|
දුරුතු පුර
පසළොස්වක පෝ දා 2026-01-03
සතුට සැනසුම තමන් ළඟ ම ය
ජයං වෙරං පසවති දුක්ඛං සෙති පරාජිතො
උපසන්තො සුඛං සෙති හිත්වා ජයපරාජයං
ජයග්‍රහණය වෛරයට හේතු වේ. පරාජය දුකට හේතු
වේ. ජය, පරාජය යන ද්විත්වය ම ඉවත් කළ තැනැත්තා සැනසීම ලබන්නේ
ය.
මේ ධර්මෝපදේශය බෞද්ධයාට ආගන්තුක වූවක් නොවේ.
නොදන්නා කෙනෙක් නොමැති තරම් ය. දහම් දැනුම තිබුණ ද ඒ ධර්මාර්ථ
ජීවිතයට නොගැලපීම නිසා, ජීවිතාවබෝධය නොමැතිවීම නිසා ජයග්‍රහණ
පසුපස හඹා යමින්, තමන් පැරදවූ අයට වෛර බඳිමින් ගිනිගෙන දැවෙන
සිතැත්තෝ තමන් විසින් ම වැනසෙනු ලැබෙති. සැනසුම අහිමි කර
ගනිති.
මේ මනුසත් බව දුර්ලභ සැපතකි. සසර ගමනේ එක්
නැවතුම් පොළකි. එහි රැඳෙන්නට ඇති කාලය සීමිත ය. කවර මොහොතක නම්
හැරයන්නට වේ දැයි අපි කිසිවෙක් නොදනිමු. එහෙත් හැරයන්නට ම වන
බව දනිමු. ඒ සනාතනික ඇත්ත අවබෝධ කර ගන්නවා නම් මේ පුංචි කාලයට
ජය පැරදුම් ඉදිරියේ නොසැලී සිටින්නට පුළුවන. සම්බුදු දහම අපට ඒ
සඳහා අවැසි මඟ පෙන්වයි.
එක් පැත්තකින් අපි ලෝක ධර්මතා අටකට මුහුණ
දෙමු. ලාභය දිනුමකි. අලාභය පැරදුමකි. දිනුම සතුටකි. පැරදීම
දුකකි. එහෙත් ඒ ජීවිතාවබෝධය නොමැති පුද්ගලයාට ය. ලෝ දහම දන්නා
පුද්ගලයා ඊට උපේක්ෂාවෙන් මුහුණ දෙයි. එවිට සැනසුම අහිමි
නොවෙයි. ජීවිතයේ ගැටලු, පැන නඟින්නේ, ඒ ගැටලු ඉදිරියේ මනසින්
කඩා වැටෙන්නේ දුර්වල පුද්ගලයින් ය. ඒ දුර්වලතා මඟ හැර ශක්‍යතා
වර්ධනය කරන සැටි සම්බුදු දහම අපට උගන්වයි.
බුදුරජාණන් වහන්සේ ගැටලු විසඳීමේ අපූර්ව
ක්‍රම හතක් සබ්බාසව සූත්‍රයේ දී පැහැදිලි කොට ඇත.
දස්සනා පහාතබ්බා, සංවරා පහාතබ්බා, පට්සෙවනා
පහාතබ්බා, අධිවාසන පහාතබ්බා, පරිවජ්ජනා පහාතබ්බා, විනොදනා
පහාතබ්බා, භාවනා පහාතබ්බා වශයෙනි.
ජීවිතයේ මුහුණ දෙන විවිධ සිදුවීම් ගැටලු බවට
පරිවර්තනය කර ගන්නේ බොහෝවිට තමන් ඒ පිළිබඳ දක්වන ආකල්ප නිසා ය.
සියල්ල වෙනස් වන බව දන්නවා නම්, කිසිවක ඇලෙන්නේ හෝ ගැටෙන්නේ හෝ
නැත. ඇලීම් ගැටීම් නැති කළ තැන ඇත්තේ සාමය යි. සැනසීම යි. මේ
තැනට එන්නට නම් අප බුද්ධිමත් විය යුතු ය. ආධ්‍යාත්මික
සංවර්ධනයක් ඇති කර ගත යුතු ය.
ඉන්ද්‍රිය සංවර කිරීමෙන් ගැටලු විසඳා ගත
යුතු ය. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉඳුරන්ට හමුවන අරමුණු
අසීමාන්තික ව පිනවීම ම ගැටලුවලට මුලයි. දකින දෙය දුටුවා පමණි.
ඇසුණ දෙය ඇසුණා පමණි ආදි ලෙස සිතමින්, මේ සියලු අරමුණු තමන්ගේ
කර ගන්නට සූදානම් නොවී මේ සියල්ලෙහි වෙනස්වීම, විනාශය නිත්‍ය
බව අවබෝධ කර ගන්නට උත්සාහ කරනවා නම් අසීමාන්තික ව ඒවා පිනවන්නට
දරන වෑයම ව්‍යර්ථ වේ. අධිපරිභෝජනයෙන් මිදීම, දුක් ඉවසීම,
සැලකිල්ල, යහපත් ඇසුර, කෝපය සංසිඳවා ගැනීම සේ ම ආධ්‍යාත්මික ව
සිත දමනය කර ගන්නට භාවනා වැඩීම අප හමුවේ වන ගැටලු විසඳීමෙහි මඟ
ය.
මේ දහම් මඟට පිවිස ගැටලුවලින් තොර ජීවිතයක
සුවය ලබමු. |