[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බුදුරදුන් දෙසූ ලෙස වැරැදි දකින හැටි

බුදුරදුන් දෙසූ ලෙස වැරැදි දකින හැටි

මහා භාරතය කියන මහා කාව්‍ය ග්‍රන්ථයේ මෙහෙම කියමනක් තියෙනවා. ‘පිටතින් තියන අබ ඇටය පෙනෙන ඇහැට, ඇසේ ම තියෙන කළු ඉංගිරියාව පේන්නේ නෑ’ කියල.

අපෙ බුදුහාමුදුරුවෝ ධම්ම පදයේ මල වග්ගයේ මේ අදහස දේශනා කරල තියෙනවා. ‘සුදස්සං වජ්ජං අඤ්ඤෙසං අත්තනෝ පන දුද්දසං’ කියල.

අදහස් - උදහස්වලින් අප හැම දෙනා ම එක වගේ වුණොත් මේ තරම් සමාජ ගැටලු ඇති වෙන්නේ නෑ.

හැම දෙනාම එක සමාන නොවනවා වගේම හැම කෙනෙක් ම සුවිශේෂීයි.

අපි හැමෝම හොඳින් අවබෝධ කරගත යුතු කරුණක් වන්නේ මේ පුද්ගල විශිෂ්ට බවයි. මින් පැහැදිලි වන්නේ අසමාන බව අනිවාර්ය ලක්ෂණයක් බව නේද?

හැබැයි ඒ අසමාන බව වරදක්, අඩුවක් විදියට දකින්න අප පෙළඹුණොත් අන් අයට දොස් පැවරීම කොහොමටත් වළක්වන්න බෑ.

“මිනිසා හට සොඳුරු ගුණ හා නුගුණ ඇත.

නිදොස් කෙනෙක් මෙ දියත උපදින්නේ නැත.” කියල කියනවනෙ.

වරද නම්, දොස දොසින් හෙවත් ද්වේෂයෙන් දැක්මයි. අපි හුඟ දෙනෙක් අන් අයට දොස් කියන්නේ අපි ඔවුන් පි‍්‍රය නොකරන නිසා. මොහොතක් හිතල බලන්න. ඔබ පි‍්‍රය කරන අය කිසිම වරදක් නැති අය ද කියල. මවුපියො, අඹු - සැමියො, දූ දරුවො, පෙම්වතුන් - පෙම්වතියන් මේ කාටත් එකිනෙකාගෙ වැරැදි පේන්නේ හරි ම අඩුවෙන්, තරහකාරයෙක් නම් ඇවිදින විදිය පවා පේන්නේ වැරැදියට.

ආදරයෙන් - කරුණාවෙන් - දයාවෙන් යුතු ව අන් අයගේ යහපත තකා වැරදි පෙන්නා දීමටත් පුළුවන්. බුදු රජාණන් වහන්සේ එබඳු අය පිළිගන්න කීවේ තමන්ට මැණිකක් පෙන්නා දෙන කෙනෙක් විදියට.

කිසිවකුට දමනය කරන්න බැරි අංගුලිමාල වැනි දරුණු පුද්ගලයන් දමනය වුණේ මේ ගුණය නිසයි. එයින් පේන්නෙ ‘පුරිස දම්ම සාරථි’ කියන බුදු ගුණය පවා, අනුන්ගේ දොස් දයාවෙන් පෙන්වා දීමේ ගුණයට සම්බන්ධ වෙන බව.

අග්‍ර ශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේ දවසක් විහාර මළුව අමදින විට සිවුරු කොනක් බිම ඇතිල්ලෙමින් තිබුණා. ‘ඔන්න හාමුදුරුවනේ සිවුර බිම ගෑවෙනව.’ මෙහෙම කිව්වේ අවුරුදු හතක් වයසැති රාහුල පොඩි හාමුදුරුවෝයි. අගසව්, මහ රහත් සැරියුත් හිමි දේශනා කළේ එදින ම පැවිදි වූ සත් හැවිරිදි හිමි නමක් වුවත් පෙන්නා දෙන වරද තමන් වහන්සේ හිස් මුදුනින් පිළිගන්නා බවයි. මෙයින් ලැබෙන පාඩම මොන තරම් වටිනව ද බලන්න.

