UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයන්ගේ මහ ගෙදර වශයෙන් සැළකෙන දඹදිව සාංචි පුද බිම වැඳ පුදා ගැනීමේ මහඟු අවස්ථාව පසුගියදා අපට හිමි විය.

සාංචිය පිහිටා ඇත්තේ නවදිල්ලියේ සිට සැතපුම් 465 ක් (කි.මී.745 ක් ) දුරින් වූ බෝපාල් නගරයට නුදුරිනි. බෝපාල් නගරයේ සිට සාංචියට ඇති දුර ප්‍රමාණය කි.මී. 46 කි.

එම පුද බිම අයත් වනුයේ භාරතයේ මධ්‍ය ප්‍රාන්තයේ රායසේන් දිස්ත්‍රික්කයටය.


සංඝමිත්තා තෙරණියගේ ආරාමයේ නටබුන්

සාංචි පුදබිමේ අනෙකුත් චෛත්‍යය

සාංචි තොරණේ කැටයම්

වත්මනෙහි සාංචි පුද බිම සහිත ප්‍රදේශය මැච්චි, කනක හේරා, කලාන්, කච්චිකානා, කේරා, නගෝරි සහ ක්වාන්ගොන් යන ගම්මානයන්ගෙන් වටවූ ජනපදයකි. ප්‍රධාන කරුණු දෙකක් නිසා සාංචිය ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් ගනී.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය මෙන්ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන සංඝමිත්තා මහරහත් තෙරණියගේ ලංකා ගමනයද ආරම්භ වී ඇත්තේ එම පුද බිමෙනි.

සාංචිය හේතු කොටගෙන ශ්‍රී ලංකාව තුළ බුදු දහම ස්ථාපිත විය. තුන්වැනි ධර්ම සංඝායනාව පවත්වා රටවල් නවයකට ධර්මය ප්‍රචාරය කෙරුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවට වැඩම කරන ලද්දේ මිහිඳු මහ රහතන් වහන්සේය. පොසොන් පොහෝ දිනෙක මිහිඳු මහ රහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල තෙරවරු සහ සුමන සාමණේරයන් හා පණ්ඩුක උපාසක ඇතුළු පිරිස සමග ලංකාවට වැඩම කරන ලද්දේ සාංචි පුද බිමේ සිටය.

ඉන් මාස කිහිපයකට පසුව සංඝමිත්තා මහ රහත් තෙරණිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන දහ අට කුලයක පිරිසක්ද සමග ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබිණි.

මහින්දාගමනයෙන් පසු ලාංකික ජන ජීවිතය තුළ සැබැ වූ පරිවර්තනයක් සිදුවිය. ඒ පදනම ලැබුණේ සාංචිය තුළිනි.

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගේ ධාතූ®න් වහන්සේ තැන්පත් කළ චෛත්‍යයද, මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ඇතුළු දස නමකගේ ධාතුන් වහන්සේ තැන්පත් කළ ස්ථූපද පිහිටා ඇත්තේ මේ පුද බිමෙහිය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව මහා කච්චායන මහ රහතන් වහන්සේ සාංචි පුද බිමෙහි වැඩ හිඳිමින් බුදු දහම ව්‍යාප්ත කිරීමේ කර්තව්‍යයෙහි යෙදී තිබේ. උන්වහන්සේට අයත් භික්‍ෂු භික්‍ෂුණීන් වහන්සේලා සාංචි පුදබිමෙහි වැඩ හිද ඇත.

වේදිස නුවර සිටු පවුල බුද්ධ කාලයේ සිට පැවත ආ බෞද්ධ දායක පවුලකි. එම සිටු පවුල සාංචි පුද බිම සංරක්ෂණය කර තිබේ. සාංචිය අයත්ව තිබූ අවන්ති රාජ්‍යය පාලනය කරන ලද්දේ අශෝක රජු විසිනි. එහි විසූ වේදිස රජතුමාගේ දියණිය වූ වීදිසා දේවි විවාහ කරගත් අශෝක රජුට දරුවන් දෙදෙනෙක් සිටියේය. මහින්ද හා සංඝමිත්තා ඒ දෙදෙනායි. “

