සබ්බසංඛාරේසු අනිච්ච සංඥාව
			
			 නාවලපිටියේ 
			 
			අරියවංශ හිමි 
			
			 
			අප මීට පෙර කතා කළේ සියලු ලෝකය කෙරෙහි ඇල්ම දුරු කර ගැනීම පිණිස පවතින 
			සංඥාව එනම් “සබ්බලෝකේ අනභිරත සංඥාව” පුරුදු කර ගන්නේ කොහොම ද? කියන 
			කරුණ. ඒ වගේ ම ඒ භාවනාව පුරුදු කර ගැනීමෙන් අපිට අත් කර ගන්න පුළුවන් 
			ප්‍රතිලාභ අපි කෙටියෙන් සරලව කතා කළෙමු. විශේෂයෙන් එය සංකීර්ණ 
			භාවනාවක්. හුරු වෙන්න අපහසු යි. නමුත් අප ටික ටික හුරු කර ගත්තොත් ඉතාම 
			සුව පහසුව ඇති කර ගන්න පුළුවන් කමක් තියෙනවා.  
			අපි අද සිහිකර දෙන්න කල්පනා කළේ, “සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥාව” කියන 
			භාවනාව. ඒ සංඥාවත් පුරුදු කර ගැනීම අමාරු යි. නමුත් අපිට සියලු සංස්කාර 
			කෙරෙහි අනිත්‍ය හුරු කර ගන්න ලේසි විදිහක් තමයි පංච උපාදාන ස්කන්ධය 
			කෙරෙහි ඇල්ම දුරුවෙන විදියට, අනිත්‍ය විදියට වඩන්න පුරුදු වීම. අපිට 
			එමගින් මේ සංඥාව හුරු කර ගන්න පුළුවන්. සියලු සංස්කාර කෙරෙහි ඇල්ම දුරු 
			කර ගන්නට තමයි මේ ධර්මය පුරුදු කර ගන්නේ. සියලුම සංස්කාර පංච 
			උපාදානස්කන්ධයට අයිති යි. පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇල්ම දුරු 
			කරගත්තොත් සියලු සංස්කාර කෙරෙහි ඇල්ම දුරු වෙලා යනවා. ඒ නිසා පංච 
			උපාදානස්කන්ධය කෙරෙහි ඇල්ම දුරු වෙන විදියට “අනිත්‍ය” පුරුදු කර 
			ගත්තොත් ඒ මගින් අපිට මේ සංඥාව පුරුදු කර ගන්න අවස්ථාවක් ඇති වෙනවා. 
			(පාරිලෙය්‍යක සූත්‍රය/සංයුක්ත නිකාය 111) 
			මේ භාවනාව ටික ටික පුරුදු වීමෙන් අපට මේක තේරුම් ගන්න පුලුවන් කමක් 
			තියෙනවා. පංච උපාදානස්කන්ධය හට ගැනීමත් නැති වීමත් ගැන භාවනා විදිහට 
			වඩන පිළිවෙළක් කෙටියෙන් මම කියන්නම්. ඒක ටික ටික හුරු කර ගන්න. සමාධිය 
			පුරුදු වීමත් එක්ක, ටික ටික තේරුම් බේරුම් කර ගන්න පුළුවන්කම ඇතිවේ. 
			මේ සංඥාව මේ විදියට භාවනා වශයෙන් හුරු කර ගන්න “සතර මහා ධාතුන්ගෙන් 
			යුතු මේ රූපය ආහාරයෙන් ඇති වෙලා ආහාර නැති වීමෙන් නැති වෙලා යන නිසා 
			අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ විපරිනාමයට පත්වෙන 
			රූපය, මම නොවෙමි. මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි. ස්පර්ශයෙන් ඇතිවන හඳුනා 
			ගැනීම ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි අනිත්‍යයි 
			අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ විපරිනාමයට පත්වන විදීම මම නොවෙමි .මගේ 
			නොවෙයි මගේ ආත්මය නොවෙයි. 
			ස්පර්ශයෙන් ඇතිවන හඳුනා ගැනීම ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා 
			අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ විපරිනාමයට පත්වන 
			හඳුනා ගැනීම මම නොවෙමි. මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි. ස්පර්ශයෙන් ඇති 
			වන චේතනාව ස්පර්ශය නැති වීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි අනිත්‍යයි 
			අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ විපරිනාමයට පත්වන චේතනාව මම නොවෙමි. මගේ 
			නොවෙයි මගේ ආත්මය නොවෙයි. නාමරූපයෙන් ඇතිවන විඥානය නාම රූප නැති වීමෙන් 
			නැති වී යන නිසා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ 
			විපරිනාමයට පත්වෙන විඥානය මම නොවෙමි. මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි. ඔය 
			විදියට හුරු කර ගන්න. මේකත් පුරුදු වෙන්නෙ ටික ටික.  
			හැම භාවනාවක් ම ටික ටික තමයි පුරුදු වෙන්නේ. ටික ටික පුරුදු වෙනකොට 
			අපිට ඒක හුරු පුරුදු දෙයක් බවට පත්වෙයි. එක පාරට කරන්න බෑ. අනික කලබලයට 
			මනසිකාර කරන්න එපා. යම් රිද්මයකට කරන්න බලන්න. එතකොට තමන්ට හුරුවෙයි. 
			ඉස්සෙල්ලා පුරුදු කර ගැනීම සඳහා කරන්න ඕනෑ. පස්සේ අපට හොඳින් ජීවත් 
			වන්න පුළුවන් කම තියෙනවා. 
			සබ්බසංඛාරේසු අනිච්ච සංඥාව කියන සංඥාව හොඳින් පුරුදු කර ගත්තොත් එයාට 
			සිතේ ඇතිවන ඕන පීඩාවකින් ගැළවෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අපහසු 
			යි. අමාරුළුවෙන් තමා මේවා කරන්න තියෙන්නෙ. මේ ධර්මයන් හොඳින් හුරු කර 
			ගන්න කෙනා හොඳට යුද ශිල්පය දන්න දක්ෂ සොල්දාදුවෙක් වගේ අපිට භාවනාවක් 
			පුරුදු වෙන මුල් කාලේ එහෙම ගැටලු එන්නේ නෑ. භාවනා කරගෙන කලක් යද්දී 
			අපිට චිත්ත පීඩා එන්න පුළුවන්. අපි ආන්න එතකොට එන චිත්ත පීඩා දුරු කර 
			ගන්නේ අප පුරුදු වුණු භාවනා පාවිච්චි කරලා. යුද්ධයට යන සොල්දාදුවා වගේ. 
			සොල්දාදුවා යුද්ධයට කලින් පුහුණු වෙනව නේ ද? යුද්ධයට කලින් සොල්දාදුවා 
			පුහුණු වෙනවා. පුහුණු වෙනකොට ඒක ප්‍රනීතයි. ඒ පුහුණුව ප්‍රනීතයි නේ ද? 
			යුද භටයෙක් හමුදාවට බැඳීලා පුහුණු වෙනවා පුහුණු වෙන්නේ බයෙන් ද සතුටින් 
			ද? සතුටෙන් ප්‍රීතියෙන් එයා පුහුණු වෙන්නේ. පුහුණුව ඉවර වෙලාත් සතුටු 
			වෙනවා නේ ද? එයාට මරණ භයක් එනව ද? මරණ භයක් තියෙනව ද? සතුරු බයක් 
			තියෙනවා ද? අනතුරක් එයාට තියෙනව ද? නෑ. එයා ප්‍රීතියෙන් යුද ශිල්පය 
			පුරුදු වෙනවා. ඔන්න පුරුදු වෙලා එයා යනවා යුද්ධයට.  
			දැන් පුරුදු වුණායින් පස්සේ “ආ පුතේ ගෙදර පලයන්” කියනව ද? ගෙදර පලයන් 
			කියන්නේ නෑනේ. ඒකට ද පුරුදු වෙන්නේ එයා. නෑ නෑ යුද ශිල්පය පුරුදු 
			වෙන්නේ යුද්ධ කරන්න. සතුරාට එරෙහිව සටන් කරන්න. ඉතින් ඊට පස්සේ එයා 
			යුද්දෙට ගිහිල්ලා පාවිච්චි කරන්නෙ මොනව ද? පාවිච්චි කරන්නෙ කලින් 
			පුහුණු වූ දේමයි. කලින් යම් ශිල්පයක් ද පුහුණු වුණේ ඒ ශිල්පය යුද්ධයේ 
			දී පාවිච්චි කරන්න ඕනෑ. එතකොට ඒ පුහුණුව තවත් වැඩි දියුණු වෙනවා.එතන 
			තියෙන්නේත් පුහුණු වීමක්. ඒක තව දුරටත් වැඩි දියුණු වෙනවා. 
			භාවනා කරන කෙනාත් ආන්න ඒ වගේ, කෙලෙස් හමුදාව එක්ක සටන් කරන්න කලින්, 
			අවි හරඹය පුරුදු වෙනවා. මුලින් භාවනා කරනවා කියන්නේ ඒකට යි. අප භාවනාව 
			ටික ටික කර කර පුරුදු වෙනවා. සමාධියක් ඇති කර ගන්නවා. ඒ සමාධිය ඇති කර 
