සිත තුළම උපදවා ගත යුතු
නොනැසෙන ධනය
බළන්ගොඩ සුමංගල හිමි
බෞද්ධයා පිළිබඳ කථා කිරීමේ දී ‘ශ්‍රද්ධාව‘ ගැන කතා කිරීම වැදගත් වෙයි.
එය පාලි භාෂාවෙන් ‘සද්ධා’ ලෙස සටහන්ව තිබේ. සෑම ආගමකම දර්ශනයකම,
ශ්‍රද්ධාව පිළිබඳ කියැවෙයි. එමෙන්ම ඕනෑම ආගමක්, දර්ශනයක් පිළිගැනීමට
අනුගමනය කිරීමට ශ්‍රද්ධාව අවශ්‍යම ය. කුමන හෝ ආගමක් දර්ශනයක්
පිළිගැනීමට පදනම වනුයේ ශ්‍රද්ධාවයි. එහෙත් මෙය ඒ ඒ ආගම හෝ දර්ශනය අනුව
විවිධ වෙයි. වෙනස් වෙයි. ඒ ඒ ආගම්, දර්ශන තුළ ශ්‍රද්ධාව ගැන
විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කර තිබේ. විශේෂයෙන් බෞද්ධ දර්ශනයෙන් බැහැර
වූ දෙවියන් මුල් කර ගත් ආගම්හි ශ්‍රද්ධාව යනුවෙන් කියැවෙනුයේ අන්ධ
භක්තියට ය. අන්ධ භක්තිය යනු දෙවියන් ප්‍රකාශ කළැයි කී දෙය කිසි
විමසීමකින් තොරව, විචාරයකින් තොරව, සෙවීමකින් තොරව එලෙසින්ම
පිළිගැනීමය. එමෙන්ම දෙවියන් පිළිබඳ හෝ දේව ප්‍රකාශ පිළිබඳ හෝ ප්‍රශ්න
කිරීම, විචාරය, විවේචනය සපුරා තහනම් වන අතර යමෙක් එසේ කරයි නම් ඔහුට
බරපතල දඬුවම් විඳීමට ද සිදු වන බව පෙන්වා දෙයි. දේව සංකල්ප තුළ
අනුගාමිකය, සිර කර තැබිය හැකි වන්නේ ද ඔහු අන්ධ භක්තිකයකු වුවහොත්
පමණකි.
එහෙත් බුදු දහම හඳුන්වා දෙන ශ්‍රද්ධාව බෙහෙවින් වෙනස් ය. එය ප්‍රඥාව
සමඟ අත්වැල් බැඳගත් එකකි. අන්ධ භක්තියට අන්ධ විශ්වාසයට බුදු දහමේ කිසි
ඉඩක් නැත. සෑම විටම කරුණු විමසීමට, ප්‍රශ්න කිරීමට විචාර පූර්වකව දහම්
කරුණු විමසීමට බුදු දහම අවකාශ ලබා දෙයි. ධර්මයේ ‘එහි පස්සික’ ගුණය
හෙවත් පැමිණ විමසා බලන්න යනුවෙන් සඳහන් වන්නේ ද එයම ය. තථාගත ධර්මය
පණ්ඩිත ගෝචරය. එය තර්කයට හසු නොවන අතර, කරුණු විමසා නුවණින් අවබෝධ
කරන්නාටම අවබෝධ වන දහමකි. අඳුරු වලා පටල ආකාශයෙන් බැහැර වන තරමට හිරු
බබළන්නා සේ මිසදිටු අදහස් බැහැර කර නුවණින් විමසන ප්‍රත්‍යක්‍ෂ නුවණින්
යුත් පුද්ගලයාටම අවබෝධ වන දහමකි. එබැවින් අනුගාමිකයා ආගම තුළ සිර කර
තැබීමට බුදු සමය වෑයම් නොකරයි. අනුගාමිකයාගේ නිදහස් චින්තනය තුළින්
දහම් අවබෝධ කරගැනීමට මඟ පෙන්වීම හැර, නීති රීති වලින් ඔහු බැඳ තබා
ගැනීමට එය අනුබල නොදෙයි. අන්‍ය ආගම්හි ප්‍රඥාව වසා තැබීමට උපදෙස් ලැබෙන
අතර ප්‍රඥාව හැකි පමණින් විවෘත කර ගැනීමට බුදු දහමෙන් මඟ පෙන්වයි.
