[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නොසන්සුන් සිතට කරදර පීඩා වැඩියි - බුත්තල ඤාණාධාර හිමි

නොසන්සුන් සිතට කරදර පීඩා වැඩියි - බුත්තල ඤාණාධාර හිමි

ස්වාමීන් වහන්ස, චිත්තවේග කළමනාකරණය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

චිත්ත කියන්නේ අපේ සිතට, නැත්නම් මනසට. වේග වශයෙන් හඳුන්වන්නේ සිතේ ඇතිවන්නා වූ උද්වේගයට, සාමාන්‍යයෙන් අපේ සිතේ ජනිත වන ලෝභය, ද්වේෂය, මෝහය, බිය, සතුට වැනි හැඟීම් නිවැරැදි ව නිසියාකාර ව අවබෝධ කරගෙන ඒවා පාලනය කරමින් සාමකාමී පැත්තට සංවර්ධනය කර ගැනීම චිත්තවේග කළමනාකරණය වශයෙන් සරලව සඳහන් කරන්න පුළුවන්.

ලෝභය, ද්වේෂය, මෝහය යන අකුසල මූලයන් මූලික කරගෙන අපේ අතින් යම් යම් දේ සිදුවෙනවා. ස්වභාවයෙන් ම ප්‍රභාස්වර පිරිසුදු සිතක් පවතින බව බුදු දහම පෙන්වා දෙන කරුණක්. එසේ වුවත් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ආදී ඉන්ද්‍රියයන්ගෙන් ලබා ගන්නා වූ අරමුණු හේතු කොට ගෙන සිත කෙලෙසීමට පත්වෙනවා. එම අපිරිසුදු තත්ත්වයට පත්වීම නිසා අපි වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ ප්‍රතිචාර දක්වනවා. එය තරහවක්, වෛරයක්, ද්වේෂයක් වශයෙන් වෙනත් ස්වරූපයකින් පිටතට පැමිණිය හැකියි. එම කැළඹිලි සහිත වූ අවුල්සහගත සිත හොඳින් හඳුනාගෙන පාලනය කර ගැනීමට කටයුතු කිරීම චිත්තවේග කළමනාකරණය වශයෙන් හඳුන්වන්න පුළුවන්.

“චිත්තවේග කළමනාකරණය” යන වචනය පිළිබඳ මේ විෂය ප්‍රස්තුතයෙහි ලා ආගන්තුක ස්වරූපයක් තිබෙන බව ඇතැම් අයගේ අදහසයි. එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කරනවා නම්,

“චිත්තවේග කළමනාකරණය” කියන වචනය නුහුරු නුපුරුදු ආගන්තුක වචනයක් කියලා හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගයේ ස්වභාවය වන්නේ හිත පාලනය කරන එක. බුදු දහම සම්පූර්ණයෙන් ම පෙන්වා දෙන්නේත් අපේ සිත හදාගන්න හැටි. බුදුවරු ලෝකයට පහළ වෙලා ලෝකයාට පෙන්වා දෙන්නේත් සිත හරියට සකස් කර ගන්න බැරි වුණ නිසා අපි අනාදිමත් සංසාරේ මැරි මැරී ඉපදෙන බව.

පන්සලෙන්, දහම් පාසලෙන් කුඩා කාලයේ සිටම උගන්වන්නේ සිත හදාගන්න ක්‍රමවේදය. දහම් පාසල් යවන දරුවකු මිදුල ඇමදීමේ සිට කරන සෑම ක්‍රියාකාරකමක් තුළින් ම සිත පාලනය කිරීම, සිත සංවර කරන ක්‍රමවේදය අනුගමනය කරල තිබෙනවා. එම කාරණාව වර්තමානයේ සිටින ඇතැමුන්ට නොතේරෙන්න පුළුවන්. බටහිර සංකල්පවල දියුණුවත් එක්ක ගෝලීයකරණයත්, තාක්ෂණික ක්‍රමවේදයත් සමඟ දරුවන් අධ්‍යාපනය පැත්තෙන් ඉහළට ම යනවා. නමුත් තමන්ගේ ගැටලු කතා කරන්න ක්‍රමවේදයක් ඇත්තේ නැහැ. අතීතයේ තිබුණ විස්තෘත පවුල් ක්‍රමය තුළ පවුලේ හැමදෙනාගේ ම ආදරය, කරුණාව, රැකවරණය සමඟ දරුවන් සකස් වුණා.

