වප් අව අටවක ඔක්තෝබර් 30 වනදා සෙනසුරාදා
අවිහිංසාවාදී ව පටන්ගමු
කොළඹ, පේරාදෙණිය, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර හා මොරටුව යන විශ්ව
විද්‍යාල අන්තර්ජාතික මට්ටමට පත් කිරීමට නියමිත බව පසුගිය
ඉරිදා (ඔක්තෝබර් මස 24 වනදා) සිළුමිණ පුවත්පත සිය මුල් පුවත
ලෙස වාර්තා කැර තිබිණ. යම් විශ්ව විද්‍යාලයක් ඔක්ස්ෆර්ඩ්,
කේම්බ්‍රිජ්, හාවඩ් වැනි අන්තර්ජාතික මට්ටමට උසස් කිරීමේ දී
විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ පර්යේෂණ නිබන්ධන ජගත්
සඟරාවල පළ කැරෙන අතර, විදේශීය සිසුන්ට ද එම විශ්ව
විද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදාවන්නේ යැයි එහි
වැඩිදුරටත් සඳහන් විය. මෙ සේ අප ගේ විශ්ව විද්‍යාල පද්ධතිය
පුළුල් කිරීම අප සියලු දෙනාට සතුටුවිය හැකි කරුණකි. මන්ද යත්,
අධ්‍යාපනයේ පරමාර්ථ ඉටුකැර ගැනීම යනු සමස්තයක් ලෙස රටට ම
වැදගත් වන බැවිනි.
අධ්‍යාපනය හැම දෙනා ම පොදුවේ ලැබිය යුතු සමාජ දායාදයක් වශයෙන්
සැලැකීම ආරම්භ වූයේ ප්‍රංශ විප්ලවයෙන් පසුව ය. එ කල විසූ
දාර්ශනිකයකු ගේ අදහස අනුව අධ්‍යාපනයේ පරමාර්ථ තුනක් තිබිය යුතු
ය. මනුෂ්‍ය සංහතියේ සෑම සාමාජිකයකු ගේ ම අවශ්‍යතා සපයා ගැනීමට
තම අභිවෘද්ධිය සලසා ගැනීමට මඟ පාදාදීම ද සිය අයිතිවාසිකම්
හඳුනාගෙන එයින් පල ප්‍රයෝජන ගැනීමට හා යුතුකම් අවබෝධ කැරගෙන එය
ඉටුකිරීමට කරුණු සලසා දීම. එක් එක් මිනිසා තුළ සහජයෙන් පිහිටි
දක්ෂතා වර්ධනය කරමින්, තමාට සහභාගී වන්නට අයිතිවාසිකමක් ඇති
සමාජ සේවාවෙහි යෙදීමට හැකියාවක් ලබාදීමෙන් නීතියෙන් ඇති කරන ලද
සමානාත්මතාව සාක්ෂාත් කිරීම. කර්මාන්ත වර්ධනය කිරීමෙන් සමාජයේ
වැඩිදෙනා ගේ සුඛ විහරණය ද කර්මාන්තයේ නියුක්ත වූවන් ගේ
අභිවෘද්ධිය ද සලසා දීම එම පරමාර්ථ තුන ය. මේවා කුමන රටක
අධ්‍යාපනයට වුව ද පොදු හා සාධාරණ පරමාර්ථ බව කිවයුතු නැත. එ සේ
නම් මේ පරමාර්ථ ඉටුකැර ගැනීමට රටක් වශයෙන් අප සමත් වී තිබේ ද?
අධ්‍යාපනයේ මේ පරමාර්ථ ඉටුකැර ගැනිමේ දී ඉතා වැදගත් වන ගුරු -
සිසු සබඳතාව පිරිහී ඇති ආකාරය පසුගිය 20 වන දා රුහුණු විශ්ව
විද්‍යාලයේ ශිෂ්‍යයකු විසින් එහි උපකුලපති මහාචාර්ය සුසිරිත්
මෙන්ඩිස් මහතාට පොල්ලකින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියෙන්
පැහැදිලි කැරේ. ඒ සම්බන්ධයෙන් සැක කැරෙන ශිෂ්‍යයන් හය දෙනකු ගේ
ශිෂ්‍යභාවය තාවකාලික ව අත්හිටුවීමට ද පියවර ගෙන ඇත.
විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ මේ අර්බුදය යම් ප්‍රමාණයට වටහා
ගැනීමට උපකාර වන අදහස් තුනක් මෙහි උපුටා දක්වමු. පසුගිය ඉරිදා
(ඔක්තෝබර් මස 24 වන දා) ලක්බිම පුවත්පතට උසස් අධ්‍යාපන ඇමැති
එස්.බී.දිසානායක මහතා කැර තිබූ ප්‍රකාශයක මෙ සේ සඳහන් විය.