එබැවින් බුදු දහමේ ශ්‍රද්ධාව සදහම් අවබෝධයටම පුද්ගලයා යොමු කැරෙන්නක්
බව වටහා ගත යුතු ය. මෙනිසා ශ්‍රද්ධාව නිවැරැදිව තේරුම්ගෙන එය තම
සන්තානයෙහි රෝපණය කර දියුණු කර ගැනීමම උතුම් බව, වටහා ගත යුතු ය.
සද්ධො හෝති සද්දහති තථාගතස්ස බෝධිං බෞද්ධ ශ්‍රද්ධාව විස්තර කර හඳුන්වා
දෙන්නේ එපරිදි ය. ශ්‍රද්ධාව යනු බෝධිය පිළිබඳ යෝනිසෝ මනසිකාරයෙන් හෙවත්
නුවණින් මෙනෙහි කිරීමෙන් ඇතිවන විශ්වාසය යි. ඒ අනුව අරහාදී නව බුදුගුණ
කරුණු දැන සැදැහැ ඇති කර ගැනීමයි, අවශ්‍ය වන්නේ එයින් නොනවතින බොදුනුවා
ඒ දහම් කරුණු නුවණින් තේරුම් ගෙන අවබෝධය කරා යොමු වෙයි. ඇති වූ
විශ්වාසය නිසා ධර්මය අවබෝධ කර ගැනීමට තවදුරටත් වෑයම් කරයි. ප්‍රඥාවෙන්
තොරව ශ්‍රද්ධාවක් නැත. ශ්‍රද්ධාවෙන් තොරව ප්‍රඥාවක් ද නැත. ශ්‍රද්ධාව
ඇති තැන ප්‍රඥාවද, ප්‍රඥාව ඇති තැන ශ්‍රද්ධාව ද ඇත. මෙලෙස ශ්‍රද්ධා
ප්‍රඥා දෙක අන්‍යෝන්‍ය සබඳතාවයෙන් බැඳී පවත්නා සිතිවිලි දෙකකි. මේ අනුව
ශ්‍රද්ධාවේ දියුණුව ප්‍රඥාවේ දියුණුව ද වේ. ප්‍රඥාවේ දියුණුව
ශ්‍රද්ධාවේ දියුණුවද වේ. එබැවින් සැදැහැති පුද්ගලයා බුදුරදුන් සරණ
යනුයේ තථාගත බෝධි පිළිබඳ අවබෝධයෙනි. දහම් සඟුන් කෙරෙහි ද කර්මය හා කර්ම
ඵලය කෙරෙහිද නව ලොව්තුරු දහම කෙරෙහි ද ඔහුගේ විශ්වාසය පිහිටයි. එය
ඔහුගේම යහපත පිණිස, සැප පිණිස, හිත පිණිස, දියුණුව පිණිස පවතී.
සද්ධා හෙවත් ශ්‍රද්ධාව පිළිබඳ ත්‍රිපිටකය පුරාම සඳහන් වෙයි.
