[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දහම් පදයක මිහිර

දහම් පදයක මිහිර

මා කුඩා අවදියේ දී එක් වස්සාන සමයක් තුළ අපමණ ශ්‍රද්ධාවකින් සවන් දුන් මහඟු දම් දෙසුමක් සිහිපත් වේ. ඒ 1952 වර්ෂයයි.

අපේ ගමේ පන්සලේ බෝපේ ශ්‍රී පියරතන පිරිවෙනේ නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනය පරිදි එම වසරේ වස් කාලය තුළ වූ පසළොස්වක් පොහොය දිනවල ධර්ම දේශකයන් වහන්සේ කිහිප නමක් පිටතින් වැඩම කොට ධර්ම දේශනා මාලාවක් පවත්වන ලදී.

මේ කාලය වන විට බම්බලපිටියේ වජිරාරාමවාසී ව වැඩ විසූ නාරද තෙරුනුවන්ගේ කීර්ති කදම්භය දිවයිනේ දස දෙස පැතිරෙමින් තිබුණි. මාගේ පියා ද එක් ධර්ම දේශනාවක දායකත්වය ගන්නා ලදී.

එක් උදෑසනක ගාල්ලේ සිට වජිරාරාමයට ගිය මගේ පියා සුන් වූ අපේක්ෂා සහිතව ආපසු නිවසට පැමිණියේ මාතර තෙලිජ්ජවිල පන්සලක උන්වහන්සේ වස් වසා වැඩ සිටින බවට වූ ආරංචියක් ද රැගෙන ය. පසුදින හිමිදිරියේ එකී විහාරස්ථානය සොයා ගිය අවස්ථාවේ දී උන්වහන්සේ පන්සල් වත්තේ වූ ළිඳෙන් පතුල හිල් වූ බාල්දියකින් කීප වාරයක් ජලය ඇද උස් ගලක් මත වූ හිල් වූ බේසමකට වත් කරමින් මුහුණ කට දෝවනය කරනු දැක ඇත.

නිහඬව තෙරුන් වහන්සේ සමීපයට ගොස් වැඳ නමස්කාර කොට ධර්ම දේශනාව සඳහා කරන ලද ආරාධනය පිළිගත් පසු වැලිගම නගරයේ දී මිලදී ගත් බාල්දියක් හා බේසමක් රැගෙන ගොස් පූජා කොට ධර්ම දේශනාව පැවැත්වෙන දින සවස් භාගයේ කුලී රථයක් රැගෙන එන බව සඳහන් කර ඇත.

අප පරිහරණය කරන බාල්දිය හා බේසම උපාසක මහතා දුටුවා නේදැයි සිනාමුසුව විමසූ ස්වාමීන් වහන්සේ කුලී රථ අනවශ්‍ය බවත්, දුම්රිය ගාස්තුව පමණක් පන්සලේ ස්වාමීන් වහන්සේට දෙන ලෙසට හා නියමිත දින සවස කොළඹ බලා යන දුම්රිය රිච්මන්ඩ් කන්ද දුම්රිය ස්ථානයට ළඟා වන විට එතැනට පැමිණෙන ලෙසත් මගේ පියාට දන්වා තිබිණි. දෙවැනි පන්තියේ ටිකට් පතක ගාස්තුව ගෙවූ නමුත් උන්වහන්සේ එදා වැඩියේ ගල් අඟුරු, වාෂ්ප බලයෙන් ධාවනය වූ දුම්රියේ තුන්වැනි පන්තියෙ මැදිරියකය.

එදින සවස් වන විට අවට ගම් රාශියකින් පැමිණි සැදැහැතියන්ගෙන් පන්සල්වත්ත අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබුණි. අඳුරු වැටීමටත් කලින් පන්සලට වැඩි නාරද හිමියන්ට ධර්ම දේශනාව ආරම්භ කළ හැකි වූයේ තරමක් රෑ බෝ වීමෙන් පසුව ය. ඒ අතරවාරයේ දී පන්සල් වත්තේ කෙළවරකට ආසනයක් ගෙන්වා ගත් උන්වහන්සේ පැමිණ සිටි කුඩා ළමයින් සියලු දෙනාම ඒ අසලට කැඳවාගත් සේක. ධර්ම දේශනාවේ දායකත්වය දරන උපාසක මහතාගේ පුතා වූ මම ද මහත් ආඩම්බරයෙන් ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් ම ඉඳ ගත්තෙමි. අප සියලු දෙනා සමඟ ම ඉමහත් ආදරයෙන් අල්ලාප සල්ලාපයේ යෙදුණු උන්වහන්සේ එදා අපට උගැන්වූ පහත සඳහන් කවිය අදටත් මගේ මතකයේ රැඳී තිබේ.

“වනේ ගිජිදාය දුටුවොත් වනසාය
ළිඳේ පිණිදාය වැටුණොත් ඌ කාය
අතකින් කරවැලකී අතකින් දඬු බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය

මෙහි කර වැලකි යන්න කැටු වැලකි යනුවෙන් ඇතැම්හු සඳහන් කරති.

මහ වනයේ අතරමං වූ මිනිසෙක් හස්ති රාජයකු දැක මරණ බියෙන් දිවයන විට ළිඳකට වැටෙන්න යාමේදී ඉන් ගැලවෙන්නට ඒ තුළට නැමී තිබූ වැල් පටක එල්ලෙයි. ළිඳ පතුලේ දැවැන්ත නාගයකු සිටිනු ද, වැල් පටේ කරවැලෙක් එතී සිටිනු ද දකී. එසේ තුන් ආකාරයක මරණ බියක් තිබියදීත් මේ පුද්ගලයා එම වැලේ ම තිබූ මී වදයකින් වෑස්සෙන මී බින්දු කටට වැටෙන්නට සලස්වා ගනී.

මෙම කවියත්, ඊට පසුබිම් කරගත් ලස්සන ආදර්ශ කතා පුවතත් කියාදුන් ස්වාමීන් වහන්සේ එම පද සතර අපට කටපාඩම් වනතෙක් නැවත නැවත කියවා එහි අඩංගු ගැඹුරු අර්ථය ද වටහා දුන් සේක.

ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් මුල් ප්‍රහානය නො කර භවයක් භවයක් පාසා ජාති, ජරා, ව්‍යාධි, මරණ අත් විඳිමින් අනිත්‍ය, දුක්ඛ,අනාත්ම යන ත්‍රිලක්ෂණයන් අවබෝධ කර නො ගෙන ලෞකික සැප සම්පත්වල ඇලී ගැලී වාසය කරන අපද සිදු කරනුයේ අර තැනැත්තා කළ දෙය ම නොවේ ද?

නවම්  පුර පසළොස්වක

පෙබරවාරි 01 ඉරිදා පූ.භා. 05.54න් පුර පසළොස්වක ලබා 02 සඳුදා පූ.භා. 03.41න් ගෙවේ.
01 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]