බිංදුසාර රජු (ක්‍රි.පූ. 298 - 273 ) අභාවයට පත්වීමත් සමගම අශෝක, පාටලී පුත්‍ර නගරයේ රජු බවට පත්විය. එතැන් පටන් අශෝක සටන් කරමින් සිය බලය ව්‍යාප්ත කිරීමට පටන් ගත්තේය. එම සටන් වලින් විශාල මිනිස් සංහාරයක් සිදුවිය.අවසාන කාලිංග යුද්ධයෙන් පසු සංවේගයට හා කළ කිරීමට පත් අශෝක රජු “ තවදුරටත් යුද්ධ නොකරමි “ යි. අදිටන් කර ගත්තේය. ඉන්පසු ධර්මිෂ්ඨයෙකු බවට පත් වූ ඔහු ආගම පිළිබඳව පැහැදි මෛත්‍රීය, කරුණාව, සහ අවිහිංසාව පෙරදැරි කරගෙන තම දරු දෙදෙනාද සම්බුද්ධ ශාසනයෙහි පැවිදි කරවීය.

අනතුරුව තුන් වන ධර්ම සංගායනාවද පවත්වා දඹදිව පුරා අසූ හාර දහසක් වෙහෙර විහාර ඉදි කළේය. ඉන් පසු ඔහුට චණ්ඩාශෝක යන නම වෙනුවට ධර්මාශෝක යන නම එකතු විය.

ධර්මාශෝක රජු විසින් සාංචිය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති බැව් පෙනේ. එයට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපා ඇත. තමා මුලින්ම පාලනය කළ ප්‍රදේශය තුළ සාංචිය පිහිටා තිබීම ඉන් එකකි. අනෙක් හේතුව නම් තමා වැඩියෙන්ම ආදරය කළ වේදිස දේවිය විසූ ප්‍රදේශය අවන්තිය වීම නිසා විය හැකිය.

සාංචි පුද බිම තුළ පිහිටි මහා ස්තූපය, අශෝක ස්ථම්භය සහ සංඝාවාසය අශෝක රජු විසින් ඉදිකරවා තිබේ.

දැහැමි දිවි පෙවෙතක් ගත කළ අශෝක රජු සාංචි භූමිය තුළ මංමාවත්, ළිං පොකුණු, දාන ශාලා සහ රෝහල් විශාල වශයෙන් සංවර්ධනය කළ අතර, දඩ කෙළියද නවත්වා බුද්ධ ධර්මය ප්‍රචලිත කිරීම සඳහා සෙල් ලිපි සහිත ස්ථම්භ සිය ගණනක් ඉදිකරනු ලැබිණ.

අශෝක රජු හතළිස් වසරක් රාජ්‍ය පාලනයෙහි නිරත වීමෙන් අනතුරුව ක්‍රි.පූ. 232 දී අභාවයට පත් විය.

දිනපතා මහා සංඝ රත්නයට දන් දුන් අශෝක රජුට මරණාසන්න මොහොතේ තමා සන්තකව තිබූ එකම වස්තුව වූයේ නෙල්ලිගෙඩියක් පමණි. රජු එයද භික්‍ෂූන් වහන්සේට පූජා කර ඇත. මෙය සිහිවීම පිණිස සාංචි පුද බිම තුළ චෛත්‍යයක් ඉදිකරවා එහි මුදුනත නෙල්ලි ගෙඩියක හැඩය ගත් විශාල ගලක් කැටයම් කොට තැන්පත් කර තිබේ. අද පවා මෙය දැකිය හැකිය.

හත්වන සියවසේ සිට දොළොස් වන සියවස දක්වාවූ කාල සීමාව තුළ එම පුදබිමෙහි නොයෙක් වෙහෙර විහාර ඉදිවී තිබේ. එසේම මෙම කාලය තුළ නොයෙක් ආක්‍රමණිකයෝද සාංචියට පහර දී ඇත. ඒ අතර හූණ, පරමාර හා මුසල්ටෝනුවෝද වූහ. දාහතර වන සියවසේ සිට දහ නව වන සියවස දක්වා සාංචි පුදබිම වල් බිහිව තිබිණ.

ජෙනරාල් ජොන්සන් , ජෙනරාල් කනිංහැම්, කැප්ටන් මෙයිසි, මේජර් කෝල් සහ සර් ජෝන් මාර්ෂල් වැනි සුප්‍රකට පුරා විද්‍යාඥයෝ 1822 සහ 1919 අතර කාලය තුළ සාංචි භූ®මිය තුළ කැණීම් කටයුතු කර තිබේ.