විවිධාකාරයෙන් විවිධ ස්වභාවයෙන් එය විස්තර කර තිබේ. අංගුත්තර නිකායේ
සත්තක නිපාතයේ පිත්ථක ධන සූත්‍රයේ ‘සද්ධා ධනං’ යනුවෙන් එය ආර්ය ධනයක්
ලෙස හඳුන්වා දෙයි. මිල, මුදල්, කෙත් වතු ගේ, දොර, යාන, වාහන, දූ දරු
ආදී ජීව අජීව සම්පත් මිහිපිට උපදින පුද්ගලයකුට ඇති ලෞකික සම්පත් ය. එම
සම්පත් ඇති පමණට පුද්ගලයාගේ වටිනාකම, දියුණුව වැඩි වන බවයි. සාමාන්‍ය
ජනයාගේ පිළිගැනීම එහෙත් ලෞකික ධන සම්පත් අනිත්‍ය ය. කෙලෙස් වැඩීමට, පව්
වැඩීමට පාදක වෙයි. පුද්ගලයාගේ භෞතික සම්පත් දියුණුවට මෙන්ම පරිහානියට ද
හේතු වෙයි. එම පරිහානිය මෙලොවට පමණක් නොව පරලොවට ද බලපානු ඇත. සත්වයා
අපායගාමී වනුයේ බොහෝ විට ලෞකික සම්පත් මුල් කරගෙන ය. එහෙත් ශ්‍රද්ධාව
ධනය කර ගත් පුද්ගලයාට මොහොතින් මොහොත දියුණුවත්ම සැලසෙන්නේ ය. රාගාදී
කෙලෙස් දුරු වීම ඇරැඹෙන හෙයින් කාම සම්පත් කෙරෙහි සංකල්පමය වශයෙන්
බැඳීමක් ඇති නොවේ. මෙලොවම ඔහුට සැනසීම ලැබෙයි. මරණින් මතු සුගතිගාමී
වීමේ හැකියාව ලැබෙයි. මිල මුදල් ආදී ලෞකික ධනයෙන් ද නිසි ඵල ලැබිය හැකි
වනුයේ සැදැහැති පුද්ගලයාටමය. කරුණු විමසා බලන විට ශ්‍රද්ධාව ආර්ය ධනයක්
බව, නුවණැති පුද්ගලයාට වැටහෙයි. ආලවක සූත්‍රයේදී එය පුරුෂයාට ඇති
ශ්‍රේෂ්ඨ සම්පතක් බව පෙන්වා දෙයි. මේ නිසා ශ්‍රද්ධාවෙහි පිහිටීම උතුම්
ය. රන් රිදී මිල මුදල් ආදී ලෞකික ධනය ලබා ගැනීමෙන් ජීවිතය සැපවත් කරගත
හැකි ය. එහෙත් එහි වටිනාකම තාවකාලික ය. ශ්‍රද්ධාව වූ කල්හි සියලු ලෞකික
හා ලෝකෝත්තර සියලු දියුණුවට මඟ පෙන්වන්නකි. ජරා, ව්‍යාධි, මරණ, ශෝක
පරිදේව ආදී අපරිමිත දුක් දුරු කර පරම සැපත වූ නිවන් සැපත හිමිකරදීමට
ශ්‍රද්ධාව සමත් වෙයි. එයින් දෙව් මිනිස් සැප ළඟා කර දීම ගැන, එබැවින්
අමුතුවෙන් කිව යුතු නොවෙයි.
සද්ධා බීජං තපෝ වුට්ඨී වශයෙන් ශ්‍රද්ධාව බීජයක් ලෙසත්, තපස ඒ බීජය පැළ
කර වැඩෙන්නට උපකාර වන වර්ෂාව ලෙසත් බුද්ධ දේශනාවේ සඳහන් වෙයි. ගසක බීජය
ඉතා කුඩා වුවත් ඉන් පැන නඟින පැළය, මහා වනස්පතියකුව පරිසරයට සෙවණ,
සිසිල, ආහාර සහ සුවඳ මුසු පිරිසුදු වාතය මුදා හරින්නේ ය. එය බොහෝ සතුනට
හිත සුව පිණිස පවතිනු ඇත. පරිසරයටද මහත් අලංකාරයක් ගෙන දෙනු ඇත. යම්
මිනිස් සන්තානයක ශ්‍රද්ධාව නමැති බීජය (සිතිවිල්ල) පිහිටා වැඩි
දියුණුවුවහොත් ඔහුට එය සියලු යහපත පිණිස පවතින්නේ ය. ලෞකික ලෝකෝත්තර
සැප පිණිස පවතින්නේ ය. ඔහු ඇසුරු කරන පවුලට හා සමාජයට ද සියලු යහපත
පිණිස එය පවතින්නේ ය. ශ්‍රද්ධාව පිහිටීමෙන් ම මිනිසා පූජනීය ශ්‍රේෂ්ඨ
පුද්ගලයකු වන්නේ ය. දෙවියන් සහිත මිනිසුන්ගේ ගෞරවයට ඔහු ලක්වන්නේ ය.
