරු කළ යුතු නැත. ලෝකයේ ප්‍රධාන ආගම් සතු සාම විභවය පිළිබඳ
ව ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන කළ සඳහනක් සම්බෝධිනී අභිනන්දන
ශාස්ත්‍රීය සංහිතාවෙන් මෙහි පහත උපුටා දක්වමු.
“ජෛන හා හින්දු යන ආගම් දෙක ම “අහිංසාව පරම ධර්මය වේ “ යැයි
පිළිගනිති. බෞද්ධයන් විසින් රැකිය යුතු පළමු වෘතය “
ප්‍රාණඝාතයෙන් වැළකීම “ වන විට බුද්ධාගමේ උසස්තම වටිනාකමක් ලෙස
සැලකෙන්නේ අනෙකා කෙරෙහි වන මෛත්‍රීයයි. යුදෙව්, ක්‍රිස්තියානි
සහ ඉස්ලාම් යන ආගම් තුන ම මිනිසුන් අතර සාමය සහ සහෝදරත්වය උසස්
කොට සලකන අතර ‘නුඹ නොමැරිය යුතු ය ‘ යන දිව්‍ය පනත එක ලෙස
පිළිගනිති. අති පුරාණ යුදෙව් ඉගැන්වීම්වලින් එකක් වන්නේ “ එක්
මනුෂ්‍යයකුගේ ජීවිතය ආරක්‍ෂා කොට දෙන කවරෙක් වුවත් ඔහු විශාල
ජනකායකගේ ජීවිතය ආරක්‍ෂා කර දුන්නා වැනිය. එහෙත් එක්
මිනිසකුගේ ජීවිතය විනාශ කරන්නා මුළු ලෝකය ම විනාශ කරන්නේ ය, “
යනුවෙනි. යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් යන ආගම්වල
ඉගැන්වීම් සංස්ලේෂණය කරගෙන ඇති බහායි ධර්මය “ දෙවියන්ට බයවෙන්න
අහෝ මිනිසුනි, කිසිවකුගේ හෝ ලේ සෙලවීමෙන් වළකින්න’ යනුවෙන්
උපදෙස් දෙයි. යට දක්වන ලද සරල උපුටන මඟින් ඉඟි කෙරෙන ගැඹුරු
අධ්‍යාත්මික ඉගැන්වීම්වල හරය නැවත නැවතත් අනේකවිධ අහිංසාවාදී
චින්තාවන් හා ව්‍යාපාර හරහා මතුවෙනු අපට දැකගත හැකි ය. “
එ සේ වුව ද ආගම් සතු මේ ශක්තිය මනාලෙස ප්‍රයෝජනයට ගැනීමට අප
සමත් වී නොමැත. එම අසමත් භාවය පිළිබඳ ව සමාජයේ අවධානය යොමු
කිරීමට සමාජ සංවර්ධන ආයතනයෙහි අධ්‍යක්‍ෂ පී.මුතුලිංගම් මහතා
උත්සාහ දරා තිබේ. ඒ, උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම හමුවේ
සාක්කි දුන් අවස්ථාවේ දී ය.
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හා ශ්‍රී‍්‍ර ලංකා රජය අතර
සටන් විරාම ගිවිසුම අත්සන් කරන ලද 2002 පෙබරවාරි මස 21 වන දා
සිට යුද්ධය අවසන් කළ 2009 මැයි මස 19 වන දා තෙක් සිදුවීමට ඉඩ
තිබූ කරුණු කිහිපයක් පිළිබඳ ව පරීක්ෂා කිරීම සඳහා ජනාධිපති
මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මේ කොමිසම පත් කොට තිබේ. හිටපු
නීතිපති සී.ආර්. ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම
කොමිසමෙහි එච්.එම්.ජී.එස් පලිහක්කාර, ආචාර්ය ඒ රොහාන් පෙරේරා,
සී. චන්මුගම් , මහාචාර්ය කරු හඟවත්ත, එම්.ටී. එම්. බෂික් , මනෝ
රාමනාදන්, එම්.පී. පරණගම යන මහත්වරුන් සෙසු සාමාජිකයෝ වෙති.
