නුවණින් විමසා අවබෝධයෙන් ගෙවිය යුතු මහලුවිය

නුවණින් විමසා අවබෝධයෙන් ගෙවිය යුතු මහලුවිය

ජරාව යන වචනය පවා ඇසෙද්දී කෙනකු තුළ ඇතිවන්නේ හිරිකිතයකි. පිළිකුලකි. සාමාන්‍ය ව්‍යාහාරය තුළ ජරාව යනු අසූචි ය. මුත්‍ර ය. කුණු වූ දේ ය. දුගඳ හමන දේ ය. නින්දා ලබනා දේ ය. ගැරහුම් ලබනා දේ ය. ස්පර්ශ කරන්නට හෝ දකින්නට හෝ සිතන්නට පවා අකැමැති දේ ය.

සන්තෝෂමට ද ජරාව යැයි කියන්නේ එය ද නින්දා ලැබිය යුතු, ගැරහුම් ලැබිය යුතු දෙයක් වශයෙන් සලකා බැලීමෙනි. පොදුවේ ගත් කල ජරාව නින්දා ලබන, ගැරහුම් ලබන පිළිකුලට බඳුන්වන දෙයකි.

අප ද ගෙවන මොහොතක් පාසා ජරාවට පත්වෙමින් හිරිකිත වූ, පිළිකුල් වූ, නින්දා ගැරහුම් ලබන්නා වූ තත්ත්වයකට මුහුණ දෙමින් සිටී යැයි ඔබට මොහොතකටවත් සිතුණාද? ඇතැමකුට නම් එසේ සිතෙන්නට ඇත. අවස්ථානුකූල ව ආලේපනවලින් ජරා තත්ත්වය සඟවා ගන්නට කටයුතු කළා මිස ජරාව ඉක්මවා යන්නට, ජරා දුකින් නිදහස් වන්නට වෙර වීරියක් ගත්තා යැයි අවම වශයෙන් අධිෂ්ඨානයක් හෝ ඇතිකර ගත්තා යැයි කියන්නට හැකිද?

දුක දැනගෙන, දුක දැකගෙන, දුකින් නිදහස් වීමට වෙර වීරිය උපදවා ගත යුතු අවස්ථා අටක් ගැන ධර්මයේ සඳහන් වේ. ඒ ගැන කෙරෙන විමසුමක උතුම් සම්බුදු මුව මඬලින් ගලා ගිය උතුම් සදහම් දෙසුමේ සඳහන් වන්නේ ජරාවට පත්වීම දුකක් බවයි.

උපන් සත්වයා කුමක් පිරිවරා සිටී දැයි එක්තරා දෙවියකු ඇසූ ප්‍රශ්නයකට භාග්‍යවතුන් වහන්සේ පිළිතුර වශයෙන් දේශනා කළේ උපන් සත්වයා ජරාව (මහලු වීම) පිරිවරා සිටින බවකි. මේ ජරාව යනු කුමක්ද?

“ඒ ඒ සත්ව ලෝකවල ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවට පත් වීමක්, දිරා යාමක්, දත් කැඩී යාමක්, කෙස් ඉදී යාමක්, ඇඟපත රැළි වැටී යාමක්, ආයුෂ පිරිහී යාමක්, ඉන්ද්‍රියන්ගේ මෝරා යාමක් ඇත්ද මෙයයි.”

මේ අනුව කෙනකු උපන්දා සිට ම ජරාවට පත්වන බව කිවමනා ය. මන්ද උපන්දා සිට ම ආයුෂ ගෙවී යන හෙයිනි. ඉන්ද්‍රියයන්ගේ මෝරා යාමක් වන හෙයිනි. එසේම කොතැනක කෙසේ උපත ලැබුව ද ජරාවට පත් වීම සියලු සත්වයෝ ම උරුම කරගෙන සිටින්නකි. සියල්ලන්ට ම පොදු ධර්මතාවකි. සියලු දෙව්බඹුහු ද ඇතුළු කොටගත් සියලු සත්වයෝ ජරාවට පත්වන්නාහ. එයින් මිදුනකු ලොව නැත.

