අම්බලන්ගොඩ දෙල්දූව
විවේකාරාම සේනාසනය
සටහන හා ඡායාරූප
ඩබ්ලිව් දීපාල් ද සිල්වා
සේනාසනාධිපති
කිරින්දේ චන්දසුමන හිමි |
අම්බලන්ගොඩ දෙල්දූව විවේකාරාම සේනාසනය සිල්වත් ගුණවත් මාහිමිපාණන්
වහන්සේ නමක් වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායික යාලේගම ගරු, සීලානන්ද
මාහිමියන් වහන්සේගේ මූලිකත්වයෙන් මීට වසර සියයකට පමණ පෙර ආරම්භ වූ
පුණ්‍ය භූමියකි.
එවකට මිනිස් වාසයෙන් තොර මෙම වනගත භූමියේ තිබුණේ පත්තිනි දේවාලයක්
පමණි.
පසුව මෙම සෙනසුන අංගසම්පූර්ණ විවේක විහාරස්ථානයක් ලෙස සංවර්ධනය විය.
චෛත්‍ය රාජයාණන් වහන්සේ, ප්‍රාකාර සහිත බෝධීන් වහන්සේ, දර්ශනීය
බුදුපිළිම වහන්සේ වැඩසිටිනා විහාරමන්දිරය, ධර්මශාලාව, ආවාස කුටි,
ගිනිහල් ගෙය, භෝජන ශාලා, පිණ්ඩපාත දානශාලා, ළිං පැං පොකුණු, සක්මන්මළු
ආදී විවේකස්ථානයකට අවශ්‍ය සියලුම අංගයන්ගෙන් මෙය සමන්විතය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භක යුගයේදීම ඇතිවුනු වනසෙනුන් දෙකක්
වන කිරින්ද පුවක්ගහමඩිත්තේ අරණ්‍ය සේනාසනය සහ මාතර, යටියන, බටුවිට
අරණ්‍ය සේනාසනයේද ශාඛා ස්ථානයක් ලෙස මෙම ස්ථානයද පවත්වා ගෙන එනු ලබයි.
දිගු කාල වකවානුවක විශාල මෙහෙයක් සළසමින් මෙහි භික්‍ෂූන් වහන්සේ
නායකත්වය දරමින් විශාල මෙහෙයක් සැලසූ අතර 1952 වසරේ සේනාසනාධිපතිත්වයට
වැඩම කළ පිළිකුත්තුවේ ඥාණවිලාස මාහිමිපාණන්ගේ යුගයේදී වඩාත් සංවර්ධනයක්
ඇතිවිය.
චෛත්‍යයේ දසුනක්
මාදම්පා නදියේ ඇති සීමා මාලකය |
දොළොස්මහේ පහන |
කිරින්දේ චන්දසුමන ස්වාමීන් වහන්සේගේ විහාරාධිපතිත්වයෙන් මේ දක්වා
පවත්වාගෙන එනු ලබන මේ කාලය තුළ ආවාස කුටි, දානශාලා පුස්තකාල ගොඩනැඟිලි
යන සියලු අංගයන්ගෙන් වඩාත් පූර්ණව පළාත් වාසී බෞද්ධ ජනී ජනයාට බොහෝ
හිතවැඩ සැලසෙන පුණ්‍ය භූමියක් මෙන්ම සුපේසල ශික්‍ෂාකාමී භික්‍ෂූන්
වහන්සේලාට වැඩසිටීමට විවේකස්ථානයක් ලෙස පවතියි.
