අල්ප ආස්වාදයේ මුළාව
බුද්ධශාසන අමාත්‍යාංශයේ
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ
ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්
කේ.කේ. සුගතපාල
බුදු දහමේ ලෝක දෙකක් පෙන්වා දෙයි. කාමරූප, අරූප තුන් භවයෙන් යුත් ව්‍යවහාරික සම්මත
ලෝකය එකකි. බුදුරදුන් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කිරීමේ දි අවබෝධ කළ පරමත්ථ ලෝකය
අනෙකය.
සම්මත ලෝකය යනු අපේ ඇස, කන, නාසය, කය හා මනසට ගොදුරුවන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස,
සිතිවිලි ආදී ධර්මතා ය. පරමත්ථ ලෝකය ලෙස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට
ඇත්තේ බඹයක් පමණ වූ මේ සිරුර චිත්ත චෛතසික, රූප, නිබ්බාන සතර ධර්මතාවන් ලෙස ය.
සම්මත ලෝකයේ අපට හමුවන ආයතන හය හා ඒවාට ගොදුරුවන රූප හය නිත්‍ය, සුඛ, ආත්ම (සත්ත්ව
පුද්ගල) සංකල්පයෙන් අපි ස්පර්ශ කරනමුත්, පරමත්ථ ලෝකය තුළ දක්වා ඇති නාම (චිත්ත
චෛතසික) හා රූප (කය) දෙක නිසා හටගත් සළායතනයෝ නිත්‍ය වෙනුවට අනිත්‍ය ලෙසින් ද සුඛ
වෙනුවට දුක්ඛ ලෙසින් ද, ආත්ම වෙනුවට අනාත්ම සංකල්පයන්ගෙන් ද දක්වා ඇත.
සම්මත ලෝකයේ දී හමුවන රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප හා ධම්ම
රූප, පරමත්ථ ලෝක දේශනාවේ දක්වා ඇති පරිදි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සිතින් ස්කන්ධ
ධාතු ආයතන වශයෙන් ස්පර්ශ කළොත් නිබ්බානය ප්‍රත්‍යක්ෂ වේ.
නිබ්බානය නම් විමුක්තිය යි. නිදහස් වීම යි. මිදීම යි. කුමකින් ද? ලබා ඇති මිනිස්
දිවියේ දී විඳින සෝක, පරිදේව, දුක්, දෝමනස්ස, උපායාස, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම,
අපි‍්‍රයයන් හා එක්වීම, කැමැති දේ නොලැබීම ආදී මෙලොව දුකින් හා ලෝභ, ද්වේෂ, මෝහ යන
සංසාර දුක්වලින් ය.
තණ්හාව උපාදාන කොටගෙන කාම, රූප, අරූප යන ත්‍රිවිධ භවයෙහි උපත ලබන අපි අනිවාර්යයෙන්
ම ජරා - මරණ දෙකට ගොදුරු වන්නෝ වෙමු. මේ මරණයෙන් පසු තුන් භවයෙන් එකක පුනර්භවයක්
ලබා නැවත නැවත ජරා මරණයට හිමිකරුවකු වන්නේ කලින් කී සළායතන ස්පර්ශයෙන් ඇතිවන වේදනා
– සංඥා - සංස්කාර යන චෛතසික (සිතිවිලි) තුන ඇතිවන සිත (චිත්ත) නිසා ම ය. මේ සිත
“විඤ්ඤාණට්ඨිති” (නැවත නැවත ඉපිද මැරීමට හේතුවන සිත) ලෙස අභිධර්මයේ නම් කර ඇත.
අනවරාඝ්‍ර සසරට ඇද දමන මේ විඤ්ඤාණය වෙනුවට සළායතන ස්පර්ශයේ දී ගොදුරුවන සෑම සය ආකාර
රූපයක් ම අනිත්‍ය - දුක්ඛ - අනාත්ම සංකල්ප මතු කර ගෙන උපන් ක්ෂණයෙහි ම ඉතිරි නැති ව
භංග වන ස්කන්ධ සමූහයකි. ධාතු සමූහයක් වශයෙන් සිත් ඇති කර ගත හැක්කේ නම්
උදයබ්බයානුපස්සනා ඤාණය මුල් කොට නවවැන්න වූ සච්චානුලෝමික ඤාණය දක්වා වූ සිත් වඩවා
ගත හැකි ය. එවැන්නකු හට සෝවාන් මඟට පිවිස අකාලිකව ම සෝවාන් ඵලය සාක්ෂාත් වන්නේ ම ය.
සෝවාන් ඵලය සාක්ෂාත් කළහු අවම මේ භවයේ හෝ ඊළඟ භවයේ හෝ (ඒක බීජං) ඉපිද හෝ උපරිම අටවන
භවයක නොඉපිද සත්වන භවයේ දී (සත්තක්ඛත්තුං පරම) සංසාර දුකින් මිදීම හෙවත් අරහත් ඵල
නිවන ලබා ගන්නේ ම ය.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයකු හට ඉහතින් දැක්වූ නවවිධ ඤාණ අවබෝධ වීම “ධම්මට්ඨිති ඤාණ”
නමින් බුදු වදන්හි දක්වා ඇත. තවද විපස්සනා ඤාණ ගෝත්‍රභූ ඤාණ - චුල්ල සෝතාපන්න ඤාණ
ලෙස ද නම් කර ඇත්තේ යථා භූත ඤාණය හෙවත් මේ ධම්මට්ඨිති ඤාණයට ම ය.
මනුෂ්‍යත්වය ලැබූ අපි අල්ප ආස්වාදයකට මුළා වී “විඤ්ඤාණට්ඨිති ඤාණය” වෙනුවට සසර දුක්
නිම කර ගත හැකි “ධම්මට්ඨිති ඤාණ” ඇත්තෝ වීමට තව තවත් සත්පුරුෂ ඇසුර හා සද්ධර්මය
ශ්‍රවණය කරන්නෝ වෙමු. |