මේ කය (ශරීරය - රූපය) මෙසේ ජරාවට පත්වන්නේ දිරා යන්නේ කිම? හේතුව මේ කය සංඛතයකි. (සකස් වූ දෙයකි) ඉපදීමත්, වැනසී යාමත්, පවතින දේ තුළ වෙනස්වීමත් යන ලක්ෂණ උරුම කර ගත්තක් වීම ය. ඒ ස්වභාවයෙන් යුක්ත වීම ය. මේ අනුව උපන් මොහොතේ සිට ම මේ කය වෙනස් වෙමින් පවතියි. අවසන්වී යයි. එහෙයින් මේ කය දුකකි. වෙනස්වීමට, ජරාවට පත්වීමට ලක්වන නිසා ම දුකකි.

ජරාවට පත් වීම දුකක් බව කිසි කලෙක දී කිති තැනක දී වෙනස් නොවන දුක්ඛ ආර්ය සත්‍යය ගැන දේශනා කරමින් භාග්‍යවතුන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දී සදේවක ලෝකයාට පළමු වතාවට දේශනා කළ සේක. දෙවියන් පවා දිව්‍ය ලෝකවලින් චුත වීමට ආසන්න වෙත් ම සිරුරු පැහැය අවපැහැ ගැන්වී බැබළීම පිරිහී ගොස් සුවඳ අතුරුදහන් ව ඩහදියෙන් යුතු වන බව ද දේශනා කළ සේක.

යම් තැනක, ඇස, කන, නාසය, දිව, කය මනසෙහි යම් පහළවීමක් වේ ද, ඒ වනාහී ජරාවේ පහළ වීම බව භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාවක් වන සළායතන සංයුත්තයේ උප්පාද සූත්‍රයේ අපට හමුවේ. ජරාවෙන් තොර බවක් කිසිදු දෙවියකුට, බ්‍රහ්මයකුට, මාරයකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයකුට හෝ අන්කිසිවකුට ලැබිය නො හැකි බව ද උන්වහන්සේ දේශනා කළ සේක.

අද ඇතැමෙක් ගත කරන්නේ ළදරු ළමා වියේ විය හැක. හෙට දවසේ ඔහු හිරිමල් යෞවනයේ වියේ ය. තව ටික කලක් ගත වෙද්දී ඒ ශරීරය ජරාවට පත් වීම, පිරිහීයාම ඔබට දැක ගත හැකි වනු ඇත. මහ කළු ගලක් කුඩු කරන්නට කුළු ගෙඩි පහර සියයක් අවැසි විය හැක. ඒ කළු ගල බිඳී යන්නේ සියවෙනි පහරින් මුත්, පළමු පහර ද අන් සියලු පහරවල් ද ඒ බිඳී යාම තුළ පවතින්නාක් මෙන් ඔබ දැනටමත් ජරාවට පත්වී නැතුවා නො වේ. මන්ද මේ වන විට ඔබගේ ආයුෂ යම් ප්‍රමාණයක් ගෙවී ගොස් ඇති නිසාවෙනි.