දරුවන්ට තමන්ගේ අදහස් උදහස් බෙදාගන්න ක්‍රමයක් නැති නිසා විවිධ ප්‍රශ්න ගැටලු සමඟ මානසික පීඩනයට විශාදියට පත්වෙන කාරණා ඇතිවෙනවා.

බටහිර ලෝකය තුළ චිත්තවේග කළමනාකරණය පිළිබඳ තොරතුරු සොයනවා. නමුත් අපේ රටේ බෞද්ධයන්ට හැඟීම් පාලනය කර ගැනීම නිකම්ම ලැබිල තිබෙන දෙයක්. බොහෝ වෙලාවට බෝධි පූජා, විවිධ පින්කම්, පෙරහර විවේචනය කරන ස්වභාවයක් තිබෙනවා. බෝධි පූජා පින්කම් තුළින් කෙරෙන්නේ අපේ හැඟීම් පාලනය කර ගෙන, මිනිසුන් අතර සාමූහික ව සමතුලිතතාවයෙන් යුක්ත ව සරල ව ජීවත්වෙන්න පුරුදු කිරීම. චිත්තවේග කළමනාකරණය වචනය නුහුරු වුණාට සිද්ධ වෙන්නේ එකම කාරණාවක්.

දූරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා ධම්මපදයේ මේ ගාථාව පදනම් කොටගෙන සිතේ ස්වභාවය පැහැදිලි කර දෙන්න.

ධම්මපදය ආරම්භයේ දී ම මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා යන ගාථාව සඳහන් වෙනවා. ඒ අනුව සෑම දෙයට ම මූලික වෙන්නේ අපේ සිත.

චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. අපි කරන කියන හැම දෙයට ම මූලික වෙන්නේ අපේ සිත. අපි සිතින් සිතල තමයි යමක් කරන්නේ. යමක් කියන්නේ. ධම්මපදයේ චිත්ත වග්ගයේ සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පෙන්වා දී තිබෙනවා. සිත අසංවර වීමෙන් සිදු වන්නා වූ හානිය වගේ ම සිත සංවර කර ගැනීමෙන් ලබන්නා වූ යහපත පිළිබඳ.

දූරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්කන්ති මාර බන්ධනා

සිත දුර ගමන් යනවා නේද කියලා යමෙකුට සිතෙන්න පුළුවන්. සිත පොඩි දුරක්වත් ගමන් කරන්නේ නැහැ. අපි ගිහින් තිබෙන පෙර මතක අපේ සිතේ තැන්පත් වෙලා තිබීම සිතේ ස්වභාවයක්. ඒ මතක සිතිවිලි නැවත මතක් කර ගැනීමක් පමණයි වෙන්නේ. ඒක තමයි සිත දුර ගමන් යනවා කියලා වැරැදියට අර්ථකථනය කරගෙන තියෙන්නේ.

සිත එක අරමුණක පිහිටන්නේ නැහැ. දියෙන් ගොඩගත් මාළුවෙක් වගේ සිත නිතර ම සැළෙනවා. ඒක තමයි සිතේ ස්වභාවය. සිත සන්සුන් කර ගන්න ක්‍රමවේදය තමයි බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්නේ. සිත සන්සුන් කර ගන්නා තාක් අපට පීඩා, කරදර ඇතිවෙනවා.