ශ්‍රද්ධාව මිනිසාට ඇති වටිනාම ආභරණයකි. ශ්‍රේෂ්ඨ පළඳනාවකි. රන් රිදී,
මුතු මැණික් ආදියෙන් කළ ආභරණ වලින් සැරසෙනු කැමැති මිනිස්සු, අලංකාරය
පිණිස ඒවා පළඳිති. එයින් ඔවුහු සමාජයේ උසස් මිනිසුන් ලෙස පෙනී සිටින්නට
වෙර දරති.එහෙත් එය වැරැදි අදහසකි. එයින් ඔවුනට ලැබෙන සතුට මොහොතකින්
මහා විපතකට වුවද පෙරැළිය හැකි ය. සොර සතුරන්ගේ ගොදුරක් බවට පත් ව,
මරණයට හෝ මරණය හා සමාන දුකකට ද පත් විය හැකි ය. එම වස්තූනට ලෝභ උපදවා
දුගතිගාමී වීම ද සිදු විය හැකි ය. එම වස්තු ලබාගන්නට ආරක්‍ෂා කරන්නට,
රැක ගන්නට මහත් වෙහෙසක් ගෙන දුකට ශෝකයට පවත්වන්නට සිදුවන අවස්ථා බහුලය.
එහෙත් ශ්‍රද්ධාව නමැති ආභරණයෙන් සැරසුණු පුද්ගලයාට ඒ කිසි බාධකයක් නැත.
සොර සතුරු පීඩා නැත. ඔහු ලබන නිරාමිස පී‍්‍රතිය දුකට පෙරළෙන්නේ ද නැත.
එය මොහොතක් පාසා වැඩි දියුණුවන දෙයකි. දෙවියන් සහිත ලෝකයාගේ ගෞරවයට,
පූජනීයත්වයට පත්වන්නේ ය. ලෝභාදී අකුසල් සිත් දුරුව, අලෝභාදී කුසල්
සිත්ම ඔහු තුළ එනිසා වැඩෙන්නේ ය. දුගති බිය කිසි ලෙසකින් ඔහුට ඇති
නොවෙයි. සුගතියම ඔහුට හිමි වෙයි. ශ්‍රද්ධාව නමැති අලංකාර ආභරණයෙන්
සැරසුණු පුරුෂයා, මොහොතින් මොහොත ප්‍රභාශ්වර බවට, බැබළීමට පත්වන්නේ ය.
නිවන් සැපතට සමීප වන්නේ ය.
පවුලක හෝ සමාජයක, රටක මූලිකයා, සියලු කටයුතු වලට පෙරටු වන්නාසේ,
ශ්‍රද්ධාව සියලු කුසල ධර්මයනට මූලික වන්නේ ය. පෙරටු වන්නේ ය. දන් දීමේ
දී, සිල් ගුණ ප්‍රගුණ කිරීමේ දී, භාවනා කිරීමේ දී, කාය සුචරිතයේදී වචී
සුචරිතයේ දී මනෝ සුචරිතයේ දී, ඉන්ද්‍රිය සංවරයේ දී ශ්‍රද්ධාවම පෙරටු
වන්නේ ය. ‘සද්ධා මූලිකා සබ්බේ කුසලා ධම්මා’ සියලු කුසල ධර්මයනට
ශ්‍රද්ධාව මුල්වන්නේ ය. යන බුද්ධ දේශනාවෙන් එය මැනවින් තහවුරු වන්නේ ය.