			ගන්නා තෙක් ඉතා ප්‍රනීත යි. ඒ සමාධියත් ප්‍රනීත යි. ඊට පස්සේ තමයි 
			යුද්දේ තියෙන්නේ එතෙක් යුද්දේ නෑ. සමාධියක් ඇති කර ගෙන ඒ සමාධිය වඩන්න 
			ඕනෑ. ආන්න එතකොට කෙලෙස් යුද්දේ පටන් ගන්නවා. අන්න එතනදි අපිට අපහසුකම් 
			ආවොත් අපිට පාවිච්චි කරන්න තියෙන්නේ අපි කලින් පුරුදුවුණු භාවනාම යි. 
			වෙන ක්‍රමයක් නෑ. 
			සොල්දාදුවා හමුදාවට බැඳිලා අවි පුහුණු වෙනවා සතුරු හමුදාවට එරෙහිව සටන් 
			කරන්න ගියහ ම එයා පාවිච්චි කරන්නේ කලින් ඉගෙන ගත්ත දේ නේ ද? ඉතින් ඒවා 
			පාවිච්චි කරන්න ඕනෑ. ඒ නිසා තමයි අප හොඳට පුරුදු වෙන්නේ. අප භාවනා ඉගෙන 
			ගන්න කොට කලබලයට භාවනා කරන්න පටන් ගන්නෙ නෑ. මුල් කාලේ හොඳින් ඉගෙන 
			ගන්න. ඒ භාවනා ඉගෙන ගෙන හොඳට පුරුදු කර ගන්න. පුරුදු වුණායින් පස්සේ 
			යම් කලකදී අපට සතුරු සේනාවත් එක්ක යුද්ධ කරන්න කලක් එයි. 
			කෙලෙස් යුද්දේ පටන් ගන්න කලක් එයි. ආන්න එතකොට අපට ඒ කෙලෙස් යුද්දෙන් 
			පරදින්නෙ නැති කෙනෙක් බවට පත්වෙන්නෙ අප මුලින් පුරුදු වෙන ධර්මය 
			පාවිච්චි කරලාම යි. ඒ ඉගෙන ගන්න සූත්‍ර දේශනා, ඊළඟට අපි ලැබෙන අවවාද 
			අනුශාසනා, ඊළඟට අපි පුරුදු කරගත්ත භාවනා, පුරුදු කරමින් මේවා ම 
			පාවිච්චි කරමින් අපි ඒ අපහසුතාවන් දුරු කර ගනිමු. 
			ඉතින් ඒ සඳහා අපිට සිහිය උපදවලා දෙන්නේ කල්‍යාණ මිත්‍රයා. “ඔතෙන්දි 
			මේකයි කරන්නේ” “මෙතෙන්දි මේක යි කරන්නේ” “ඕක කරන්න එපා” “ඔහොම නෙමෙයි 
			කරන්නෙ” “දැන් මෙහෙම කරන්න” අහවල් දේශනාව බලන්න” ඔය ආදි වශයෙන් සිහිය 
			උපද්දවලා දෙන්නේ කල්‍යාණ මිත්‍රයා. මොකද සිහි උපද්දවා ගන්න බැරි වෙන 
			වෙලාවල් තියෙන්න පුළුවන්. ආන්න එතකොට සිහිය උපද්දවා දෙන්නෙ කල්‍යාණ 
			මිත්‍රයා. එයා සිහිය උපද්දවා දීම පිණිස අනුකම්පාවෙන් සොයා බලමින්ම වාසය 
			කරන කෙනෙක්. එයා තුළ තියෙන්නේ අනුකම්පාව සහ අන් අයගේ දියුණුවට කැමැත්ත. 
			මේ තමා කල්‍යාණ මිත්‍රයා තුළ බලවත්ව තියෙන දේ. ආන්න ඒ කරුණු දෙක මුල් 
			කරගෙන උපකාරයට නැමුනු සිතින් තමා වාසය කරන්නේ. ඒ නිසා අපිට කල්‍යාණ 
			මිත්‍ර ඇසුර තරම් සැප පහසු ආරක්ෂාව ඇති කරන්නා වූ තැනක් ඇත්තේ නෑ. 
			ඉතින් මේවා තේරුම් අරගෙන මේ භාවනාවන් හොඳින් පුරුදු කර ගන්න. එවිට අප 
			කාටත් ඉතාම සුව පහසු ජීවිතයක් ඇති කර ගන්න පුළුවන්කම තිබේවි. එතකොට 
			අපි මූලික වශයෙන් කළයුතු භාවනා කීපයක් කතා කළෙමු. එවිට මම හිතන්නේ අපට 
			වැටහීමක් ඇති ඒ ගැන, අපි දවස් කීපයක් තිස්සේ කතා කළෙමු. ඉතින්, අප 
			විශ්වාස කරනවා මේ අයට යම් වැටහීමක් ඇති වෙන්න ඇති. සරල මට්ටමින් හෝ. 
			ඉතින් ඒ කියා දුන්න භාවනාවන් සහ කාරනාවන් තේරුම් ගෙන, ටික ටික පුරුදු 
			කරගෙන, තම තමන්ගේ ජීවිතයට ඒ උතුම් සැප අත් කර ගැනීම පිණිස, අත් නොහරින 
			වීර්යය, කැමැත්ත උපදවා ගනිත්වා කියලා අපි ආශිර්වාද කරමු. සියලු දෙනාට ම 
			තෙරුවන් සරණයි. 
			 
			මතු සම්බන්ධයි 
			 
			   |