UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇතැන්ස් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය



ඇතැන්ස් බෞද්ධ මධ්‍යස්ථානයේ
බුද්ධ ප්‍රතිමා වහන්සේ


ඇතැන්ස් බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පින්කමට වැඩම කළ මහ සඟ රුවන

ගී‍්‍රසියේ ඇතැන්ස් බෞද්ධ විහාරස්ථානය සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ කර පසුගිය නොවැම්බර් 28 වැනිදාට වසරක් සම්පූර්ණ විය. ගී‍්‍රසියේ ඓතිහාසික ඇතැන්ස් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික පින්වතුන්ගේ බලවත් වු වුවමනාව, කැපවීම හා නොමසුරු ආධාර උපකාර ඇතිව මනස්කාන්ත නිසල පරිසරයක පිහිටා ඇති එම බෞද්ධ මධ්‍යස්ථානය දර්ශනීය විහාර මන්දිරයකින්ද , ධර්ම ශාලාවකින් හා ආවාස ගෘහයකින්ද සමන්විත වේ. නේවාසික භික්ෂූන් වහන්සේ නමකට අවශ්‍ය මූලික පහසුකම් සියල්ල නොඅඩුව සම්පූර්ණ කර ඇත. යුරෝපයේ මෙවැනි ආයතනයක් ආරම්භ කර ඉදිරියට පවත්වා ගෙන යාම සුවපහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා මාසිකව විශාල පිරිවැයක් දැරිය යුතුය. ඒ අනුව විහාරස්ථානයෙහි නඩත්තුව වෙනුවෙන් වැයවෙන සියලු වියදම් ඔවුන් විසින් නොකඩවා මාසිකව ලබා දෙනු ලැබේ. ඇතෑන්ස් නගරයේ වාසය කරන ශ්‍රී ලාංකික විශාල පිරිසකගේ කාලය ශ්‍රමය හා ධනය මේ සඳහා යොදවා ඇති බව පුණ්‍යානුමෝදනාවෙන් යුතුව සනිටුහන් කරමු. ජාති ආගම් භේදයකින් තොරව සිදු කෙරෙන එම සත් ක්‍රියාවට දායක වූ සියලු දෙනාට ගෞරවය නිරන්තරයෙන්ම හිමි විය යුතුව ඇත. ගී‍්‍රසියේ හැදෙන වැඩෙන ශ්‍රී ලාංකික දරුවන්ට සිංහල භාෂාව හා බුදුදහම හා අපගේ සංස්කෘතිය ගැන අවබෝධයක් ලබා දීම, ශ්‍රී ලාංකිකයන්ට ආවේණික වූ සංස්කෘතික සිරිත් විරිත් පුරුදු පුහුණු කර ඒවා සංවිධානය කිරීම, විවිධ සමාජ සේවා කටයුතු පවත්වා ගෙන යාම සහ ඒවාට අනුබල දීම, ජාති ආගම් භේද නොතකා ගී‍්‍රසියේ ශ්‍රී ලාංකිකයන් තුල සමගිය සමාදානය ඇති කිරීමට ක්‍රියා කිරිම, ආගමික අධ්‍යාපනික හා සමාජ සේවාවන් පවත්වා ගෙන යාම වැනි අරමුණු රාශියක් වෙනුවෙන් ඇතැන්ස් විහාරය කටයුතු කරයි. මෙම අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා ගත වූ වසර තුළ බොහෝ කටයුතු සිදු කෙරුණි. ඒ අතරින් වඩාත් වැදගත් වන්නේ ඇතැන්ස් නගරයේ හැදෙන වැඩෙන අපේ දරුවන් උදෙසා දහම් පාසලක් ආරම්භ කර සාර්ථකව පවත්වා ගෙන යාමයි. සිංහල භාෂාව, බුද්ධ ධර්මය හා සිංහල සංස්කෘතිය පිළිබඳ දහම් පාසල තුළින් එම කෙටි කාලය තුළ ලබා දී ඇති මඟ පෙන්වීම අගය කළ යුතුය. දරුවන්ගේ නිසර්ග කුසලතාවන් හඳුනා ගෙන එය වඩාත් තහවුරු කර දීමට නැටුම් ගැයුම් හා චිත්‍ර තරග පැවැත්වීම වැනි කටයුතු ද සිදු කර ඇත. ආගමික පරිසරයක් තුළ විනයගරුක දැහැමි දරුවන් පිරිසක් හදා වඩා ගැනීම ඇතැන්ස් දහම් පාසලේ ඒකායන පරමාර්ථයයි. ඒ සඳහා ක්‍රියාශීලි පළපුරුදු ආචාර්ය මණ්ඩලයක් උද්‍යෝගයෙන් ක්‍රියා කරති.