සංයුක්ත නිකායේ ජටා සූත්‍රයේ දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ මුණගැසීමට පැමිණි අවස්ථාවක් සඳහන් වෙනවා. එහිදී

“ස්වාමීනී, අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතා පජා” අභ්‍යන්තරවත්, බාහිරවත් ඇතිවන්නා වූ ගැටලු තත්ත්වයන් විසඳන්නේ කොහොමද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ” සීලයෙහි පිහිටන්න. අනතුරුව සිතත්, ප්‍රඥාවත් වඩන්න. එවිට සියලු ගැටලු විසඳගන්න පුළුවන් වෙන බවයි.

පුද්ගලයාගේ යහපත්කම් පොදු සමාජයේ යහපතට පටිච්ච සමුප්පන්න ව සිදුවන ආකාරය සරල ව පැහැදිලි කර දෙන්න.

ඒ තුළින් ප්‍රකාශ වෙන්නේ පුද්ගල සමාජයේ යහපැවැත්මට හැඟීම්, පාලනය කර ගැනීමේ වැදගත්කමයි.

සුනක්කත්ත සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුනක්කත්ත යම්කිසි මනුෂ්‍යයකුට විෂ හී පහරක් වදිනවා. එම විෂ හී පහර වැදුණාට පසුව ඔහුගේ ඥාති පිරිස ශල්‍ය වෛද්‍යවරයකු ගෙන්වා එම විෂ හීය ගලවලා ප්‍රතිකාර කරනවා. මෙතැන දී බුදුරජාණන් වහන්සේ එම තුවාලය සය වැදෑරුම් ආයතනවලට සමාන කරනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස. එම විෂ මෝහයටත්, වැදුණ උල අපේ තණ්හාවටත් සමාන කර පෙන්වා දෙනවා. ආයුධය ප්‍රඥාවට සමාන වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙම නිදර්ශන කතාවෙන් පෙන්වා දෙන්නේ තණ්හාව හා අවිද්‍යාවයි.

තණ්හාව මෝහය මූලික කර ගෙන තමයි හැම ගැටලුවක් ම ඇති වෙන්නේ, ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යන පංචේන්ද්‍රින් මුල්කරගෙන ඇතිවන්නා වූ ගැටලු නැති කර ගැනීමට සිහිය හා ප්‍රඥාව අවශ්‍ය වෙනවා. බාහිර සමාජයත් සමඟ ජීවත්වීමේ දී අපේ හැඟීම් පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය ම යි. නැත්නම් අපි කෙතරම් අධ්‍යාපනය ලබා තිබුණත් ඒවායින් වැඩක් වෙන්නේ නැහැ.

සතිපට්ඨාන සූත්‍රයේ දී සිත දකින්න පුළුවන් ආකාර 16ක් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

තමන්ට ලෝභ සහගත සිතක් තිබෙන බව දකින්න පුළුවන් වෙන්න ඕනේ. එම ලෝභ සිතෙන් මිදුණ බවක් දකින්න පුළුවන් වෙන්න ඕනෙ. රාගික සිතක් තිබෙන බවත්, එම රාගික සිතෙන් මිදුණ බව දකින්නත් පුළුවන් විය යුතුයි.

අපට ඇතිවන ගැටලු ආවේග දුරුකර ගැනීමේ දී සතිය හෙවත් සිහිය තිබිය යුතුයි. එම සිහිය තුළින් තමාගේ තත්ත්වය මැනවින් දකින්න පුළුවන් විය යුතුයි. එය දුරු කර ගැනීමට ප්‍රඥාව තිබිය යුතුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දී පෙන්වා දෙන සම්මා දිට්ඨි, සම්මා සති, සම්මා සමාධි ඉතාමත් ම වැදගත් අංග. එවිට ප්‍රඥාවෙන්, සිහියෙන් හැම ගැටලුවක් ම විසඳාගත හැකියි. බටහිර මනෝ විද්‍යාවටත් වඩා හැඟීම්, ආවේග පාලනය කර ගැනීම බුදුදහම තුළ ඉතාමත් ඉහළින් පෙන්වා දී තිබෙනවා.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 02 සිකුරාදා අ.භා. 06.56න් පුර පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා. 03.37න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]