සමහරු මෝඩකම හා අහංකාරය නිසා වරද පෙන්වා දෙන පුද්ගලයා ගැනත් තරහෙන් හිතන්න පටන් ගන්නවා. වැරැදි දකින්නේ තමන්ට හිතවත් නැති නිසයි කියල හිතනවා. එයින් ඒ පුද්ගලයාට වෙන හානිය කොයි තරම් භයානක ද කියල හිතන්නත් අපහසුයි. දෙලොවම වැනසෙනවා.

සමහරු දකින්නේ අන් අයගෙ වැරැදි අඩුපාඩුකම් විතරයි. කිසිම හොඳක් දකින්න කැමැති නෑ. වරද නම් රසවත් කර කියනවා. වැරදි නොකර ඉතාමත් හොඳින් ඉන්න අයට පවා විවේචන එල්ල කරනවා. බුදු හාමුදුරුවන්ට මේ වගේ නින්දා අපහාස කොයි තරම් එල්ල වුණාද? බුදු සිරිත අපි දැන ගන්න ඕනේ ගාථා කියමින් වඳින්න ම නෙවෙයි. අපේ ජීවිතේට ඒ බුදු ගුණ එළියක් කර ගන්නයි. බෝසත් සිරිත හුරු කර ගන්නයි.

සුන්දරී පරිබ්‍රාජිකාව නිසා බුදුන් වහන්සේට අහන්න ලැබුණු චෝදනා අපවාද විඳ ගත්තේ බෝසත් චර්යාවෙන් පුහුණු කළ අර්හත් නම් ගුණය නිස යි. ක්ෂාන්ති පාරමිතාවේ දී උන්වහන්සේ හේතු රහිත ව තමන් වධයට පත් කළ රජු ගැන පවා කීවේ “මම කෝප වෙන්නෙ නෑ. ඔබතුමා බොහෝ කාලයක් ජීවත් වේවා”

තමන්ගේ වරද සඟවන්න වුවමනාවෙන්, පරමාදර්ශී ජීවිත ගත කරන, සත්පුරුෂ ගුණය වඩන උතුමන්ටත් සමහරු බොරු චෝදනා එල්ල කරනවා. අද සමාජයේ මෙය කොතෙක් වර්ධනය වෙලා ද කිව්වොත් ජනමාධ්‍ය පවා ඊට හුරු පුරුදු වෙලා. සමාජය මෙය හඳුන්වන්නේ ‘මඩ ගහනව‘ කියලයි. හැබැයි මේ මඩ ගහන්නේ මඩෙන් නැහැවී ඉන්න අයයි. ඒ අයට හිතන්න බෑ නෙලුම් මල මඩේ නො පිපෙන වග. මඩේ හැදුණට මොකද නෙලුම් මල පිපෙන්නේ දිය තලාවටත් ඉහළිනුයි.

ද්වේෂ සහගත විවේචන නිසා වෙන්නේ සමාජයට යම් අගනා දෙයක් දායාද කරන්න හැකියාව ඇති අය පවා උපන් ගෙයිම මිය යාම වැනි ශෝචනීය සිදුවීමක්.

මොන තරම් හොඳ කෙනකුට වුණත් සුළු වරදක් නිසා හෝ නොයෙක් විවේචන දොස් එල්ල වෙන්න පුළුවන්. එය දරා ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි.

වැරැද්ද පැතිරෙන වේගයෙන් නිවැරැද්ද පැතිරෙන්නේ නෑ. පුවත්පතක වුව ද වැරැද්ද මුල් පිටුවේ ගියාට නිවැරැද්ද යන්නේ මැද පිටුවක පුංචි ඉඩක ය. සමාජය ඉක්මනින් ම අල්ලා ගන්නේ සහ පතුරවන්නේ වැරැදි දේ මිස හරිදේ නොවෙයි.

සෑම මොහොතක ම වගේ ද්වේෂය - වෛරය විසුරුවා හරින මේ සමාජය තුළ අපට සැනසීම ලැබෙන්නේ වරද නිවරද කර ගැනීමෙන් පමණයි. රවින්ද්‍රනාත් තාගෝර් කීවේ ‘පටු අදහස්වලින් තොර, බියෙන් සැකෙන් තොර ස්වර්ග රාජ්‍යයක් බඳු ලෝකයකට තම දේශය පුබුදුවන්න’ කියලයි.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 02 සිකුරාදා අ.භා. 06.56න් පුර පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා. 03.37න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]