ගී‍්‍රසියේ ප්‍රථම කඨින පින්කම යුරෝපයේ බොහෝ රටවලින් වැඩම කළ පූජනීය මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පසුගියදා සිදු විය. එහිදී සර්වඥ ධාතුන් වහන්සේ දැක වැඳ පුදා ගැනීමට ද අවකාශ සළසා තිබුණි. එම අවස්ථාවට ගී‍්‍රසියේ තායිලන්ත තානාපතිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය ද ගී‍්‍රක ජාතිකයෝද ශ්‍රී ලාංකිකයෝ ද විශාල පිරිසක් සහභාගි වූහ.

ගී‍්‍රසියේ ආගමික කටයුතු මෙහෙයවීමේ දී ඊට අවශ්‍ය අනුශාසනා ලබා දෙමින් අප දිරිමත් කළ පුජනීය මහා සංඝරත්නය අමතක කළ නොහැකි ය. මෙහි දී ඉතාලියේ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති , රාජකීය පණ්ඩිත, මහගම විපුලසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විශේෂයෙන් සිහිපත් කළ යුතුය. පසුගිය වසර ගණනාවක් තිස්සේ මෙහි ආගමික ප්‍රබෝධය සඳහා උන් වහන්සේ ක්‍රියා කළහ. එසේම ඉතාලියේ වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාස්ත්‍රපති ගම්මැදගම පියදස්සී ස්වාමීන් වහන්සේද, ඉතාලියේ සිසිලි බෞද්ධ විහාරාධිපති , වගේගොඩ සීලානන්ද ස්වාමීන් වහන්සේද , මෙහි සමාරම්භක අවස්ථාවට වැඩමවා ක්‍රියා කළ ඉතාලියේ සිසිලි බෞද්ධ විහාරවාසී බූකන්දයායේ ජිනරතන ස්වාමින් වහන්සේද සිහිපත් කළ යුතුය.

පසුගිය වසර පුරාම පොහෝදා ආගමික වැඩ සටහන් සිදු කළ අතර, එහි දී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා සහ භාවනා වැඩ සටහන් පවත්වමින් ධර්මඥානය දියුණු කර ආගමික ශික්ෂණය වැඩි දියුණු කිරීමට ක්‍රියා කළේය. ගී‍්‍රක් ජාතික පින්වතුන් වෙනුවෙන්ම පැවැත්වෙන භාවනා වැඩ සටහන් සෑම අඟහරුවාදා දිනකම පැවැත්වේ. වසරක කෙටි කාලයක් තුළ ඇතැන්ස් බෞද්ධ විහාරය සිදු කළ ආගමික අධ්‍යාපනික හා සංස්කෘතික මෙහෙවර ගැන සෑහීමට පත් විය හැකිය. මේ සඳහා අපට ශක්තිය ලබා දුන් ඇතැන්ස් නගරයේ සියලුම ශ්‍රී ලාංකික පිරිසට පුණ්‍යානුමෝදනා කරන අතර, ඇතැන්ස් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය තවත් බොහෝ ලෝ සසුන් වැඩ වැඩුමට සරුසාර පින් කෙතක් වේවා.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 26 වනදා සිකුරාදා අපරභාග 3.13ට ලබයි. 27 වනදා සෙනසුරාදා
අප රභාග 5.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
දෙසැම්බර් 26 වනදා
සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 4 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]