1851 දී භාරතයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ සර් ඇලෙක්සැන්ඩර් කනිංහැම් සහ කැප්ටන් මෙයිසි යන දෙදෙනා සාංචියට පැමිණ වනයෙන් වැසී තිබුණු භූ®මිය එළිපෙහෙළි කොට එහි තිබූ සෙල්ලිපිද අධ්‍යයනය කර තිබේ. අනතුරුව අංක 1 සහ අංක 2 දරන ස්ථූපයන්හි තිබී මොග්ගලීපුත්තතිස්ස තෙරුන් ඇතුළු රහතන් වහන්සේ දස නමකගේ ධාතු තැන්පත් කර තිබූ මංජුසාවක් සොයා ගනු ලැබිණ. පසුව කරන ලද කැණීම් වලින් සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කර තිබූ කරඬු සොයා ගැණින. ඒ සියලු ධාතුන් වහන්සේ මංජුසා කරඬු එකී පුරාවිද්‍යාඥයන් විසින් සුරක්ෂිතව එංගලන්තයට රැගෙන යනු ලැබිණ.

පුරා විද්‍යාඥ කනිංහැම් මහතාගෙන් මහත් සේවාවක් ඉටුවී තිබේ. ධාතුන් වහන්සේ ආරක්ෂා කිරීමත්, සාංචිය අවට ඇති සොනාරි, සන්ධහර,අන්ධර සහ පිපරියා ආදි බෞද්ධ සිද්ධස්ථාන සොයා ගැනීමත්, ඒවා පිළිබඳ විස්තර සටහන් කර තැබීමත් එම සේවාවන් අතර මුල්තැනක් ගනී.

1912 දී සාංචි පුද බිමට පැමිණි පුරා විද්‍යාඥ ජෝන් මාර්ෂල් තුමාද සාංචියේ සංවර්ධනය උදෙසා මහත් කාර්ය භාරයක් ඉටු කළේය.

සාංචිය කලාත්මක වශයෙන් මහත් ගෞරවාදරයට පාත්‍ර වූ ස්ථානයක් වශයෙන් සැලකේ. ඊට ප්‍රධාන හේතුවී ඇත්තේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කොට අශෝක රජු විසින් ඉදිකරවා ඇති සාංචි මහා ස්ථූපයයි. එය ලෝකයේ අති විශ්ෂ්ට අසිරිමත් දර්ශනීය නිර්මාණයන්ගෙන් එකකි.

බුබ්බුලාකාර හැඩයෙන් යුත් එම ස්ථූපයේ විශ්කම්භය අඩි 120 කි. උස අඩි 54 කි. මළුවට ඇතුළුවීමට හැකිවනසේ සතර දිශාවට මුහුණලා සකස් කරන ලද තොරණ හතරකි. තොරණ හතරේ කැටයම් වල මිනිස් රූප, ජාතක කතා, දාර්ශනික විග්‍රහයන් ආදිය ඇතුළත්ව තිබේ. මෙම කුළුණුවල දක්නට ඇති කැටයම් හා චිත්‍රවලින් සමහරක් මෙසේය.

බුදුරදුන් සංකස්ස පුරයට වඩින අයුරු, සිදුහත් කුමරා උයනට පිවිසෙන අයුරු. ගන්ධබ්බ වෘක්ෂ මූලයෙහි යමක මහා ප්‍රාතිහාර්යය, ජේතවනාරාම පූජාව, රුවන් සක්මන ඇතුළු සත්සති පූජා, ආදාහන පෙරහර ගමන් ගත් ආකාරය, පාරිල්‍යෙය ඇතුගේ සංග්‍රහ , විශාලා නුවර තුන්බිය දුරු කරන පිරිත් දේශනය ධාතු පෙරහර, ශ්‍රී‍්‍රමහා බෝධීන් වහන්සේ විනාශ කළ බව, මාර පරාජය, වෙස්සන්තර කතාව, සිව්පා සතුන්ගේ බුද්ධ වන්දනා, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීම, උරුවෙල් කාශ්‍යප දමනය, සිදුහත් කුමරු ඡන්න ඇමැති සමග මාලිගයෙන් පිටව යන අයුරු, අශෝක රජු රාම් ග්‍රාම් ස්ථූපය විවෘත කිරීමට යන අයුරු, සාම ජාතකය මුචලින්ද නා රජු බුදුන් වහන්සේ මහා වර්ෂාවෙන් ආරක්ෂා කර ගන්නා අයුරු, බුදුන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනය වූ ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කිරීම, ඡද්දන්ත ජාතකය, ඒකරපත්ත ජාතකය,

