ජාතික ආගමික මෙහෙවරට ජීවය දුන් නුවරඑළියේ චන්දජෝති මහ නාහිමියෝ

ජාතික ආගමික මෙහෙවරට ජීවය දුන් නුවරඑළියේ චන්දජෝති මහ නාහිමියෝ

මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උඩරට අමරපුර පාර්ශ්වයේ මහානායක ධුරන්ධර ප්‍රවචනකීර්ති ශ්‍රී ධර්මශාස්ත්‍රසූරී මහෝපාධ්‍යාය අතිපූජ්‍ය නුවරඑළියේ චන්දජෝති මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වසර 78ක් ආයු වළඳා 2026ක් වූ ජනවාරි මස 13 වන දින සන්ධ්‍යාභාගයේ දී අපවත් වී වදාළහ. මේ උන්වහන්සේ පිළිබඳ සංක්ෂිප්ත මතකාවර්ජනාවකි.

ඌව පළාතේ නුවරඑළිය මාගස්තොට විසූ මීපේ අත්තනායකගේ ජිනදාන මහතාට සහ කලුආරච්චි විජේසිංහගේ ලීලාවතී මහත්මියට 1948 ජූනි 02 දා ලැබුණු පුතණුවන් මීපේ අත්තනායකගේ චන්ද්‍රරත්න යනුවෙන් නම්කරනු ලැබිණි. නව දෙනකුගෙන් යුතු පවුලේ පස්වෙනියා වූයේ චන්ද්‍රරත්න දරුවා ය. කුඩා කල මාව්පිය සෙවණේ කෙළිදෙලෙන් හැදී වැඩුණු මේ කුමරුවාට නිසි වයසේ දී එම්.ඒ.ජිනසෝම නම් වූ සුළු පියාණන් විසින් අකුරු කියවා අතපොත් තබන ලදි.

අක්ෂරාභ්‍යාෂය සඳහා සුදුසු කල එළඹුණු කල්හි මාගස්තොට මද්දුම බණ්ඩාර මහා විද්‍යාලයට මවුපියන් විසින් ඇතුළත් කරන ලදී. වර්ෂ 3ක් එහිදී අධ්‍යාපනය ලද චන්ද්‍රරත්න දරුවා වර්ෂ 1957 දී නුවරඑළිය බොරලන්ද ශ්‍රී වජිරඤාණ විද්‍යාලයට ඇතුළත් ව රාජකීය පණ්ඩිත පී.ද.එස්. වීරක්කොඩි මහතා ඇතුළු කෘතහස්ථ ආචාර්ය මණ්ඩලයක් වෙතින් විශේෂ අධ්‍යාපනයක් ලැබීය.

පුරාකෘත පුණ්‍ය මහිමය ඉස්මතු වී ආ නිසාවෙන් ප්‍රව්‍රජ්‍යා භූමියට පත්වීමට සිත් පහළව වර්ෂ 1962 දෙසැම්බර් මස 13 වැනි දා විදුරුපොළ ශ්‍රී සුමංගලාරාම මූල මහා විහාරාධිපති ව වැඩ විසූ ශාසනවංශාලංකාර විනයවිශාරද පණ්ඩිත අතිපූජ්‍ය නුවරඑළියේ ශ්‍රී විමලබුද්ධි මහා නායක මාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් නුවරඑළියේ චන්දජෝති නමින් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් විය. උගත යුතු මූලික බණදහම් ස්වකීය ආචාර්යපාදයාණන් වහන්සේ වෙතින් ලත් චන්දජෝති පොඩි හාමුදුරුවෝ පැවිදි අධ්‍යාපනය සඳහා විදුරුපොළ පියතිස්ස පිරිවෙනට ඇතුළත් ව සාහිත්‍යාචාර්ය විදුරුපොළ ධම්මානන්ද, සාහිත්‍යාචාර්ය දික්කාපිටියේ නන්ද, පනාවල ධම්මරතන, ගම්පහ ඉන්ද්‍රජෝති යන ස්වාමිපාදයන් වහන්සේ වෙතින් ත්‍රිපිටක ධර්මාධ්‍යාපනය සහිත සිංහල, පාලි, සංස්කෘත, ඉතිහාසය, පුරාවිද්‍යාව ආදි විෂයයන් හදාළහ.

