සමුදුර තරණය
අපට ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් ඇතැයි අපි ආඩම්බරයෙන් පවසමු. එහෙත් ඒ
ශ්‍රේෂ්ඨ සංස්කෘතිය නිර්මාණය වූ ආකාරය හෝ එහි ශ්‍රේෂ්ඨත්වය රඳා
පවත්වා ගන්නේ කෙ සේ ද යන්න පිළිබඳ ව ශ්‍රී ලාංකිකයන් බහුතරයකට
අවබෝධයක් තිබේ යැයි කිව නො හැකි ය. එ බඳු අවබෝධයක් බහුතරයකට
නැතැයි පැවසීමට විශේෂ සමීක්‍ෂණ කළ යුතු නො වේ. මෑත කාලයේ දී අප
මුහුණ දුන් ඛේදවාචක දෙස ආපසු හැරී බැලූ විට එය වටහා ගැනීම පහසු
ය. මෙයට වසර හතරකට පෙර එ නම් 2004 වසරේ දෙසැම්බර් මස 26 වන දා
අප මුහුණ දුන් සුනාමි ඛේදවාචකය ඊට කදිම නිදසුනකි.
සුනාමි ඛේදවාචකය පිළිබඳ ව කතා කිරීමට පෙර සංස්කෘතිය හා
ස්වාභාවික ඛේදවාචක අතර ඇති සම්බන්ධය කුමක් ද යන්න පැහැදිලි
කිරීම අවශ්‍ය යැයි සිතමු. මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා
ලියූ සංස්කෘතිය හා සමාජය නමැති කෘතියෙහි සඳහන් කැර ඇති ආකාරයට
සංස්කෘතිය යනු, ස්වාභාවික සම්පත් මැඩ පැවැත්වීමටත්, ආයෝජනය
කිරීමටත් අදාළ ඥාන සම්භාරය, ක්‍රියාදාමය හා කුසලතාව අඩංගු
සුවිශේෂ උපකරණ සමස්තයකි. අප ගේ මාතෘකාවට පිවිසීමේ දී ස්වාභාවික
සම්පත් පාලනය හා අතීත ඥාන සම්භාරය යන කරුණු ඉතා වැදගත් වේ.
දැන් අපි සුනාමි ඛේදවාචකයට අදාළ අතීත ඥාන සම්භාරය දෙසට හැරෙමු.
සුනාමි නමැති ජපන් වචනයෙන් හැඳින්වෙන උදම් රළ පිළිබඳ ව සිංහල
විශ්වකෝෂයේ දැක්වෙන කරුණු කිහිපයක් උපුටා මෙහි පහත පළ කැරේ.
“උදම් කාරක සංසිද්ධීන් ආශි‍්‍රතව ජලයේ වරින් වර ඇතිවන නැඟීම හා
බැසීම උදම නම් වේ. වඩදිය නමින් හැඳින්වෙන උච්චතම මට්ටම කරා උදම
ක්‍රමයෙන් නැඟ පසු ව බාදිය නම් වූ අවම මට්ටමට බැස යයි. ජලය
නඟින හෝ බහින වේගය ඒකාකාර නො වේ. උදම් ජලය හෙමින් නඟින්නට
පටන්ගෙන වඩදිය මට්ටමෙන් අඩ දුරක් පමණ වන තුරු එහි වේගය වැඩි
වේ”.
“එතැන් පටන් වඩදිය මට්ටම කරා, එළඹෙන තුරු ජලය නැගීමේ වේගය අඩු
වේ. ජල මට්ටමෙහි වැඩි වෙනසක් පෙනෙන්නට නැති වඩදිය හෝ බාදිය
අවස්ථාව හිටිදිය නමින් හැඳින් වේ. එක් වඩදියක් හා ඊළඟ බාදිය
අතර ජල මට්ටමේ වෙනස උදම් අත්තරයයි.”
