වන සතුන් ගේ මූලික අයිතිය
ඇතින්නියක ගේ මූලික
අයිතිවාසිකම් ආරක්ෂා කැරීවීම උදෙසා අධිකරණමය ක්‍රියා මර්ගයක්
ගැනීම පිළිබඳ අපූරු පුවතක් පසුගිය දා අපට අසන්නට ලැබිණි. එවැනි
පුවතක් වාර්තා වූයේ ශ්‍රී ලංකාවෙන් ම පමණක් විය යුතු ය. එ සේ
වුව ද එම පුවත කෙරෙහි ප්‍රමාණවත් ජන අවධානයක් යොමු වූ බවක්
දක්නට නො ලැබේ. ඔක්තෝබර් මස 22 වන දා අනුරාධපුර ගුවන් හමුදා
කඳවුරට කොටි සංවිධානය එල්ල කළ ප්‍රහාරය, පසුගිය 27 වන දා
පැවැති සිරස සුපර් ස්ටාර් අවසන් මහා තරගය, කොටි සංවිධානයේ
දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් ට මරු කැඳ වූ නොවැම්බර් මස 02
වන දා ගුවන් ප්‍රහාරය, ඉදිරි වසර සඳහා වන අයවැය ලේඛනය
පාර්ලිමේන්තුවට ඉදරිපත් කැරීම ආදී මාතෘකා වලින් ඒ පුවත වැසී
යන්නට ඇත.
පින්නවල අලි අනාථාගාරයෙහි සිටින අශෝකමාලා නමැති ඇතින්න
ආර්මේනියාවේ යැරවෑන් සත්ත්වෝද්‍යානයට පරිත්‍යාග කිරීමට ශ්‍රී
ලංකා රජය ගෙන ඇති තීරණයට එරෙහි ව සත්ත්ව අයිතීන් සුරැකීමේ
සංගමයේ විජිතා ප්‍රනාන්දු විසින් ශේෂ්ඨාධිකරණය හමුවේ මේ නඩුව
පවරා තිබේ. වන ජීවි සංරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා,
පරිසර හා ස්වභාවික සම්පත් ඇමැතිවරයා, එම අමාත්‍යාංශයේ
ලේකම්වරයා, ක්‍රීඩා හා විනෝදාංශ කටයුතු ඇමැතිවරයා, එම
අමාත්‍යාංශයේ ලේකම්වරයා, පින්නවල අලි අනාථාගාරයේ
අධ්‍යක්‍ෂවරයා, ජාතික සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂවරයා මෙහි
වගඋත්තර කරුවන් ලෙස නම් කැර ඇත. අශෝකමාලා නමැති ඇතින්නිය
පරිත්‍යාග කැරෙන ආර්මේනියානු සත්ත්වෝද්‍යානය ඉතා අඩු පහසුකම්
සහිත හා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සකස් නො කළ ස්ථානයක්
යැයි මේ පෙත්සමෙහි සඳහන් ය. එ මෙන් ම අධික ශීත දේශගුණයක් පවතින
එම රටෙහි ශ්‍රී ලංකාවේ අලියකුට ජීවත් වීමට සුදුසු පරිසරයක්
නොමැති බව ද පෙත්සම් කරු කියයි. මෙ රට අලි ආසියානු උප විශේෂයක්
වන අතර සීග්‍රයෙන් වඳවෙමින් සිටින සත්ත්වයකු ලෙස ද එහි දැක්
වේ. එම මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් මස 20 වන දා විභාග
වීමට නියමිත ය.
කෙ සේ වුව ද අප ගේ අරමුණ එම පෙත්සම හෝ අශෝකමාලා නමැති අතින්නිය
පිළිබඳ ව කතා කිරීම නො ව සියලු සතුන්ට කරුණාව දැක්වීම හා මූලික
අයිතිවාසිකම් සංකල්පයේ ඇති සමීපතාව පෙන්වා දීමට ය. එහෙත්
ප්‍රචලිත මතය වන්නේ, මානව අයිතිවාසිකම් සංකල්පය බ්‍රිතාන්‍යයේ
ජෝන් රජු හා එ රට ප්‍රභූන් අතර ක්‍රි.ව. 1215 දී ඇති කැරැගත්
මහ අධිකාරී පත්‍රය (මැග්නාකාටා ගිවිසුම ) මගින් බිහි වී
ක්‍රි.ව. 1789 ප්‍රංශ විප්ලවය නිසා තහවුරු වූ බව ය. සැබවින් ම
මෙය සාවද්‍ය මතයකි. මන්දයත්, බුදු රදුන් ක්‍රි.පූ. හයවන සියවසේ
දී දේශනා කළ ධර්මයෙහි මේ සංකල්පය ඉතා හොඳින් ගැබ් ව ඇති
බැවිනි. ක්‍රි.පූ. 250 දී පමණ දේවානම්පියතිස්ස රජු විසින්
මිහින්තලය අභය භූමියක් බවට පත් කිරීමට හේතු වූයේ ද බුදු දහමෙහි
එන මඟ පෙන්වීම් ය.
ප්‍රාණ ඝාතයෙන් වැළැකීම බුදු දහමෙහි මූලික ඉගැන්වීමක් බව කිව
යුතු නැත. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් ආකාරයට ප්‍රාණ යන්නට
සියලු සත්ත්ව කොට්ඨාස අයත් වනවා පමණක් නො ව ඇසට පෙනෙන සතුන්
මෙන් ම නො පෙනෙන සතුන් ද ඊට ඇතුළත් ය.
එහෙත් වර්තමානයේ දී මානව හිමිකම් පිළිබඳ ව අපට ඉගෙන ගැනීමට
සිදු වී ඇත්තේ, එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මානව හිමිකම්
කොමිසමෙහි නිලධාරීන් ගෙන් හෝ බටහිර ලෝකයේ රාජ්‍ය නො වන සංවිධාන
වලිනි.
අපට එ සේ වූයේ ඇයි? අශෝකමාලා නමැති ඇතින්නිය ගේ අයිතිය ඉල්ලා
අධිකරණය වෙත ගමන් කිරීමට සිදු වූයේ ඇයි?
මේ සියලු අර්බුදයන්ට ගොදුරු වීමට අපට සිදු වූයේ බුදු දහම ජීවන
මාර්ගයක් වෙනුවට ඇදහීමක් බවට පත් කැරැ ගැනීම නිසා ය. එහෙත්, අප
තවමත් විසැඳුම් සොයනු යේ නඩු තීන්දු මගිනි. |