මෙහිලා සුවිශේෂි විස්තරයක් අපට මහ ධන සිටු පුතාගේ කතාව තුළින් දැනගැනීමට හැකි ය. රන් කහවණු අසූ කෝටියක ධනයකට හිමිකම් කියූ සිටු පුතකු අසූ කෝටියක දායාදයක් සහිත ව සිටු කුමරියක් සරණ පාවා ගත්තේ ය. පරම්පරාවෙන් ලද වස්තුව අත දිගහැර විනෝද සාද ආදිය සඳහා වියදම් කළා මිස අලුතින් ධනයක් ඉපැයීමක් හෝ ධර්මයේ හැසිරීමක් හෝ ඔවුනතර නොවුණි. වේගයෙන් පිරිහීමට ලක්වූ ඔවුන්ට අවසන සිදු වූයේ සිඟමනින් ජීවත් වීමට ය. එසේ මහමඟ සිඟමන් යදින මේ සිටු යුවළඟේ අවාසනාවන්ත ඉරණම දුටු භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, ඔය සිටු දෙපළ තරුණ වයසේ දී මහණ වුණා නම් සිටු පුතා අරහත්වයට පත් වෙනවා. සිටු දුව අනාගාමී වෙනවා. මැදි වයසේදී දෙන්න පැවිදි වුණා නම්, සිටු පුතා අනාගාමී නෙවා. සිටු දුව සකදාගාමි වෙනවා. මහලුව පැවිදි වූවා නම් සිටු පුතා සකදාගාමී වෙනවා. සිටු දුව සෝතාපන්න වෙනවා. ජීවිතේ අවසාන ම කාලයට ඇවිල්ල ඉන්න මේ දෙන්නා දැන් ඒ සියල්ල අහිමි කරගෙනයි ඔය ඉන්නේ.”

මෙයින් පැහැදිලිව ම පෙනෙන්නේ ආයුෂ ගෙවී යාමත් සමඟ ම ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිරිහී යාම ය. සත්වයාගේ ජරාවට පත් වීම ය. දිරා යාම ය.

මරණයට පත්ව දින හතක් ගත වූ සිරිමා නම් සුරූපී වෙසඟනගේ ඉදිමී නිල්වී ගිය ශරීරය අරබයා භාග්‍යවතුන් වහන්සේ මේ නිත්‍ය යැයි, සුභ යැයි, ආරෝග්‍ය යැයි සිතා සිටින ශරීරය ගැන මෙසේ වදාළ සේක.

“දැන්වත් හොඳින් බලා ගන්න. ලස්සනට සරසගෙන සිටියට මේ කයේ තිබෙන්නෙ මස් වැදිච්ච ඇටසැකිල්ලක්. ලෙඩ දුකක් ගොඩක්. අඥාන ජනයා මේ ශරීරය ගැන බොහෝ මනහර සිතිවිලි සිතුවට මෙහි නිත්‍ය දෙයක් නැහැ. ස්ථිර දෙයක් නැහැ. පවතින දෙයක් නැහැ”.

අපගේ ශරීරය ද මෙසේ ම ය. නහවා පිරිසුදු කොට, විලවුන් ගල්වා නොයෙක් අයුරින් සරසා, ප්‍රෝටීන්, විටමින් බහුල දේ කවා පොවා, ශරීර සුවතා අභ්‍යාස කොට පවත්වා ගන්නට උත්සාහ ගන්නේත්, ඒ අසාර්ථක උත්සාහයකි. ඒවායින් තාවකාලික ව පැලැස්තරයක් දමාගත හැකි වුව ද ජරාව පිරිවරා ගත් මේ කය ස්ථිර ව පවත්වනවා යන කරුණ කිසිදු සත්වයකුට ලැබිය හැකි දෙයක් නම් නොවේ. අපට මේ යථාර්ථය පිළිබඳ ව වැටහීමක් වේද? නැත. අවිද්‍යාව නම් අන්ධකාරයෙන් වැසී සිටින අපි ජීවිතය දෙස සුභවාදී ආකල්පයෙන් දකිමින් වසන්නෙමු. සැබෑව පෙන්වා දෙන ධර්මයට ද දුක ගැන ම කියමින් ජීවිතය පිළිබඳ ව කලකිරීම ඇති කරවතියි යනුවෙන් චෝදනා කොට හරහා බොහෝ පව් ද රැස්කර ගනියි.

සතර මහා ධාතූන්ගෙන් සකස් වූ මේ රූපය ජරාජීරණ ව අවසන් වෙතැයි ජේතවන අසපුවේ දී උත්තරා තෙරණිය අරබයා දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ එහි දී ම සුරාවෙන් මත්ව සිටි විශාඛාවගේ යෙහෙළියන් අරබයා දේශනා කළේ මේ ජීවිතය ජරාමරණාදියෙන් ගිනි ගනිද්දී මොන හිනාද? මොන සතුටක්ද? වශයෙනි.