සාංචි මහා ස්ථූපයේ දකුණු දොරටුවේ තොරණ අසල අශෝක ස්ථම්භය පිහිටා තිබී ඇත. ස්ථම්භයේ උස අඩි 42 කි. මුහුණත සතර දෙසට මුහුණලා ඇති සිංහ රූප හතරක් තනි ගලින් ඒකාබද්ධ කර මෙය තනා තිබුණු අතර, සිංහ රූපවලට පහළින් හංස රූප යුවල බැගින් කැටයම් කර තිබිණ.

මුස්ලිම් අධි රාජ්‍ය සමයේ ජමින්දාර්වරයෙක් උක් දඬු මිරිකන යන්ත්‍රයක් නිපදවීම සඳහා මෙම කුළුණ කොටස් දෙකකට කඩා රැගෙන ගොස් ඇත. පුරා විද්‍යාඥ ජෝන් මාර්ෂල්තුමා එම කොටස් යළි සොයා ගෙන ස්ථම්භය තිබුණු ස්ථානයට ආසන්න ස්ථානයක ආවරණයක් සාදා එම කොටස එහි තැන්පත් කර ඇති ආකාරය දැකගත හැකිය. ස්ථම්භ යේ ඇති සෙල් ලිපිය ඉතා වැදගත් එකකි. ස්ථම්භයේ සිංහ හිස දැනට සාංචි කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

සාංචි කෞතුකාගාරයේ සාංචි කඳු පාමුල පිහිටා ඇත. ශ්‍රී ලංකා මහබෝධි සමාගම මගින් සාංචි පුද බිමේ ඉදිකර ඇති විහාරය චේතියගිරි විහාරය ‘ නමින් හැඳින්වේ. මේ සඳහා බෝපාල් මහා රාජාගේ කාරුණික අනුග්‍රහය ලැබී තිබේ.

බෝපාල් රාජ්‍යයේ පාලක සිකන්දර් සෞලාන් ඉස්තීර් උල් මුලුක් නවාම් මහම්මද් හම්දුල්ලා ඛාන් බහදූර් මහා රාජා විසින් 1947 දෙසැම්බර් 27 වැනි දින මෙම විහාරය ඉදිකිරීම සඳහා මුල්ගල තබා ඇත.

පුරා විද්‍යා ජෙනරාල් ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින් එංගලන්තයට රැගෙන ගිය සැරියුත් මුගලන් දෙනමගේ ධාතුන් වහන්සේලා නැවත සාංචියට වැඩම කරවනු ලැබිණ. 1952 නොවැම්බර් 8 වනදා ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ජවහර්ලාල් නේරුතුමන් අතින් මෙම විහාරස්ථානයේ ධාතු තැන්පත් කිරීම සහ විහාරස්ථානය විවෘත කිරීම සිදු කෙරිණ.

චේතියගිරි විහාරය තුළ දක්නට ඇති දර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේ සාරානාත් ප්‍රතිමාවට සමානව නෙළා තිබේ.

සෑම වසරකම නොවැම්බර් මස අන්තිම ඉරිදා දින මහ ජනතාව සඳහා ධාතු ප්‍රදර්ශනය කිරීම සිදු කෙරෙන අතර, ඒ සඳහා බෞද්ධ වන්දනාකරුවෝ විශාල වශයෙන් පැමිණෙති.

දුෂ්කර ප්‍රදේශයක පිහිටි සාංචි පුදබිම වන්දනාමාන කිරීමට යාමේදී වන්දනාකරුවන්ට විවිධ අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුවේ.

එයට විසඳුමක් වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ, නාගරික සංවර්ධන සහ පූජා භුමි සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් එකී අමාතාංශයේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් සාංචියේ වන්දනාකරුවන් සඳහා වන්දනා නිකේතනයක් ඉදිකර තිබේ. මෙම තෙමහල් ප්‍රාසාදය සඳහා පූජා භූමි සංවර්ධන අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 840 ක් වැය කර ඇත.

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.03 ට ලබයි. 31 වන දා ඉරිදා පූර්ව භාග 05.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.

මී ළඟ පෝය
නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]