අදියර තුනකින් ජීවිතය ජය ගමු
ශාස්ත්‍රපති
බොරලුගොඩ ඉන්දරතන හිමි
පන්සිය පනස් ජාතක පොතට ඇතුළත් වණ්ණුපථ ජාතකයේ දී තම අභිමතාර්ථ සාධනය සඳහා බෝසතුන්
තුළ පැවති නොපසුබට උත්සාහයත්, දැඩි වීර්යයත් තැනට සුදුසු නුවණත් ප්‍රකට වේ.
ගැල්පුරා බඩු පුරවාගත් බෝසත් වෙළෙන්දා ජලය නැති නිරුදක කතරක අතරමං වෙයි. ජලය
බින්දුවක් සොයා ගැනීමට නොහැකි කාන්තාරයක් වුවත් ඉන් කලබල නොවන බෝසත්තුමා තැනට
සුදුසු නුවණින් ක්‍රියා කොට මේ මහා කාන්තාරය මැද ජල උල්පතක් සොයා ගනී. එය උත්සාහය
සහ දැඩි වීර්යයේ ප්‍රතිඵලයකි.
බෝසතුන්ගේ අන්තිම ආත්මභාවය වූ සිදුහත් තාපස අවදියේ සත්‍ය සොයා යන ගමනේ සය වසක
නිරර්ථක දුෂ්කරක්‍රියා සමයක් ගතකරන්නට සිදුවිය. අවසන තම අතපසු වීම් සකසාගත්
බෝසතාණන් වහන්සේ නිවැරැදි මාර්ගයට එළඹ ගයා ශිර්ෂයේ ඇසතු රුක මුල බද්ධ පර්යංකයෙන්
වැඩ සිටියේ චතුරංග සමන්නාගත වීර්යයෙනි.
“සම්, මස්, ඇට, නහර වියළී සිඳී බිඳී ගියත් බුද්ධත්වය ලබා මිස මේ අසුනින්
නොනැඟිටිමි.” බෝසතාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්ව තම අපේක්ෂාව මුදුන්පත් කර
ගත්තේ උත්සාහය සහ වීර්යය යන ගුණධර්මවල උපකාරයෙනි.
ජීවිතය සාර්ථක කර ගැනීමට අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට බෝසත් චරිතයේ ආදර්ශ මෙන් ම,
බුදුරජාණන් වහන්සේ නොයෙක් වර යම් යම් පුද්ගලයන් අරභයා දේශනා කරන ලද දහම් කරුණු
ප්‍රායෝගික ව අප ජීවිතවලට එක්කාසු කර ගත යුතු ය.
මෙහිදී අතහැර දැමිය යුතු දුර්ගුණ මෙන් ම ජීවිතයට සම්බන්ධ කර ගත යුතු වටිනා ගුණාංග
කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළ හැකි ය.
සෑම කෙනකුම දුරින් ම දුරු කළ යුතු දුර්ගුණාංගයකි කුසීතකම හෙවත් අලසකම. මෙම ක්ලේශය
දැක්වෙන්නේ ථිනමිද්ධ යනුවෙනි. “පඤ්ඤාය මග්ගං අලසො නවින්දති” යනුවෙන් බුදුරදුන්
වදාළේ අලසයා කිසිවිටෙක ප්‍රඥාවන්ත ජීවිතයක් නොලබන බවයි.
ජීවිතයේ සාර්ථක බවට අදියර තුනක් සම්පූර්ණ කර ගත යුතු බව දහමේ දැක්වේ. එනම්, ආරම්භක
ධාතු, නික්කම ධාතු හා පරක්කම ධාතු යන පිළිවෙළට ය.
ජීවිතය රකින්නට රැකියාව, වෙළහෙළඳාම්, ගොවිතැන්බත්, කර්මාන්තයක්, ව්‍යාපාරයක් ඇරඹිය
යුතු ය. ඒ සඳහා අවශ්‍ය පසුබිම නිවැරැදි ව, අප්‍රමාදී ව ආරම්භ කළ යුතු ය.
ආරම්භ කරන ලද මෙම වැඩ පිළිවෙළ අනලස් ව, බාධාවන් මැඩපවත්වා ගනිමින්, උත්සාහයෙන්,
කැපවීමෙන්, ඉදිරියට පවත්වා ගෙන යාම අවශ්‍යය.
එපමණකින් නොනැවතී තම අභිමතාර්ථය සපුරා ම ඉටුවන තුරු උත්සාහය සහ වීර්යය දුර්වල කර
නොගෙන අවසාන ඉලක්කය වෙත ගමන්කළ යුතු ය.
මෙම උත්සාහායේ දී අත්හළ යුතු දුර්ගුණ මෙන් ම සම්බන්ධ කර ගත යුතු යහපත් ගුණාංග
කිහිපයකි. පව්ටු මිතුරන් ආශ්‍රය, සුරාවට සූදුවට ලොල්වීම, දුරාචාරය වැනි අවගුණ
ජීවිතය තුළින් සපුරා ම ඈත් කළ යුතු අතර, ජීවිතයට එක්කාසු කර ගත යුතු සාරධර්ම වශයෙන්
උත්සාහය, වීර්යය, අප්‍රමාදීව කටයුතු කිරීම, ඉවසීමෙන් ක්‍රියා කිරීම, කල්‍යාණ
මිතුරන් ආශ්‍රය වැනි ගුණාංගවලට මුල් තැනක් හිමි වේ.
මවුපියන්ගේ හදිසි අභාවයෙන් අසරණ වූ කුම්භ ඝෝෂක තරුණයා අයාලේ ගොස් වැනසෙන්නට කරුණු
සැලසී තිබුණු තම ජීවිතය ගොඩනඟා ගත්තේ තැනට සුදුසු නුවණින් නිවැරැදි ක්‍රියා
පිළිවෙත, උත්සාහය සහ ඉවසීම වැනි සාධනීය ගුණාංග තුළිනි.
උත්සාහවන්ත ව කටයුතු කිරීමත්, එළැඹ සිටි සිහියත්, නිවැරැදි ක්‍රියා පිළිවෙළත්,
විමසා බලා කටයුතු කිරීමත්, සංවර බව සහ ධාර්මික ජීවන පැවැත්ම, අප්‍රමාදී බව යන
ගුණාංග ජීවිත සුඛිත මුදිත බුදුරජාණන් වහන්සේ බව දේශනා කොට වදාළහ. |