මෙම දෙල්දූව විවේකාරාම ඉතිහාසය තුළ සිදු වූ වැදගත් සිදුවීම් කිහිපයකි,
මෙම සෙනසුන ඇසුරින් පළාතේ අවට වෙනත් සෙනසුන් කිහිපයක්ම ඇතිවිය. කොග්ගල
තලාතුඩුවේ විවේක සේනාසනය, වතුගෙදර පරගහතොට පුණ්‍ය විභවාරාමය, (දැනට
කැලේ විවේක සෙනසුන) නින්දාන ලෙව්දූවේ තපෝධනාරාමය, මීටියාගොඩ
කරැණාවර්ධනාරාමය, (දැනට විවේකාරාමය) එවැනි කිහිප තැනෙකි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායික ආරණ්‍යක භික්‍ෂූන් වහන්සේලා අධිසීල
සංඛ්‍යාත උතුම් වූ උපසම්පදා සීලයට පත්කරවනු ලබන මූලස්ථාන ලෙස පවත්නේ ද
මෙම දෙල්දූවේ විවේකාරාමයයි. ඒ සඳහා මාදම්පා නදියේ ඉදිකරන ලද උදකුක්ඛේප
සීමා මාලකයක් ද වෙයි. මෙම විවේකාරාම ඉතිහාසයේ සිදු වූ තවත් ඉතා වැදගත්
ශාසනික සිදුවීමක් වෙයි. එනම් 1951 වසරේ රාමඤ්ඤ නිකායික ශ්‍රී කල්‍යාණි
යෝගාශ්‍රම සංස්ථාවේ ආරම්භයයි.
රාජකීය පණ්ඩිත අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මාහිමිපාණන් සහ
මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඤාණාරාම මාහිමිපාණන් වහන්සේගේ
මූලිකත්වයෙන් යෝගශ්‍රමීය භික්‍ෂු වංශය ආරම්භ කිරීමේ දී මුලින්ම තෝරාගත්
පණ්ඩු පලාස කුලපුත්‍රයන් පැවිදි කොට තිබෙන්නේ මේ ස්ථානයේදීය. එසේම එම
සාමණේරයන් වහන්සේලාගේ ගරු, උපසම්පදා විනය කර්මය සිදු කොට තිබෙන්නේද මෙම
විවේකාරාමාසන්න මාදම්පා නදී උදක්කුඛේප සීමා මාලකයේදී ය. වර්ෂ 2007 ජූනි
14 වැනි දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ විශේෂ උපසම්පදා පින්කමක් ද
මෙම ස්ථානයේ දී චීන ජාතික (යැංයිං) සුමන මහායාන භික්‍ෂූන් වහන්සේ
ථේරවාදී සම්ප්‍රදායට අනුව පැවිද්ද ලබා මෙම සීමා මාලකයේදී අධිසිල්
ලැබීමයි.
මෙබඳු ශාසනික වැදගත්කමකින් යුත් මෙම ස්ථානයට 2008.09.12 වෙනි දින සියක්
වසරක් සම්පූර්ණ විය.
එම අනුස්මරණීය අවස්ථාව සිහිපත් කරමින් රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති,
ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය පූජ්‍යපාද කිරින්දේ චන්දසුමන මාහිමිපාණන්
වහන්සේගේ අනුශාසනා පරිදි විශේෂ පින්කම් මාලාවක් සිදු කිරීමට දායක සභාව
කටයුතු යොදා තිබේ. මෙම දෙසැම්බර් 25 වෙනි දින සවස 06.00 ට ශ්‍රී
කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය මහා
කම්මට්ඨානාචරිය, නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ විසින් පවත්වනු
ලබන සුමධුර ධර්මදේශනයකි. 26 වෙනි දින සවස 6.00 ට බෝධි පූජාව සහ අටවිසි
බුද්ධ පූජාවක් පවත්වා සුනාමි ව්‍යසනයට ගොදුරු වී ජීවිතක්‍ෂයට පත්
ජනතාවට පුණ්‍යානුමෝදනාවකි. පසුදින (27) ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
මහානායක වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන
ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පවත්වති.
ප.ව.2.00 ට පැවැත්වෙන උත්සව සභාවකින් පින්කම් මාලාව නිමාවට පත් වෙති. |