ජරාවට පත්වීම නම් දුක ආටෝප සාටෝපයෙන් වසන් කරන ලොවක මුළාව බලවත් වෙනවා සේ ම යථාර්ථය දකින්නට ඇති අවම ඉඩකඩ ද අහිමි කරමින් සිටී. එහෙයින් මුළාවෙන් මුළාවට ම පත්වෙනවා මිස මෙයින් ගැලවීමක් නො පෙනේ. ධර්මයට කැමැත්තෝ, නුවණින් විමසන්නෝ පමණක් මේ යථාර්ථය දකින්නට වෙර ගත්තෝ ය. මේ ජරාව නම් දුක දකිතොත් දකින්නේ ඔවුන් පමණි.

එන්න, ඇවිත් බලන්න මේ ජීවිතයේ ඇත්ත දිහා. විචිත්‍ර විදියට සරසලා තියෙන රාජකීය අශ්ව රථයක් වගේ, අඥාන පිරිස මේ විලාසිතාවලට සම්පූර්ණයෙන් ම අහුවෙනවා. නමුත් මේකෙ යථාර්ථය අවබෝධ කරපු උදවිය නම් මේ ජීවිතෙත් එක්ක කිසි ගනුදෙනුවක් කරන්නෙ නැහැ.”

මල්ලිකා දේවියගේ මරණය දැනගත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙවැනි ම දෙයකි. එය සචේතනික වේවා, අචේතනික වේවා සියල්ල දිරා යාම, ජරාවට පත් වීම උරුම කරගෙන සිටින බව පැහැදිලි කෙරෙන දෙසුමකි.

“විචිත්‍ර විදියට සරසපු රාජකීය මංගල රථ පවා දිරල යනවා. කොච්චර සැරසුවත් මේ ශරීරයත් දිරල යනවා. නමුත් සත්පුරුෂයන්ගේ ගුණධර්ම ජරාවට පත් වෙන්නේ නැහැ. ඇත්තෙන්ම සත්පුරුෂයන්ට ශාන්ත මුනිවරු මේ කාරණේ කියල දෙනවා.”

“මට ජීවත්වෙන්න තියෙන්නෙ සුළු කාලය යි. ඊට පස්සෙ ජරාවෙන්, ලෙඩ රෝගවලින් මාව යටපත් වෙනවා. අන්තිමේ දී ජරා ජීරණ වෙලා මේ කය බිඳිලා යනවා.”

මේ ජීවිතයේ ජරා දුක දුටු මිත්තාකාලී තෙරණිය ඇගේ අවබෝධය එසේ උදානයකින් ප්‍රකාශ කළා ය. කලෙක වෙසඟනක් ව සිය රූප ශෝභාවෙන් මුළු මගධය ම උන්මාදයට පත් කළ අම්බපාලිය පසු කලෙක පැවිදිව, අරහත්වයට පත්ව ජරාවට පත්වීම ගැන ප්‍රකාශ කළේ රූපයෙන් මත්වූ ප්‍රමාදව සිටින කාටත් ජීවිතය දෙස නුවණින් විමසා බලන්නට බල කරමිනි. පොළඹවමිනි.