පාරිවේණික අධ්‍යාපනයෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වරම් හිමිකරගත් චන්දජෝති හිමිපාණන් වර්ෂ 1973 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් (ශ්‍රී ජයවර්ධනපුර ) ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත් අතර, වර්ෂ 1986 දී එම විශ්වවිද්‍යාලයෙන් ම ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගන්නා ලදහ. මේ වන විට පිරිපුන් 20 වස් සම්පූර්ණ ව උපසම්පදාර්හව සිටි චන්දජෝති පොඩිහාමුදුරුවෝ වර්ෂ 1969 ජුලි මස 20 වන දින විදුරුපොළ ශ්‍රී සුමංගලාරාම විශුද්ධ බද්ධ සීමාමාලකයේ දී නුවරඑළියේ ශ්‍රී විමලබුද්ධි මහ නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් සහ උඩුහාවර මේධානන්ද, රූපහ සද්ධානන්ද, අලවතුගොඩ දේවරක්ඛිත යන නාහිමිපාණන් වහන්සේගේ කර්මාචාර්යත්වයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමයෙහි ම විදුරපොළ ශ්‍රී පියතිස්ස පිරිවෙනෙහි ධර්මාචාර්යයන් වහන්සේ නමක ලෙස කටයුතු කළ මුන්වහන්සේ 1973 දී ස්ථිර ලෙස පිරිවෙන් ගුරු සේවයට එක්ව කෙටි කලක් සේවාවන්හි නිරත විය. 1976 දී රජයේ පාසල් ගුරු සේවයට එක්වූ මුන්වහන්සේ හේනකුඹුර මහාවිද්‍යාලය, වීදුරුපොල විද්‍යාලය, බෝගහකුඹුර නවෝද්‍යා පාසල, වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය, යන විද්‍යාලයන්හි ආචාර්යයන් වහන්සේ නමක ලෙස සුවහසක් දරුදැරියන්ගේ නැණස පෑදීමට ක්‍රියා කළහ. සමාජ ක්‍රියාකාරකයකු වශයෙන් ද ප්‍රකට චන්දජෝති නාහිමියෝ අගහිඟකම් ඇති බොහෝ පිරිසකට පිහිට වෙමින් ඔවුන්ගේ දුක්ගිනි නිවීමට වෙහෙසුණහ. අඟහිඟකම් ඇති පවුල්වල අධ්‍යාපනය ලබන දුවාදරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම, පාසල් උපකරණ ලබා දීම ආදියෙන් ඔවුනට සවියක් වූහ. මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීම, හිසට සෙවණක් අවැසි වූවන්ට නිවෙස් තනාදීම ආදී ක්‍රියාකාරකම්වල නිරන්තරයෙන් යෙදෙමින් ගුණගරුක සමාජයක් බිහිකර ගැනීමෙහි ලා චන්දජෝති මාහිමියෝ නිරන්තරයෙන් කැපවූහ.

ශාසනික වශයෙන් සුවිශාල සේවාවක නිරත වූ අප නාහිමියෝ උඩරට අමරපුර මහා නිකායේ දියුණුව වෙනුවෙන් දශක කිහිපයක් මුලුල්ලේ අනබිබවනීය සේවාවක නිරත වූහ. ස්ව නිකායේ කාරක සභික ධුරයකට පත් චන්දජෝති හිමිපාණෝ ස්ව නිකායේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ලේකම් ධුරය දරමින් නිකායාභිවෘද්ධිය උදෙසා ඉමහත් මෙහෙවරක් සිදුකරන ලදහ.

තරුණ වියේ සිට ම භික්ෂු ආකල්පයන්ගෙන් පරිපූර්ණ වූ සංවර සංයත ස්වරූපයක් උන්වහන්සේ වෙතින් දිස්වන්නට විය. භික්ෂු ප්‍රතිපදාවට අදාළ ව සුසිල්වත් බවින් යුතු ව නිරන්තරයෙන් කටයුතු කළ උන්වහන්සේ කෙරෙහි ප්‍රසාදයට පත් උඩරට අමරපුර නිකායික විනයවාදිනී කාරක මහා සංඝසභාව 2004 වසරේ දෙසැම්බර් 25 වන දින ස්ව නිකායේ අනුනායක ධුරයෙන් ද රාජකීය පණ්ඩිත කෙරිපැහැ සෝමානන්ද මහ නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු 2016 දෙසැම්බර් මස 25 වන දින මහානායක ධුරයෙන් ද සම්පූජනීයත්වයට පත් කළහ.

ශාස්ත්‍රීය වශයෙන්ද නොමැකෙන සේවාවක් සිදුකළ නුවරඑළියේ චන්දජෝති මහ නාහිමියෝ ඌව වංශකතාව 1, 2 පොදු ජන බුදු සමය ශ්‍රී ලංකා අර්ථ ක්‍රමයට කළ බලපෑම, ඉහළ ඌවේ අප්‍රකට ජනකවි, උඩරට අමරපුර නිකායේ මාහිමි පරපුර ආදී ග්‍රන්ථ 13කට ආසන්න ප්‍රමාණයක් රචනා කර ඇත. පුවත්පත් සඳහා ද ලිපි සපයමින් ස්වකීය දැනුම සමාජය වෙත දායාද කරන්නට උන්වහන්සේට හැකි වූහ. උඩරට අමරපුර මහා නිකායේ දියුණුව වෙනුවෙන් සහ ස්වකීය සඟ පරපුරේ පැවැත්ම වෙනුවෙන් කටයුතු රාශියක් සිදු කරමින් පවතිද්දී නො සිතූ මොහොතක උන්වහන්සේ රෝගී තත්ත්වයට පත්වූහ. ඒ හේතුවෙන් උන්වහන්සේ කරගෙන ආ වැඩපිළිවෙළ අඩාළ විය. උන්වහන්සේ පසුගිය 13 වැනි දින සිහිනුවණින් යුතුව අපවත් වී වදාළහ. මහා නාහිමිපාණන් වහන්සේ පැතූ බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා’ යි ප්‍රාර්ථනා කරමි.

නවම්  පුර අටවක

ජනවාරි 25 ඉරිදා අ.භා. 11.09න් පුර අටවක ලබා 26 සඳුදා අ.භා. 09.17න් ගෙවේ.
 26 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 26   

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]