චිත්ත සන්තානයේ කුසල් සිතිවිල්ලක හට ගැන්මේ පටන් රහත් ඵල අවබෝධය දක්වා
වූ සියලු කුසල ක්‍රියා සිදු කිරීමට ශ්‍රද්ධාව පෙරටු වෙයි. මිනිස් ගුණ
ධර්ම ආරක්‍ෂා වීමටත් ගිහියාගේ දිවිය නිරවුල් වීමටත් පැවිදි වූ
පුද්ගලයාගේ පැවිදිකම දියුණු කර ගැනීමටත් ශ්‍රද්ධාව පැවැතිය යුතුමය.
ශ්‍රද්ධාවෙන් තොර වූවෝ පාපයට, අකුසලයට, පක්‍ෂව නැඹුරුව ක්‍රියා කරති.
පිරිහීමට පත්වෙති. දුගතිගාමී වෙති. සැදැහැ ඇත්තෝ සුචරිතයට, සීලයට,
ගුණයට නැඹූරුව ක්‍රියා කරති. දියුණුවට පැමිණෙති. සුගතියට පැමිණෙති.
සද්ධා බන්ධතී පාතෙය්‍යං ශ්‍රද්ධාව සසරට මඟ වියදම් සපයන්නේ ය. සත්වයා
මරණයට පත් වූ විට කර්මානුරූපව යළි උපදින්නේ ය. මිනිසා සම්පත් රැස්
කරගත් දිවි පෙවෙතක් ගත කරන්නේ ය. ඔහු ගේ දොර, වතු පිටි, මිල මුදල් යාන,
වාහන, අඹු, දරු ආදී ජීව, අජීව වස්තු සම්පත් තමන් සතු කර ගන්නේ ය.
කෙතරම් වස්තුව තිබුණත්, කොතරම් සම්පත් තිබුණත් මරණයේ දී ඒ සියල්ල අතහැර
දමා ඔහුට යන්නට සිදු වන්නේ ය. කොතරම් ඇල්මකින් සම්පත් ගොඩගසා තිබුණ ද
නූල් පොටක තරම් දෙයක් ඔහුට රැගෙන යෑමට හැකි නොවෙයි. සිය ශරීරයද අවසානයේ
අතහැර දමන්නට ඔහුට සිදුවන්නේ ය. රැස් කරගත් යම් කුසලා කුසල කර්ම
ශක්තියක් වේ නම් එය ඔහු සතුව පවත්නා එකම සම්පත වන්නේ ය. ශ්‍රද්ධාවෙන්
තොරව වාසය කළ තැනැත්තා බහුලව අකුසල් කර, ණය කාරයකු සේ පරලොවට පිවිසෙයි.
ඔහුගේ එම අකුසල කර්ම ශක්තිය ඔහු නරකයට ඇද දමයි. තිරිසන්, ප්‍රේත නරක
ආදී දුගතිවල කල්ප ගණනින් දුක් විඳීමට එය හේතු වෙයි. එහෙත් සැදැහැයෙන්
යුතු පුද්ගලයා හැකි පමණ කුසල ධර්මයෙහි නියැළෙයි. ඔහුගේ කුසල කර්ම
ශක්තිය ඔහු දෙව් මිනිස් ආදී සුගතිවලට පමුණුවයි. එය ඔහුට, දෙලොව
පී‍්‍රතිය ප්‍රමෝදය ගෙන දෙයි. සැපත හා සැනසීම ගෙන දෙයි. එහෙයින්
මරණයෙන් පසු සැපගෙන දෙන්නේ අනුගාමික නිධානයක් වශයෙන් තැන්පත් කළ කුසල
ශක්තිය පමණකි.
තෙරුවන් කෙරෙහි මනා පැහැදීම ඇති සැදැහැවත් පුද්ගලයා කිසි විට පව්
වැඩෙන, කෙලෙස් වැඩෙන දුශ්චරිත වල නොයෙදෙයි.
එහෙයින් ඔහු දියුණුවට, අභිවෘද්ධියට පැමිණ වාසය කරයි. අවබෝධයෙන් තෙරුවන්
සරණ යන සැදැහැති පුද්ගලයා සැම අයුරෙන් සැමදා සැනසෙන බව එයින් මනාව
පැහැදිලි වෙයි. |