“ නවසඳ හා පුරසඳ අවස්ථාවන්හි දී උදම ඇති වීම කෙරෙහි චන්ද්‍ර
සූර්ය දෙදෙනා ගේ ම බලපෑම පවත්නා හෙයින් මෙම දිනවල වඩදිය
සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ නඟී. මෙය මහ වඩදිය නම් වේ. චන්ද්‍ර
මාසයක් තුළ දී දෙවරක් මහ වඩදිය ඇති වේ. චන්ද්‍රයා විෂුවාංශ
අංශක අනූවෙහි පිහිටි අවස්ථාවන්හි දී උදම් ඇති කිරීම කෙරෙහි
චන්ද්‍ර සූර්ය දෙදෙනා ගේ බලය ක්‍රියාකාරී වනුයේ ද අංශක
අනූවෙනි. එහෙයින් වඩදිය නැඟීම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වේ.
මෙය සුළු වඩදිය නම් වේ.”
ස්වාභාව ධර්මයේ හැසිරීම තේරුම් ගැනීම පිණිස පාරම්පරික ඥානය
කෙතරම් වැදගත්දැයි මෙයින් අපට අවබෝධ කැර ගැනීමට පුළුවන. එ
පමණක් නො ව ස්වභාව ධර්මය සමඟ බැඳුණු අප ගේ ආගමික ක්‍රියාකාරකම්
ගැන ද මෙයින් අපට අවබෝධයක් ලැබේ. ස්වභාව ධර්මය සමඟ බැඳුණු
පෙරදිග චන්ද්‍ර මාස ක්‍රමය වෙනුවට අපරදිගින් ලැබුණු දින දර්ශනය
නිසා අප ගේ ජීවිත වෙනස් වී ඇති ආකාරය ගැන ද මෙය කදිම නිදසුනකි.
අප ගේ පාරම්පරික ඥානය පෝෂණය කිරීම සඳහා බුදු දහමෙන් ලද මඟ
පෙන්වීම ගැන අමුතුවෙන් කතා කළ යුතු යැයි නො සිතමු. එ සේ වූව ද
බුදු දහමෙහි ඇතුළත් බොහෝ කරුණු නූතන සමාජය විසින් නො සලකා හැර
තිබේ. මහ සමුදුර පිළිබඳ ව බුදුන් වහන්සේ දේශනා කළ කරුණු ද එ සේ
නො සලකා හැර ඇති කරුණු වලින් එකක් බව අප ගේ අදහසයි. සුනාමි
ඛේදවාචකය වැනි ස්වාභාවික විපත්වලට මුහුණ දීමේ දී එය කෙතරම්
වැදගත් දැයි අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ මහා වග්ගයේ එන
පහාරාද සූත්‍රය එක් උදාහරණයකි. පහාරාද නමැති අසුරේන්ද්‍රයා හට
දේශනා කළ එම සූත්‍රයෙන් මහ සයුරේ අද්භූත ධර්ම අටක් ගැන කියැවේ.
මහ සයුරේ එම අද්භූත ධර්ම අට නම්, ක්‍රමානුකූල ගැඹුරු බව, වෙරළ
නො ඉක්මවීම, මළකුණු රඳා නො ගැනීම, සියලු ගංගා නම් ගොත් හැර
වැද්ද ගැනීම, ගංගා ජලයෙන් වැසි ජලයෙන් වැඩි වීමක් හෝ නියඟින්
අඩුවීමක් නො වීම, එක ම රස ලුණු රසය වීම, බොහෝ රන් රුවනින් යුතු
වීම, සත්වයන්ට ආවාස වීම යන කරුණු ය.
බණ කීමේ දී මෙන් ම බණ ඇසීමේ දී ද මෙ බඳු කරුණු අප ගේ ජීවිතයට
එක්කැර ගැනීමට අප වෙහෙස විය යුතු ය. ඒ අන් කිසිවක් නිසා නො ව
සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ සළායතන වග්ගයේ වේදනා සංයුක්තයේ
සමුද්ද වග්ගයේ එන සමුද්ද සූත්‍රයේ දී බුදු රදුන් වදාළ පරිදි
මුහුද වැනි ඇස, රූපය නම් වූ වේගය ඉවසා නම් ඇස නමැති මුහුද තරණය
කළ හැකි බැවිනි. |