“සැබෑ ලෙස ම කවු ද තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පීඩනයට ලක් කරන්නේ?
පළමු වසර ගෑනු ළමයින්ට චීත්ත ගවුම් ඇඳගෙන එන්න කියන්නේ කවු ද?
ඉංග්‍රීසියෙන් කතා කරන්න එපා කියන්නේ කවු ද? ජ.වි.පෙ මතයට එකඟ
නැති සිසුන් නේවාසිකාගාරවලින් ගහලා එළවන්නේ කවු ද? පුස්තකාලවලට
යන්න නොදෙන්නේ, ආචාර්යවරුන් සමඟ සංවාද පවත්වන්නට ඉඩ නොදෙන්නේ
කවු ද? වෙනත් මතධාරීන්ට නිලවරණයට තරග කරන්න ඉඩ නොදෙන්නේ කවු ද?
ශිෂ්‍යයන්ට ලොකු ම ලොකු මර්දනයක් තියෙන්නේ දැන්. ප්‍රභාකරන් ගේ
මිලිටරියක් වගේනේ විශ්ව විද්‍යාලවල ඇතැම් සිසුන් කටයුතු
කරන්නේ. සරසවි තුළ තිබෙන ‘ප්‍රභාකරන්ගේ නීතිය’ ඉවත් කිරීම
ශිෂ්‍යයන්ට මොනතරම් සහනයක් වේවි ද?
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල්
ප්‍රේමරත්න මහතා එහි දී මෙ සේ කියා තිබේ.
“විශ්ව විද්‍යාලය තුළ තමා හදාරණ පාඨමාලාවට අදාළ ව සංවාද
සාකච්ඡා පවත්වන්න මහාචාර්යවරයකු, ආචාර්යවරයකු අඩුම තරමින්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු නොමැති නම්, සිසුන් වසර හතර ම ඉගෙන
ගන්නේ කථිකාචාර්යවරියකගෙන් පමණක් නම් ඒක පොඩි ප්‍රශ්නයක් ද?
රුහුණේ තව ම තියෙන්නේ සිසුන් 300 කට පමණක් වාඩිවිය හැකි
පුස්තකාලයක්. ළමයි වසර හතර ම පුස්තකාලයට යන්න පෝලිමේ ඉන්නවීම
පොඩි ප්‍රශ්නයක් ද? රජරට සිටින සිසුන් 3000 න් 2000 කට පමණ
පාවිච්චි කරන්න තියෙන්නේ පරිගණක පනහක් පමණ තියෙන එක පරිගණක
විද්‍යාගාරයක් පමණයි. ඒක පොඩි ප්‍රශ්නයක් වෙන්නේ කොහොම ද? මේවා
නිසා තමයි උපාධියේ ගුණාත්මක භාවය අඩුවී තිබෙන්නේ. මේ පීඩනය
නිසා සිසුන් අරගල කරනවා. අපි එයට නායකත්වය දෙනවා”
මේ තත්ත්වය ‘ඉරිදා ලංකාදීප’ කතුවැකිය (ඔක්තෝබර් මස 24 වනදා)
වෙනත් අයුරකින් දැක තිබිණ. එහි මෙ සේ සඳහන් විය.
“අපට පෙනෙන ආකාරයට නම් මෙය සමචිත අධ්‍යාපන ක්‍රමයේ ම පවතින
ගැඹුරු අර්බුදයක ප්‍රතිඵලයකි. අතීතයේ දී සරසවිවලින් බිහි වූ
ආකාරයේ පරිපූර්ණ මිනිසුන් බුද්ධිමතුන් දැන් සරසවිවලින් බිහිවන
බවක් පෙනෙන්නට නැත. සමස්තයක් වශයෙන් ම අධ්‍යාපන ක්‍රමය යොමු
කොට තිබෙන්නේ විභාග සමත්වීමට ය. ඒ සඳහා ශිෂ්‍යයන් තියුණු
තරගයකට යොමු කොට තිබෙන්නේ වෙනත් කිසිදු බාහිර ක්‍රියාවකට ඉඩ
නොලැබෙන ආකාරයෙනි. සමාජ ආශ්‍රය ලබන්නට සාහිත්‍ය ඇසුරු කරන්නට
සාරධර්ම වර්ධනයට ලැබෙන්නේ සීමිත ඉඩකඩකි. එවිට බිහිවන්නේ
අංගවිකල වූ අසම්පූර්ණ මිනිසකු බව කිව යුතු නැත.”
මේ අර්බුදයෙන් මිදීම සඳහා ඇති මාර්ගය කුමක් ද? මෙහි සියලු
පාර්ශ්වයන් අවිහිංසා මූලධර්මයෙන් කටයුතු ආරම්භ කිරීම ය. |