කොළඹ පිහිටි ලක්‍ෂ්මන් කදීර්ගාමර් අන්තර්ජාතික සම්බන්ධතා සහ
ක්‍රමෝපාය අධ්‍යයන මධ්‍යස්ථානයේ දී රැස්වූ එම කොමිසම හමුවේ
පී.මුතුලිංගම් මහතා මෙ සේ ප්‍රකාශ කැර ඇත.
“මේ රටේ ප්‍රධානතම ප්‍රශ්නයට එක් හේතුවක් ලෙස මා දකින්නේ මෙ රට
ක්‍රියාත්මක ආගමික ආයතන මෙන් ම ආගමික නායකයන් කටයුතු නො
කිරීමයි. ජනතාව අතර සමඟිය ඇති කිරීමේ හැකියාව ආගමික නායකයන්ට
තිබෙනවා. එහෙත්, ඔවුන් එය කළේ නැහැ. මේ කුඩා රට දෙකඩවේයැයි
සාධාරණ බියක් තිබෙනවා .”
“මේ රට දෙකඩ කළ නොහැකි යි. එම ආකල්ප ඇති කර සහෝදරාත්මක බැඳියාව
ඇති කිරීමේ ක්‍රියාවලිය ආගමික නායකයන් කළ යුතු යි. ඒ සඳහා වන
හැකියාව දේශපාලනඥයන්ට වඩා ආගමික නායකයන්ට තිබෙනවා. ඒ නිසා තමයි
ඡන්දයක් පැවැත්වෙන කාලයට දේශපාලනඥයන් ආගමික නායකයන් සොයා
විහාරස්ථාන සහ දේවස්ථාන, පල්ලි කරා යන්නේ . සිය දේශපාලන
ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා ඔවුන් ආගමික නායකයන් සතු
සහජීවන හැකියාව ප්‍රයෝජනයට ගන්නවා. එය වාර්ගික අර්බුදයේදීත්
උපයෝගී කරගත හැකි යි.”
මෙ රට වාර්ගික අර්බුදය විසැඳිම සඳහා ආගම සතු ශක්තිය ප්‍රයෝජනයට
නොගැනීම පිළිබඳ ව බෞද්ධ භික්‍ෂූන් වහන්සේ වෙත ඇඟිල්ල දිගු
කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වී තිබේ. “ජනවාර්ගික ඝට්ටනය
විසැඳිමේ දී භික්‍ෂූන්ගේ කාර්යභාරය ‘ නමැති පර්යේෂණ
පත්‍රිකාවෙන් ඊට යම් පිළිතුරක් දීමට ආචාර්ය අසංග තිලකරත්න
උත්සාහ දරා ඇත. එහි සුළු කොටසක් උපුටා දැක්වීමට කැමැත්තෙමු.
“දෙමළ ජනතාව අතරට බුදුදහම හඳුන්වා දීමේ අවස්ථාවක් උදාකර
නොගැනීම මහාචාර්ය එච්.එල්. සෙනෙවිරත්න ඇතුළු විද්වතුන් විසින්
අවධානය යොමු කර ඇති කරුණකි. වසර දෙදහස් තුන්සියයක් පමණ බුදුදහම
පැවැති මෙම දිවයිනෙහි ඉතා ඈත අවදියක සිට දෙමළ ජනතාව ද ජීවත්වී
ඇත ද ඔවුනතර බෞද්ධ පිරිසක් නොමැති වීමේ මූලික වගකීම බාරගත
යුත්තේ භික්‍ෂූන් වහන්සේ විසිනි. මා දන්නා පරිදි මෙ සේ වීමේ
හේතුව ඓතිහාසික ව පවත්නා සැකය වැඩි විමසීමකින් තොර ව දිගට
පවත්වා ගෙන යෑමය . දකුණු ඉන්දියාවෙන් නිරතුරු ව එල්ල වූ
ආක්‍රමණවල දී ආගමට ද පහරදීම හේතු කොට ගෙන භික්‍ෂූන් වහන්සේ අතර
දෙමළ ජන කොටස් පිළිබඳ ව සැකයක් පැවතීම තේරුම් ගත හැකි ය “
මේ තත්ත්වය වෙනස් කිරීමට කාලය පැමිණ තිබේ. |