ඉස්සර බඹරුන්ගේ මෙන් කළු පාටට කැරලි ගැහිල උඩට හැරිල තිබුණ කොණ්ඩය දැන් ජරාවට පත්ව හණ වැහැරී මෙන් වී ඇතැයි ද, ඉස්සර සුවඳ කරඬුවක් ව තිබූ කොණ්ඩය දැන් ලොම් ගඳින් යුතු යැයි ද, ඉස්සර පිළිවෙළට ලස්සනට මල්වවපු මිදුලක් සේ පීරා තිබූ කොණ්ඩය දැන් තැන තැන ගැලවී ගොස් තිබේ යැයි ද, ඉස්සර දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ලස්සනට ඇඳි රේඛා දෙකක් සේ දිස්වූ ඇහිබැම දැන් නළලේ එල්ලා වැටෙන්නේ යැයි ද, ඉස්සර නිල් මැණික් මෙන් දිදුල නෙතු දැන් විරූපී වී ඇතැයි ද ඉස්සර සිනිඳුවට ඉස්සී තිබූ නාසය දැන් ජරාව විසින් හකුළුවා දමා ඇතැයි ද, ඉස්සර සුදට සුදට සුදේ කොඳ කැකුළු සේ දිස් වූ දත් දැන් ජරාවට පත්ව කහ පාට වී ඇතැයි ද, ඉස්සර කොවුල් නද බඳු කටහඬ දැන් වචන පටලැවෙන බව ද ආදි වශයෙන් සියොළඟ වෙලා ගත් ජරාව ගැන ඕ කියන්නීය.

මේ යථාර්ථය සිය විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කළ භාග්‍යවතුන් වහන්සේ ඨාන සූත්‍රයේ දී ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා නිතර නිතර නුවණින් සිහි කළ යුතු කරුණක් වශයෙන් “මම ජරාවට පත්වෙන කෙනෙක්මි. ජරාවට පත්වෙන ස්වභාවය ඉක්මවා නො ගිය අයෙක්මි.’ යි යන්න දේශනා කළ සේක.

අපට දැන් ප්‍රමාද වන්නට කාලයක් නැත. ජරාව විසින් අපව යට කර ගෙන ගොස් තිබේ. යට කර ගෙන යමින් සිටී. එහෙයින් මේ ජරා දුකෙන් නිදහස් වීමට අප්‍රමාදි විය යුතු ව ඇත.

“දැන් ඔබ හොඳට ම වයසට ගිහිල්ලා නේද ඉන්නේ? මරුකටේ නේද ඉන්නේ? මාරයා ළඟට ම ගිහින් නේද ඉන්නේ? ඔබට ජීවිතයත්, මරණයත් අතර වැඩි කාලයක් නැහැ.”

“තමන්ගෙ හිස ගිනි ගන්න වෙලාවට වෙන දෙයක් ගැන හිතන්න වෙලාවක් නැහැ. ජරා මරණ දෙක ලුහුබැඳගෙන එනකොට ඒකෙන් නිදහස් වෙන්නයි වීරිය කළ යුත්තේ.

මේ කාමයන් තිබුණොත් ඒ හැම භවයේ ම, හැම උපතේ ම තියෙන්නේ ජරා මරණ විතරයි. නමුත් ජරා රහිත වූ නිවන තියෙන වෙලාවෙ ඔයාලට මේ කාමයන්ගෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?”

“මේ ඉපදීමත්, ජරාවත් ඔබව යට කරගෙන යන්නෙ මහා සාගරයේ රළ ගෙඩි වගේ. තමන්ගෙ ජීවිතයට යහපත සැලසෙන දූපතක් හදාගන්න. වෙන බාහිර පිහිටක් ඔබට නැහැ.”

ජරාවෙන් ජීවිතය ගිනි ඇවිළී ඇත. එහෙයින් පි‍්‍රයමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහසාදී කාමයන් සොයා යනවා වෙනුවට අප විසින් වහ වහා කළ යුතු ව ඇත්තේ ජරා දුකින් අප ව නිදහස් කරවන බුදු සසුන මුණගැසී ඇති අවස්ථාවේ ජරා දුකින් නිදහස් වීම පිණිස ධර්මයේ හැසිරීම මිස අනෙකක් නොවේ.

නවම්  පුර අටවක

ජනවාරි 25 ඉරිදා අ.භා. 11.09න් පුර අටවක ලබා 26 සඳුදා අ.භා. 09.17න් ගෙවේ.
 26 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 26   

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]